සීතල යුද්ධය අතරතුරේදී රුසියාව ගැන ඔත්තු බලන්න ඇමරිකාවේ බුද්ධි අංශ විසින් නොයෙක් විදිහෙ උපායශීලී උපක්‍රම පාවිච්චි කළා. රුසියානු රැස්වීම් වලට හොර රහසේම රිංගන්න පුලුවන් වෙන විදිහට සිගරට් පෙට්ටි වලට ඔබාපු කැමරා, රහස්‍ය ලේඛන සගවා යවන්න පුලුවන් රිදී ඩොලර් කාසි, රුසියාවේ චන්ද්‍රිකා ඡායාරූප ලබාගන්න අභ්‍යවකාශගත කරපු Big bird චන්ද්‍රිකා, මේ අතරින් කිහිපයක්. හැබැයි ඒ වගේ අධිතාක්ෂණික උපකරණ කොච්චර තිබුණත්, සීතල යුද්ධයේදී යොදාගත්ත අසාමාන්‍ය බවෙන් වැඩිම ඔත්තු බැලීමේ උපකරණය විදිහට සැලකෙන්නේ ඔයාලා හැමෝම දන්න කුරුල්ලෙක්ව. ඒ තමයි සාමයේ සංකේතය, පරෙවියා.

පරෙවියා කියන්නෙ ඔත්තු බැලීමේ සේවාවන් සතු වුණ ගොඩක් වටිනා වත්කමක්. ඒකට ලොකුම හේතුව වුණේ පරෙවියාට සැතපුම් සිය ගණනක් ඈතකට ගිහින් වුණත් ආයෙම තමන්ගෙ වාසස්ථානය හොයාගෙන එන්න තියෙන හැකියාව. මේ හැකියාව ප්‍රයෝජනයට ගත්තු ඇමරිකානු රහස් ඔත්තු සේවය, 1970 ගණන්වලදි පරෙවියන්ගේ ශරීරයට, ප්‍රමාණයෙන් කුඩා කැමරා සවිකරලා රුසියාවේ ඔත්තු බැලීමේ කටයුතුවලට ඔවුන්ව යොදවන්න තීරණය කරනවා. මේ මෙහෙයුම හැදින්වුනේ ටකානා (TACANA) මෙහෙයුම කියලා. 2019 වෙනකම්ම මේ මෙහෙයුමේ තොරතුරු තිබුණේ රහසිගතව. හැබැයි මේ වෙද්දි CIA එකෙන් මෙහෙයුමේ ඇතැම් තොරතුරු එළියට දාලා තියනවා.

චරපුරුෂ පරෙවියන්ගේ සවිකරල තිබුණ කැමරාවලට බලය ලැබුණේ බැටරිවලින්. පරෙවියන් පියාඹද්දී, නිශ්චිත කාල ප්‍රාන්තරයක් සහිතව මේ කැමරාවලින් ස්වයංක්‍රීයවම ඡායාරූප ලබාගත්තා. එක් කැමරාවකින් ඡායාරූප 140 ක් විතර ලබාගන්න පුලුවන්කම ලැබුණා. ඒ විදිහට පරෙවියන් යොදාගෙන කරපු පර්යේෂණ මෙහෙයුම්වලදි ගත්තු ඡායාරූපවලින් බාගෙට බාගයක්ම, චන්ද්‍රිකා මගින් හෝ පිරික්සුම් යානාවලින් ගත්තු ඡායාරූපවලට වඩා ඉහල පැහැදිලිබවකින් යුක්ත වුණා. ඒකට හේතු වුණේ පරෙවියන් පොළොවට ගොඩක් ආසන්නයෙන් පියඹා යන එක. මේ හැමදේටම වඩා ලොකුම අභියෝගය වුණේ පරෙවියන්ව හතුරන්ට නොදැනෙන විදිහට අහසට මුදාහැරීම. ඒකත් සූක්ෂමව කරන්න ඇමරිකාවට පුලුවන් වෙනවා.
