Skip to content

ශ්‍රී ලංකාවට නැවත සුනාමියක් ඇතිවීමේ සම්භාවිතාව

2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින ශ්‍රී ලංකාවේ සිදු වූ සුනාමි ව්‍යසනය පිළිබඳව අපට අත්දැකීම් ඇති අතර නමුත්   සෑම වර්ෂයකම දෙසැම්බර් 26 වන දින අප ඒ පිළිබඳව සිහිපත් කරනවා මිස මෑතක් වනතුරුම අප හට නැවත සුනාමි ව්‍යසනයක් පිළිබඳ බියක් හට ගැණුනේ නැත. නමුත්  මෙම වසරේ ජනවාරි මස සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ සුළු පරිමාණයේ භූ කම්පන නවයක් සිදු වී ඇති අතර 2020 වසරේ සිට ගත් විට මේ දක්වා භූ කම්පන හතලිස් අටක් සිදු වී ඇත. එමෙන්ම 2004 වසරේ ශ්‍රී ලංකාවේ සුනාමිය සඳහා බලපාන ලද ජාවා සුමාත්‍රා දූපත්වලද භූ කම්පන සිදුවන බව වාර්තා වේ. එපමණක් නොව මේ වන විට ශ්‍රී ලංකාවේ සුනාමි අණතුරු ඇඟවීමේ පද්ධති තුලද ගැටළු පවතින බවට වාර්තා වන අතර මෙවැනි පසු බිමක් තුළ ශ්‍රී ලංකාවේ ජනතාව හට නැවත සුනාමියක් පිළිබඳ බියක් හටගෙන තිබෙනු දැකිය හැකිය. එම නිසාම ශ්‍රී ලංකාවට නැවත සුනාමියක් ඇතිවීමේ සම්භාවිතාව පිළිබඳව සොයා බැලීම කාලීන අවශ්‍යතාවයක් වශයෙන් හඳුනාගත හැකිය.

සුනාමි යනු ජපන් වචනයක් වන අතර එහි ජපන් අර්ථය වන්නේ " විශාල වරාය රළ " යන්නය. තවත් ස්ථාන වල විශාල වූ උදම් රළ සඳහා සුනාමි යන නම ලබා දෙන අතර තවත් ස්ථානවල දගින් වැඩි සහ උසින් අඩු ගැඹුරු මුහුදේ සුළු වශයෙන් දැකගත හැකි සාගර තරංග හැඳින්වීම සඳහා සුනාමි යන නම ලබා දේ. මේ අර්ථ දැක්වීම් කෙසේ වූවද සුනාමි යන්නෙහි ව්‍යසනකාරී බව ශ්‍රී ලංකාවේ ජනතාව ලෙස අප හොඳින්ම දන්නා කරුණක් වන අතර සුනාමියක් ඇතිවීම සඳහා මූලික හේතුව වන්නේ මුහුදු ගර්භයේ ස්ථරයන්හී සිදුවන වෙනස්කම් ය. මෙම ස්ථර වෙනස්වීමට පහත සඳහන් හේතු සාධක බලපායි. එනම්

මුහුදු ගර්භයේ ගිණි කඳු පිපිරීමක්

මුහුදු සීමාවෙහි හෝ මුහුදු පතුලෙහි සිදුවන නාය යෑමක්

භූ චලනයක බලපෑමෙන් මුහුදු ගර්භයේ මතුපිට ස්ථරයන්ගේ ඇතිවන විරූපිකරණයක්

යන සාධක සුනාමි ව්‍යසනයක් ඇතිවීම සඳහා මූලික වශයෙන් බලපායි. මෙහිදී සුනාමි පිළිබඳව ඉතිහාස කරුණු විමසා බලන්නේ නම්, 1883 අගෝස්තු මස මුහුදු පතුලෙහි සිදු වූ ගිණි කඳු පිපිරීමක් හේතුවෙන් ජාවා සහ සුමාත්‍රා අතර පිහිටා ඇති ක්‍රැකටෝවා දූපතෙහි ඇති වූ සුනාමි තත්වය හේතුවෙන් ඉන්දුනීසියාවේ 36000 කට අධික පිරිසක් මියගිය අතර එය වඩාත් බිහිසුණුකාරී ස්වාභාවික විපතක් ලෙස වාර්තා වී ඇත. 1792 ජපානයේ උතුරු කියුෂ්යූ හී සිදු භූ කම්පනයක් සිදු වී ඇති අතර එම කම්පනය සුනාමියක් ඇති වීමට තරම් බලපෑමක් ඇති නොකලද කම්පනය හේතුවෙන් සිදු වූ නාය යෑම්වල සුන්බුන් මුහුදු බොක්ක මතට වැටීම නිසා විශාල සුනාමි තත්වයක් ඇති වීමෙන් මිනිස් ජීවිත 15000 ක් පමණ විනාශ වී ඇත. එමෙන්ම 2004 වර්ෂයේ සුමාත්‍රා වෙරළට බටහිරින් ලෝකයේ දෙවන විශාලතම භූ කම්පනය සිදු වූ අතර එම කම්පනය හේතුවෙන් ලංකාවේ ඇතිවූ සුනාමි තත්වයෙන් මිනිස් ජීවිත 39000 ක් පමණ විනාශ වන්නට විය.

