Skip to content

පරණ වැටම අපිට හොඳයි...

වයඹ අලි මිනිස් ගැටුම්ට ගැටුමේ නවතම තත්වය...

කුරුණෑගල  දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12 ක් පුරා පැතිර පවතින අලි-මිනිස් ගැටුමට විසඳුම්ක් ලෙස මෙතෙක් පවත්වාගෙන ආ ප්‍රධාන විදුලි වැට යළිත් සක්‍රීය කිරීමටත් එය නඩත්තු කිරීම වෙනුවෙන්   ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කොට ඇති  බහුකාර්ය නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් යොමු කිරීමටත්  තීරණය වී තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන අලි ගැටළුව  විසඳීමට ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ සාකච්ඡාවක් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම් .ආර්. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පැවැත්වුනු අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයට බරපතල ලෙස බලපා ඇති  වන අලි ගැටළුවට පිළියමක් ලෙස මෑතකදී ක්‍රියාත්මක කල ගම් වටකර සකස් කරන   “ ප්‍රජාමූල කන්න වැට”  ප්‍රතිඵලදායී නොවන බවට එම සාකච්චාවේදී කරුණු ඉදිරිපත් වීමෙන් අනතුරුව මෙම තීරණය ගැනීමට හේතුවූ බව එම සාකච්චාවට එක්ව සිටි කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හෙේරත් මහතා පැවසීය .

මින් පෙර වන අලි ගැටළුවට පිළියම් ලෙස කුරුණෑගල දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කාර්යාල සීමා රැසක් ආවරණය වන පරිදි   කිලෝ මීටර් 253 ක අලි වැටක් ඉදිකර එය පවත්වාගෙන යනු ලැබිණි.   එහෙත් එය නඩත්තු කිරීම සහ තාක්ෂණික ගැටලු මත වරින් වර මෙම ප්‍රධාන  අලි වැට අක්‍රීය වූ අතර එයින් අලින් ගම්වැදීම නිරන්තරයෙන් සිදු විය. අනතුරුව ඊට විකල්පයක් ලෙස  මෙම "ප්‍රජාමූල කන්න වැට" පවත්වා ගෙන යාමට යෝජනා වි එය ක්‍රියාත්මක කල නමුදු මේ වන විට එම  "ප්‍රජාමූල කන්න වැට" ද අසාර්ථක බවට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශය වල අලි මිනිස් ගැටුම්ට මැදිව සිටින  ජනතාව අදහස් පළ කර තිබේ.

ඒ අනුව මෙම අලි මිනිස් ගැටුම ඇතැම්  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල මේ වන විට උග්‍ර අතට හැරී ඇති බව අදාල ප්‍රදේශ වල හිටපු  ප්‍රාදේශීය සභා සභාපතිවරු  ප්‍රකාශ කළහ.

මීට අමතරව අලි කොරිඩෝවල පදිංචිකරුවන්ට ඉදිරියේ දී වන්දි ලබා දී ඉන් ඉවත්කිරීම පිළිබඳවත් ,  අලින්ට ආහාර සහ ජලය සපයා ගැනීමට අවශ්‍ය පහසුකම්  සකස් කිරීමටත් ,  බහුකාර්ය නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් අලි වැට ආරක්ෂා කිරීමට සැළසුම් සහගතව යෙදවීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මෙම අවස්ථාවට වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එන්.පී .  සූරියබණ්ඩාර ,  අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එච්. ඩී.  රත්නායක ,  කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් රුවන් ජයසුන්දර  යන මහතුන් ද  සමග ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

Latest