මුදාහැරීම් සාර්ථක කරගන්න එක එක විදිහෙ ක්‍රම ඇමරිකානුවන් පාවිච්චි කළා. සමහර අවස්ථාවලදි ඝනකම් කබායක් ඇතුළෙ ඉදන් කුරුල්ලන්ව මුදාහැරියා. තවත් අවස්ථාවලදි ධාවනය වෙන කාර් එකක ජනේලයෙනුත් මුදාහැරීම් සිද්ධකලා. මේ විදිහට ඔත්තු බැලීම් කරන්න යොදාගත්ත පරෙවියන්ගේ සංඛ්‍යාත්මක දත්ත තවමත් එළිවෙලා නැහැ. මොකද ටකානා මෙහෙයුමේ ඇතැම් දත්ත තවමත් තියෙන්නෙ රහසිගතව.
කොහොමවුණත් අපිට පැහැදිලි වෙන දේ තමයි, පරෙවියො කියන්නෙ දිශා හදුනාගැනීම ගැන විශේෂඥයින් කියන එක. ඒත් අපි උඩ කතා කළා වගේ රහසිගත මෙහෙයුම් වලට යොදාගන්න තරම් පරෙයියො විශ්වාසදායිද?
පරෙවියො කියන්නෙ යුරෝපයේ, උතුරු අප්‍රිකාවේ සහ ආසියාවේ බහුලව දකින්න පුලුවන් කුරුලු විශේෂයක්. කූඩු කරල තිබ්බොත් පරෙවියෙකුට අවුරුදු 15 ක විතර කාලයක් ජීවත් වෙන්න පුලුවන්. නිදැල්ලේ ඉන්න පරෙවියන්ගේ ජීවිත කාලය විවිධ හේතූන් නිසා කෙටි වෙනවා. ඒවගේම පරෙවියෙකුට දිනකට 1100km ක විතර දුරක් පැයට කිලෝමීටර 140 ක වේගයකින් ගමන් කරන්න හැකියාව තියනවා. හැබැයි කොච්චර දුර ගියත් ආයෙම ගෙදර එන්න පාර හොයාගන්න එක මෙයාලට සුලු දෙයක්. අවුරුදු දහස් ගාණක් තිස්සේ පරෙවියන්, මිනිස්සුන්ට ගොඩක් වටින සතෙක් වෙලා තියෙන්නෙ මේ නිසයි. ලංකාවේ ඉතිහාසය අධ්‍යනය කරද්දිත් තොරතුරු හුවමාරු කරන්න පරෙවියන් යොදාගත්තු අවස්ථා ගැන ඔයාලා ඕනතරම් අහල ඇති.
ටෙලිග්‍රාෆ් වල සොයාගැනීම වෙනකම් ලෝකයේ තිබුණ වේගවත්ම තැපැල් සේවාව වුණේ පරෙවියා කිව්වොත් හරි. ටෙලිග්‍රාෆ් කරළියට ආවත් මිලිටරි තුළ පරෙවියාට තිබුණ තැන ඒ විදිහටම තිබුණා. පළවෙනි ලෝක යුද්ධය අතර තුරේදි දෙපාර්ශවයම විසින් පණිවුඩ හුවමාරු කරන්න පරෙවියන්ව යොදාගත්තා. මොකද ටෙලිග්‍රාෆ් වයර් කියන්නෙ ඕනෑම වෙලාවක අනතුරට භාජනය වෙන්න පුලුවන් දෙයක් නිසා. දෙවන ලෝක යුද්ධයේදිත් බ්‍රිතාන්‍යයන් විසින් පරෙවියන් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් සන්නිවේදන කටයුතුවලට යොදාගත්තා කියල කියනවා. ඒ විදිහට යුධ කටයුතුවලදී පරෙවියන්ව කොච්චර වැදගත් වුණාද කියනවනම් විශිෂ්ට සේවාව වෙනුවෙන් පදක්කම් ලබාගත්තු පරෙවියනුත් ලෝක ඉතිහාසය අධ්‍යනයේදී අපට හමුවෙනවා. දෙවන ලෝක යුද්ධය අතරතුරේදී නිර්භීතව, කැපීපෙනෙන අයුරින් සහ පක්ෂපාතීව සේවය ඉටු කිරීම අගය කරලා, සත්වයින් 53 කට Dickin කියල හදුන්වපු පදක්කම පිරිනමනවා. ඒ සත්වයින් 53 න් 32 ක්ම පරවියන්. ඒ අතරිනුත් ඇමරිකානු පරෙවියෙක් වුණ G.I. Joe ගැන ඔයාලා සමහරවිට අහලත් ඇති. හැබැයි ගොඩක් දුරට දන්නව ඇත්තේ G.I. Joe film series එක.