මේ ආකාරයට ඉතිහාසයේ ඉතා විනාශකාරී සුනාමි තත්වයන් ලෝකයේ ඇති වී ඇති අතර එම තත්වයන් විමර්ෂණය කිරීමේදී එක් විශේෂ ලක්ෂණයක් හඳුනාගත හැකිය. එනම් සෑම සුනාමියක් සඳහාම බොහෝ විට බලපා ඇත්තේ භූ කම්පනය. එබැවින් ශ්‍රී ලංකාවේ වරින් වර සුළු කාල පරාසයන් තුළ සිදුවන මෙම භූ කම්පන පිළිබඳවත් ජාවා සහ සුමාත්‍රා ආශ්‍රිතව සිදුවන භූ කම්පන පිළිබඳවත් ජනතාව බියවීම සහ ඒ පිළිබඳව අවධානය යොමු කිරීම සාකච්ඡාවට භාජනය කිරීම ඉතාමත් සාධාරණ වන බව කිව හැකිය.

භූ කම්පන ඇතිවන ආකාරය

මහද්වීප නිර්මාණය සම්බන්ධයෙන් මහද්වීපික ප්ලවන කල්පිතය, චතුස්තල කල්පිතය සහ තැටි භූ කාරක කල්පිතය ආදී ප්‍රවේශයන් රාශියකින් අදහස් ඉදිරිපත් වී ඇති අතර එයින් වඩාත් පිළිගැණුනු මතය වන්නේ තැටි භූ කාරක කල්පිතයයි. පෘථිවි පෘෂ්ඨය නිර්මාණය වී ඇත්තේ ප්‍රධාන භූ ස්ථර හතකින් සහ තවත් කුඩා ස්ථර විශාල සංක්‍යාවකිනි. මෙම ස්ථර කාලයක් තිස්සේ චලනය වෙමින් පවතින අතර පෘථිවි අභ්‍යන්තරයේ සිට පැමිණෙන සංවහන ධාරා හේතුවෙන් භූ කම්පන සිදු වේ. මෙසේ ඇතිවන භූ කම්පන හේතුවෙන් සාගර පත්ලේ භූමියෙහි සිදුවන වෙනස්කම් දරා ගැනීමට සාගර පත්ල අසමත්වීම නිසා ඇතිවන හදිසි පිපිරීමක් මඟින් භූ පටල විරූපිකරණයක් ඇති කරයි. මෙම ක්‍රියාවලිය අවසානයේදී මහා පරිමාණ ලෙස සාගර ජලය එසවීමක් හෝ ඇද ගැනීමක් මඟින් ක්ෂණයකින් සියල්ල විනාශකර දමන සුනාමියක් නිර්මාණය වේ.  මෙලෙස සුනාමිය භූ චලනයකට හෝ භූ චලනයකින් සිදුවන ක්‍රියාවකට ඉතාම කිට්ටු සම්බන්ධතාවයක් දක්වන බව හඳුනාගත හැකිය.

