ඉන්දියාවේ විපක්ෂ දේශපාලන පක්ෂ 26 ක් විසින් ජූලි 18 වනදා INDIA (Indian National Developmental Inclusive Alliance) නම් නව සන්ධානයක් ප්‍රකාශයට පත් කිරීමත් සමග 2024 මහ මැතිවරණයේ ප්‍රධාන දෙපාර්ශවය සනිටුහන් වූයේ ය. එහි අදහස වන්නේ සන්ධානය සර්ව සම්පූර්ණයෙන්ම එක්සත් බව නොවේ. එහි විවිධ දේශපාලන පක්ෂ අතර එදිරිවාදිකම් සමනය කිරීම, පොදු වැඩපිළිවෙලක් සැකසීම, ජනතාව වෙත නැවුම් බලාපොරොත්තුවක් ලබාදීම, එක් එක් පක්ෂය තරග කරන ආසන බෙදාගැනීම පමණක් නොව නායකත්ව ව්‍යුහයක් සහ පොදු සංවිධාන ව්‍යුහයක් ගොඩනැගීම ආදී කරුණු ගණනාවක් සිදු කිරීමට තිබේ.
කෙසේ වෙතත්, නව සන්ධානය බිහිවීමත් සමගම එහි අගමැති අපේක්ෂකයා පිළිබඳ කතාබහක් නිර්මාණය වූයේ ය. අපහාස නඩුවක වරදකරු වී සිටින බැවින් සිය පාර්ලිමේන්තු අසුන අහිමි වූ රාහුල් ගාන්ධි අගමැති අපේක්ෂකයා ලෙස පත්වීමට ඇත්තේ සීමිත ඉඩකි. තවද, නායකයකු ලෙස ඔහු සතු පිළිගැනීම අගමැති නරේන්ද්‍ර මෝදි සමග සැසැඳීමේදී පහළ තත්ත්වයක පවතී. Lokniti-Centre for the Study of Developing Societies (CSDS) ආයතනය විසින් 2023 මැයි මාසයේ කළ සමීක්ෂණයකදී හෙළි වූයේ එම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වී නම් මෝදි නැවත අගමැති ධුරයට පත්වන බව සියයට 43 ක් දෙනා විශ්වාස කරන බව ය. රාහුල් ගාන්ධි අගමැති ධුරයට පත්වේ යයි විශ්වාසය තැබුවෝ සියයට 27 ක් වූහ. 2019 දී ද මෝදි අගමැති ධුරය ගනු ඇතැයි සියයට 44 ක් දෙනා විශ්වාසය පළ කර තිබුණ අතර රාහුල් ගාන්ධි කෙරේ සියයට 24 ක් දෙනා විශ්වාසය පළ කර තිබුණි.
විපක්ෂ සන්ධානයක් පිළිබඳ කතාබහක් පවතින සමයෙහි කොන්ග්‍රස් පක්ෂ සභාපති මල්ලික් අර්ජුන් කර්ගේ විසින් සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් එම පක්ෂය විපක්ෂ සන්ධානයක නායකත්වය පිළිබඳ නම්‍යශීලී විය හැකිය යන උපකල්පනයක් ඇති විය. මාර්තු 1 වනදා චෙන්නායි නගරයේදී එම්. කේ. ස්ටාලින්ගේ 70 වන ජන්ම දින සැමරුමට සහභාගී වෙමින් කර්ගේ මෙම ප්‍රකාශය කළේ ය. "සමාජය බෙදන බලවේගවලට එරෙහිව එකාවන්ව සිතන සියළු බලවේග එක් විය යුතු ය. එය අපගේ අභිලාෂය යි. කවුද එහි නායකයා, කවුද අගමැතිවරයා යයි මා කිසිවිටකත් පවසන්නේ නැහැ. නායකයා කවරෙකුද යන්න මූලික ප්‍රශ්නය නොවේ. අපට එක්ව සටන් කිරීමට අවශ්‍යයි. ඓහිකවාදයේ නාමයෙන්, නිදහසේ නාමයෙන්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නාමයෙන් අප බොහෝ කැප කිරීම් කර තිබෙනවා. එමෙන්ම අපට පරාජයන් ද අත්ව තිබෙනවා. ඒ කෙසේ වුණත්, අප දැන් එක්ව සටන් කළ යුතුයි."

මෙම ප්‍රකාශය හේතුවෙන් කොන්ග්‍රස් පක්ෂය විසින් වෙනත් නායකයකු වුවද සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස පිළිගන්නට ඉඩ ඇති බවට මතයක් පළ වූයේ ය. ජූලි 18 වනදා විපක්ෂ රැස්වීම අවසානයේදී ද කර්ගේ ප්‍රකාශ කළේ සන්ධානයේ කටයුතු මෙහෙයවීමට එකොළොස් දෙනකුගෙන් යුක්ත කමිටුවක් පත් කෙරෙන බව ය. අගමැති අපේක්ෂකයකු පිළිබඳ අදහසක් එහිදී ද පළ නොවී ය.
නමුත් එළඹෙන මහ මැතිවරණය ජය ගැනීමට විපක්ෂය අපේක්ෂා කරන්නේ නම් අගමැති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වනු ඇත. විපක්ෂයේ එක්සත්භාවය පිළිබඳ වැදගත් සක්ෂියක් වේ ඇතැයි අපට අනුමාන කළ හැකිය.