පරෙවියන්ව සාර්ථක විදිහට මෙහෙයුම්වලට යොදාගන්න ඔවුන්ට ලබාදුන්න පුහුණුවත් බලපෑවා. ඉපදිලා සති ගණනක් යනකම්ම පරවියන් එළිමහනට නොයා එකම තැන ජීවත් වෙනවා. පස්සෙ හෙමින් හෙමින් පියඹලා යන දුර ප්‍රමාණ වැඩි කරගෙන ආයෙම තමන්ගෙ වාසස්ථානෙට එන්න පරෙවියන් හුරුවෙනවා. ඒ විදිහට සැතපුම් සිය ගණනක් ගියත් තමන්ගෙ හැකියාව යොදාගෙන ආයෙම ගෙදර එන්න පුලුවන් තැනට පරෙවියෝ ස්වභාවිකවම හැඩගැහෙනවා. ඒත් මෙයාලා මේක කරන්නෙ කෝමද? විද්‍යාඥයෝ දශක ගණනාවක් තිස්සේ මේකට පිළිතුරක් හොයනවා.
සමහර පර්යේෂකයින් විශ්වාස කළා පරෙවියන්, සූර්යයාව මාලිමාවක් විදිහට පාවිච්චි කරනවා කියලා. වාසස්ථානයෙන් පිටවෙනකොට සූර්යයාගේ පිහිටීම නිරීක්ෂණය කරන පරෙවියන්ට සූර්යයා ගමන් කරන දිශාව අධ්‍යනය කරල, ඒ ඔස්සේ ඕනෑම තැනක ඉදන් ආයෙම ගෙදර එන්න පාර හොයාගන්න පුලුවන් කියලයි ඒ අය කිව්වෙ. මේ උපකල්පනය හරිද බලන්න විද්‍යාඥයින් විසින් පර්යේෂණයක් කළා. අපි දන්නවා අපේ ශරීරය ඇතුළෙ ජීව විද්‍යාත්මක ඔරලෝසුවක් ක්‍රියාත්මක වෙනවා. ඒ ඔස්සේ ඇතිවෙන සර්කැඩියානු රිද්මයන් නිසා තමයි අපිට හැමදාම එකම වෙලාවට ඇහැරෙන එක, නිදිමත එන එක වගේ දේවල් සිද්ධවෙන්නෙ. ආලෝකය කියන්නේ ඒ සදහා බලපාන එක් සාධකයක්. පරෙවියන්ගෙත් මේ විදිහෙ Internal Clock එකක් නැත්නම් ජීව විද්‍යාත්මක ඔරලෝසුවක් ක්‍රියාත්මක වෙනවා. විද්‍යාඥයින් මුලින්ම කළේ ඔවුන්ගේ අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වුණ මේ ඔරලෝසුව පොඩ්ඩක් එහා මෙහා කරල අවුල් කරල දාන එක. මුලින්ම පරෙවියන්ව ආලෝකය නොවැටෙන කාමරයක රැදෙව්වා. ඉන් පස්සෙ, සාමාන්‍ය පරිසරයේ අදුර, ආලෝකය වැටෙන කාලාන්තරවලට වඩා වෙනස් කාලාන්තරවලින් අදුර සහ ආලෝකය කාමරයට පතිත කරන්න පර්යේෂකයින් කටයුතු කළා. ඒකෙන් පරෙවියන්ගේ අභ්‍යන්තර ඔරලෝසුව වෙනස් වෙන්න ගත්තා. ඒත් එක්කම පර්යේෂකයින් විසින් මෙයාලව