ප්‍රධාන භූ තැටි සහ අප්‍රධාන තැටි

‍මේ ආදී වශයෙන් සුනාමියක් යනු කුමක් ද? එහි ක්‍රියාකාරීත්වය කෙසේ ද? සුනාමියේ ඉතිහාසය සහ එහි බලපෑම පිළිබඳව ඉතා කෙටියෙන් කරුණු ගෙනහැර දැක්විය හැකි අතර මී ළඟට අවධානය යොමුකළ යුත්තේ ශ්‍රී ලංකාවට නැවත සුනාමියක් ඇතිවීමේ සම්භාවිතාව පිළිබඳව ය. ශ්‍රී ලංකාව ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය මධ්‍යයේ පිහිටා තිබීමත්, ස්ථාවර භූ ස්කන්ධයක පිහිටා තිබීමත් නිසා සාමාන්‍යයෙන් භූමි කම්පා ඇති නොවන කලාපයට අයත් ය. නමුත් තල මායිම්වල ඇතිවන භූමිකම්පා වල ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවන සුනාමි වැනි තත්වයන් ශ්‍රී ලංකාවට අදාළ වන බවද මෙහිදී සඳහන් කළ යුතුය. 2004 දී සිදු වූයේ එසේ අදාළ වීමකි. කෙසේ  නමුත් ගත වු මාස කිහිපය තුළ මෙන්ම අතීතයේ ද ශ්‍රී ලංකාවේ වරින් වර භූ කම්පන වාර්තා වී ඇත. වර්ෂ 1615 අප්‍රේල් මස 14 වන දින ශ්‍රී ලංකාවේ භූමිකම්පාවක් ඇති වී තිබෙන අතර එයින් කොළඹ පෘතුග්‍රීසි බලකොටුවට හානි වූ බව පැවසේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට 300m ක් පමණ දකුණින් නව තැටි මායිමක් නිර්මාණය වී ඇති බව භූ විද්‍යාඥයින් පෙන්වා දෙන අතර මෙම තැටියේ උතුරු මායිම නැගෙනහිර දේෂාංශ අංශක 68-81 දක්වා සමකයට සමාන්තරව විහිදී ඇති බවද පෙන්වා දේ.  එතැන් සිට ඊසාන දිශානුගතව විහිදී ගොස් නැගෙනහිර දෙශාංෂ 90 දී බුරුම කුඩා තැටියට සම්බන්ධ වේ. මෙම තල මායිමේ රිච්ටර් පරිමාණයේ 5 ට අඩු කම්පන රාශියක් වාර්තා වී ඇති අතර අනාගතයේ රිච්ටර් පරිමාණ 5 ට වැඩි වඩාත් ප්‍රබල කම්පන ඇති වෙතැයි අපට සිතිය හැකිය. 2001 වර්ෂයේ සැප්තැම්බර් 02 වන දින ශ්‍රී ලංකාවේ නිරිතදිග ප්‍රදේශයට දැණුනු රිච්ටර් පරිමාණයේ 5.9 ක් වූ භූමි කම්පාව මෙම නව තැටි මායිමේ කොළඹ සිට 725 km පමණ දුරින් සාගරයේ ඇති වු බවද වාර්තා වී ඇත.

මෙම නව තැටි මායිම නිසා ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය කොටස් දෙකකට කැඩී යන අතර එමෙන්ම මෙම නව තල මායිම නිසා අනාගතයේ ශ්‍රී ලංකාව ආශ්‍රිතව භූමිකම්පා ඇතිවීමේ අවධානම අධික වී ඇත. එම නිසා අනාගතයේදී අපට සුනාමි තත්වයන් කිසිසේත් පැමිණෙන්නේ නැතැයි කිව නොහැකිය.  ගත වූ මාස කිහිපය තුළ භූකම්පන ඇතිවීමට මෙම නව තල මායිම බලපා ඇති අතර ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දු ඕස්ට්‍රේලියානු කලාපය පුරාම ලොකු කුඩා භූ කම්පන රාශියක් මෙසේ සිදු වී ඇත. උදාහරණ ලෙස 2021 ජූලි දෙවන දින ගාල්ලට කිලෝමීටර් 766 ක් දුරින්  මැනිටියුඩ් හී ඉන්දියන් සාගරයේ රිච්ටර් පරිමාණ 5.2 ක භූ කම්පනයක් සිදු වී ඇත. ඉන් පසුව ඉතා කුඩා කාල පරිච්ඡේදයක් පසුකොට 2004 වර්ෂයේ ශ්‍රී ලංකාවට සුනාමි ව්‍යසනය ඇති වී ඇත.

මේ ආකාරයට පෙර කී ආකාරයේ නව තල මායිමක් නිර්මාණය වීම නිසා මෙසේ සුළු ප්‍රමාණයේ භූ කම්පන වාර්තා වන බැවින් ශ්‍රී ලංකාවට අනාගතයේ සුනාමි ව්‍යසනයක් ඇති නොවේ යැයි කිසිසේත්ම ප්‍රකාශ කළ නොහැකිය. සුනාමියක් පිළිබඳ පූර්ව ලක්ෂණ විටින් විට මතුවන බැවින් සුනාමි ව්‍යසනයක් ඇති වේ යැයි අපේක්ෂා කළ හැකි අතර තවදු සිදු වී නැත්තේ මෙසේ නව තල මායිම ආශ්‍රිතව සාගරයේ ඇතිවන භූ කම්පනයන්හී රිච්ටර් පරිමාණය 7.8.9 හෝ ඊට වැඩීවීම පමණකි.

කෙසේ නමුත් පරිසර නියතිවාදය සහ ශක්‍යවාදය යනුවෙන් කාලයක් පටන් විවාදයට භාජනය වූ මාතෘකා ද්විත්වය අතරින් පරිසර නියතිවාදයට පක්ෂව ( පරිසර නියතිවාදයේ මූලික හරය වන්නේ ස්වාභාවධර්මයා විසින් මිනිසා පාලනය කරන බවය ) ස්වාභාවධර්මයා විසින් විටින් විට බිඳහෙලිය නොහැකි තර්ක ඉදිරිපත් කොට ඇත. එම නිසා අනාගතයේදී ස්වාභාවධර්මයා විසින් සුනාමි යන තර්කය නැවත වරක් ඉදිරිපත් කිරීමට ද ඉඩ  ඇත. එම නිසා ශ්‍රී ලංකාවට නැවත සුනාමියක් ඇතිවීමේ සම්භාවිතාවක් පවතින බව කිව හැකිය.

Latest