අනෙක් අතට අගමැති අපේක්ෂකයා කවරෙක්ද යන කරුණ සලකා බලා ඡන්දය ලබාදෙන සැලකිය යුතු පිරිසක් වන බව ද අපට පෙනෙන්නට තිබේ. මෑතකදී කළ සමීක්ෂණයකින් කියැවුණේ ඉන් දියාවේ ඡන්දදායකයින් අතුරින් සියයට 37 ක් දෙනා ඡන්දය ලබාදීමට පෙර ඒ ඒ පාර්ශවවලින් තරග කරන අගමැති අපේක් ෂකයින් කවුරුන් දැයි සලකන බව ය.
ත්‍රිණමූල් කොන්ග්‍රස් නායිකා මමතා බැනර්ජිගේ නම විපක්ෂ අගමැති අපේක්ෂකත්වයට යෝජනා වීමට වූයේ මෙම පසුබිමෙහි ය. ඇගේ පක්ෂයේ ඇතැම් දේශපාලකයන් විසින් එම අදහස ඉදිරියට ගෙනන ලදී. බටහිර බෙංගාලයේ සටන්කාමී නායිකාවක ලෙස කලක් තිස්සේ ගොඩනගාගත් කීර්තිය හේතුවෙන් ඇය විපක්ෂ සන්ධානයේ වැදගත්ම නායිකාවක ලෙස මතුව තිබේ.

දැනට 68 හැවිරිදි වන මමතා බැනර්ජි වයස අවුරුදු 15 පමණ සිට දේශපාලන කටයුතුවලට සම්බන්ධ වූ අයෙකි. 70 දශකයේදී වරක් ඇය ප්‍රකට විපක්ෂ දේශපාලක ජයප්‍රකාශ් නාරායන්ගේ මෝටර් රථය මත නැගී විරෝධය දැක්වූ බවට සඳහනක් වෙයි. බටහිර බෙංගාලයේ මහිලා කොන්ග්‍රසයෙහි ලේකම් ධුරයට පත්වූ ඇය පසු කලෙක කොන්ග්‍රස් පක්ෂ තරුණ සංගමයේ මහ ලේකම් ලෙසද පත් වූවාය. 1984 දී මුල් වතාවට ලෝක් සභාවට තේරීපත් වූ ඇය 1989 මැතිවරණයෙන් පරාජය වුවද යළිත් 1991 සිට 2011 තෙක් ලෝක් සභාව නියෝජනය කළා ය. 2011 සිට ඇය බටහිර බෙංගාල මහ ඇමති ලෙස කටයුතු කරයි.
1991 දී නරසිම්හ රාඕගේ අමාත්‍ය මණ්ඩලයෙහි මානව සම්පත් සංවර්ධන, තරුණ කටයුතු සහ ක්‍රීඩා, කාන්තා හා ළමා සංවර්ධන යන රාජ්‍ය අමාත්‍ය ධුර දැරූ ඇය 1997 දී කොන්ග්‍රස් පක්ෂයෙන් ඉවත් ව 1998 දී ත්‍රිණමූල් කොන්ග්‍රස් පක්ෂය ගොඩනැගුවා ය. ඇගේ පක්ෂයේ මූලික සටන් පාඨය වූයේ "මා, මාති, මනූෂ්" (මව, භූමිය, මහජනයා) යන්නයි.
මමතා දෙවරක් ඉන්දියාවේ දුම්රිය අමාත්‍යවරිය ලෙස කටයුතු කර තිබේ. මුලින්ම ඇය එම ධුරයට පත් වූයේ 1999 දී අටල් බිහාරි වජ්පායි ආණ්ඩුවෙහි සාමාජිකාවක වෙමිනි. පසුව ඇය මන්මෝහන් සිං යටතේ ද එම ධුරය දැරුවා ය.
මමතා බැනර්ජිගේ දේශපාලන දිවියෙහි අමතක නොවන අවස්ථාවක් වන්නේ 2011 බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණයේදී 34 වසරක් ප්‍රාන්ත ආණ්ඩුව මෙහෙයවූ කොමියුනිස්ට්වාදීන් බලයෙන් නෙරපා හැරීම ය. එතැනින් ආරම්භ වූ බටහිර බෙංගාලයේ කොමියුනිස්ට් කඩාවැටීමෙන් අදට ද ඔවුනට ගොඩ එන්නට ලැබී නැත.
2016 ප්‍රාන්ත මැතිවරණයේදී සිය බලය තවත් තහවුරු කරගත් මමතා 2021 දී භාරතීය ජනතා පක්ෂයෙන් එල්ල වූ දැවැන්ත අභියෝගය ද පරාජය කිරීමට සමත් වූවා ය.
කෙසේ වෙතත් ත්‍රිණමූල් කොන්ග්‍රසය ජාතික මට්ටමේ වැදගත්කමකින් යුක්ත පක්ෂයක් බවට පත්කිරීම සඳහා ගන්නා ලද උත්සාහයන් එතරම් සාර්ථක වූයේ නැත. එම පක්ෂය බටහිර බෙංගාලයේ සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වූ තත්ත්වයක පවතී.
නමුත් මමතා බැනර්ජි සතු නායකත්වයේ සහ සටන්කාමීත්වයේ හැකියාව හේතුවෙන් ඇගේ නම අගමැති අපේක්ෂක ලෙස ඇතැමුන් විසින් යෝජනා කරනු පෙනී යයි. කෙසේ වෙතත් ජාතික මට්ටමේ නායකත්වයක් නොවන ඇය වැන්නකු අපේක්ෂකයා වන්නේ නම්, සමස්ථ සන්ධානයේ පූර්ණ සහය ඇය වෙත ලැබිය යුතු ය.