අහසට මුදාහැරියා. පරෙවියන් ගමන ආරම්භ කළේ වැරදි කෝණයකින්. එයාලා ගමනාන්තය කරා පියඹන්න ගත්තේ සූර්යයාගේ පිහිටීම ඔස්සේ නෙමෙයි, අභ්‍යන්තර ඔරලෝසුව (ජීව විද්‍යාත්මක ඔරලෝසුව) විසින් පුරෝකතනය කරපු වටේ යන මාර්ගයක් ඔස්සේ. මේ නිරීක්ෂණ වලින් අනාවරණය වුණේ පරෙවියන්ට නිවැරදිව වාසස්ථානයට ගමන් කරන්න නම්, සූර්යයා අවශ්‍ය වෙනවා කියල. මොකද සූර්යයා විසින් තමයි පරෙවියන්ගේ නිවැරදි අභ්‍යන්තර ඔරලෝසුවක් පවත්වාගන්නේ. හැබැයි මෙයාලගෙ මේ අරුම පුදුම හැකියාවට උදව් වෙන එකම කෙනා සූර්යයා නෙමෙයි.

මංසලකුණු කියන්නේ පරෙවියන් විසින් ගමනාන්තය සොයාගන්න පාවිච්චි කරන තවත් එක් සාධකයක්. හැබැයි මේ ගැන තිබ්බ කුතුහලය නිසා පර්යේෂකයින් විසින් පරෙවියන්ට Frosted glass කියන වීදුරු විශේෂය පළදවනවා. (නානකාමරවල බහුල වීදුරු විශේෂයක්) ඒවායෙන් මංසලකුණු අධ්‍යනය කරන්න බාධා එල්ල වුණත් නිවැරදිව තමන්ගෙ වාසස්ථානයට එන්න පරෙවියන්ට පුලුවන් වුණා. හැබැයි පර්යේෂකයින් කියන්නෙ Frosted glass පැළද ගමනාන්තයට ගමන් කරනවාට වඩා Frosted glass රහිතව ගමනාන්තය වෙත ගමන් කරන එක පරෙවියන් පහසුවෙන් සහ ඉක්මනින් කළා කියලයි. ඒ නිසා මංසලකුණු කියන්නෙත් පරෙවියන්ගේ ගමනාගමනයට යම් තාක් දුරකට හෝ වැදගත් දෙයක්.
මේ අතරෙදි, 'පරෙවියන් තමන්ගේ වාසස්ථානයට ගමන් කරන්න පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය යොදාගන්නවා' කියල තවත් පුදුම හිතෙන උපකල්පනයක් පර්යේෂකයින් විසින් ගොඩනගනවා. හැබැයි කුරුල්ලෙක්ට චුම්බක ක්ෂේත්‍රයක් දැනෙන්නෙ කොහොමද කියන එක ගැන එයාලට පැහැදිලි අදහසක් තිබුණෙ නැහැ. ඒ නිසා මේ ගැන හොයලා බලන්න අමුතු විදිහෙ පර්යේෂණයක් කරන්න ඔවුන් තීරණය කරනවා. පරෙවියාව ලී කුටීරයක රදවලා කූටීරයේ දෙකෙළවරින් ආහාර තියන භාජන දෙකක් ස්ථානගත කරනවා. කූටීරයට පිටතින් චුම්බක දගර කිහිපයකුත් රදවනවා.

චුම්බක දගර සක්‍රිය කරලා චුම්බක ක්ෂේත්‍රයක් හැදුනට පස්සෙ පර්යේෂකයින්ට දැකගන්න පුලුවන් වෙනවා, පරෙවියන් කුටීරයේ එක් නිශ්චිත කෙළවරක් දෙසට විතරක්ම ගමන් කරන ස්වභාවයක්. චුම්බක ක්ෂේත්‍රය ඔස්සේ එයාලගේ ගමනාන්තය එල්ල වෙලා තියෙන්නෙ ඒ දිශාවට වෙන්න පුලුවන්. මේක තහවුරුකරගැනීමේ අරමුණින්, පරෙවියන්ගේ හොටේ කාන්දම් අලවලා ආයෙම කුටීරයට දැම්මට පස්සෙ, කලින් විදිහට නිශ්චිත දිශාවක් ඔස්සේ ගමන් කරන්න ඔවුන් පෙළඹෙන්නෙ නැති ස්වභාවයක් දැකගන්න පුලුවන් වුණා. ඒ කියන්නේ එතනදි පරෙවියන්ට හරියාකාරව චුම්බක ක්ෂේත්‍රයක් දැනිලා නැහැ කියන එක.

මේ නිරීක්ෂණ ඔස්සේ තමයි විද්‍යාඥයින්ට හොයාගන්න පුලුවන් වෙන්නෙ, පරෙවියන්ගේ හොට ඇතුළේ කුඩා චුම්බක අංශු විශේෂයක් තියනවා කියලා. ඒ චුම්බක අංශුවල උදව්වෙන් තමයි, අවට පිහිටන චුම්බක ක්ෂේත්‍රය ඔස්සේ තමන්ගේ වාසස්ථානයට යන මාර්ගය හොයාගන්න පරෙවියන්ට පුලුවන් වෙන්නෙ. වෙනත් චුම්බකයක් හොට මතින් තිබ්බහම චුම්බක ක්ෂේත්‍රය විකෘති වෙලා නිවැරදි දිශාව තීරණය කරගන්න පරෙවියට බැරුව යනවා. කාන්දම ඇලෙව්වත් එක්කම පරෙවියන් නිශ්චිත කෙළවරකට නොයන්න හේතුව වුණේ ඒකයි.

මේ අතරතුරේදි පරෙවියන් විසින් නිවැරදි දිශාවන් සොයාගන්න, චුම්බක ක්ෂේත්‍රවලට වඩා "ගන්ධය" (smell) පාවිච්චි කරනවා කියලා තවත් පර්යේෂකයෙක් තර්කයක් අරන් එනවා. 2006 දි මේ පර්යේෂකයා තරුණ පරෙවියන් 48 ක් අරගෙන එතනින් හරි අඩකගෙ, චුම්බක ක්ෂේත්‍ර ග්‍රහණය කරන්න හැඩගැහිලා තියෙන ස්නායු කපලා දානවා. ඉතිරි පරෙවියන් 24 දෙනාගේ ආඝ්‍රාණයට හැඩ ගැහුණු ස්නායු කපලා දානවා. ඉන් පස්සෙ පරෙවියන් හතලිස් අට දෙනාම වාසස්ථානයේ ඉදන් සැතපුම් 30 ක දුරකට අරන් ගිහින් අහසට මුදාහරිනවා. පැය 24 ක් ඇතුළත, තවදුරටත් චුම්බක ක්ෂේත්‍ර ග්‍රහණය කරන්න බැරි එක් පරෙවියෙක් හැරෙන්න අනිත් හැම පරෙවියෙක්ම වාසස්ථානයට ළගා වෙනවා. ගන්ධය ආඝ්‍රානය කරන්න බැරි පරෙවියන් අතරින් වාසස්ථානයට එන්න පුලුවන් වෙන්නෙ පරෙවියන් 4 දෙනෙක්ට විතරයි. චුම්බක ක්ෂේත්‍රවලට වඩා ගන්ධය ප්‍රධාන තැනක් ගන්නවා කියන එක මේ නිරීක්ෂණයන්ගෙන් ඔප්පු වුණා.

හැබැයි මෙච්චර දුරට අපි කතාකරපු හැම සාධකයක්ම තිබිලත් නිවැරදිව තමන්ගේ වාසස්ථානයට යා ගන්න බැරි පරෙවියන් ගැන විද්‍යාඥායින්ට තිබුණේ කුතුහලයක්. ඒ නිසා මේ ගැන හොයන්න භූ භෞතික විද්‍යාඥයෙක් වුණ John Hagstrom ඉදිරිපත් වෙනවා. ප්‍රදේශයක් ඔස්සේ තියන චුම්බක ක්ෂේත්‍රයක් වෙනස් වෙන්න විදිහක් නැහැ. ගන්ධයේත් ලොකු වෙනසක් වෙන්න විදිහක් නැහැ. එහෙනම් මොකද්ද මේ ප්‍රශ්නය ඇතිකරන්නෙ? මෙතනදි John Hagstrom අපූරු අදහසක් ගේනවා. ඒ තමයි "ශබ්දය". පරෙවියන් තමන්ගේ වාසස්ථාන කරා ගමන්කරන්න ප්‍රධාන වශයෙන්, ශබ්දය භාවිතා කරනවා කියල Hagstrom විශ්වාස කළා. මේ ගැන අධ්‍යනය කරන්න ඔහු විසින්, පරෙවියන්ගේ දිනපතා ගමන්මාර්ග බවට පත්වෙලා තියන ප්‍රදේශවල ධ්වනි සිතියම් නිර්මාණය කළා. සංකීර්ණ පරිගණක වැඩසටහනක් පාවිච්චි කරලා වායුගෝලීය තත්වද ඇතුළත්ව නිර්මාණය කරපු මේ සිතියම් අධ්‍යනයේදී Hagstrom ගේ අවධානය අධෝධ්වනි වෙතට යොමුවෙනවා. අධෝධ්වනිය කියන්නේ අපිට නොඇසෙන 20Hz ට අඩු ශබ්දයන් කිව්වොත් හරි.

කර්මාන්ත හා සම්බන්ධ ක්‍රියාවලින්, සුළං ටර්බයිනවලින්, කුණාටු වලින්, අකුණු වලින් වගේම භූ චලන නිසාත් අධෝධ්වනිය හටගන්නවා. ඒවගේම ඒවාට සැතපුම් දහස් ගණනක් දුරට වුණත් ගමන් කරන්න පුලුවන්. පරෙවියන්ට අධෝධ්වනියද ඇතුළත්ව 0.05Hz වෙනකම් ශබ්දවලට සවන්දෙන්න හැකියාව තියනවා. ඒ නිසා මේ අධෝධ්වනිය, තමන්ගෙ වාසස්ථාන කරා ගමන්කරන්න පරෙවියන් විසින් යොදාගන්නවාද කියන එක ගැන Hangstrom ට සැකයක් ඇතිවුණා. New York වල කරපු පර්යේෂණයකින් Hangstrom ට මේක ඔප්පු කරගන්න පුලුවන් වුණා..
ඒවගේම පරෙවියන්ට නිවැරදිව වාසස්ථානයට යා ගන්න බැරිවෙන හේතුවත් ඔහු හොයාගත්තා. ඒකට හේතුවුණේ වායුගෝලීය තත්වය. සමහර අවස්ථාවලදි පරෙවියන්ට අධෝධ්වනියට සවන්දෙන්න බැරිවෙන විදිහට වායුගෝලීය තත්වයන් බාධා ඇතිකරනවා. එතකොට නිවැරදිව තමන්ගෙ වාසස්ථානය හොයාගන්න පරෙවියන්ට බැරිවෙනවා. ඒ නිසා පරෙවියෙකුට පහසුවෙන් සහ ඉක්මනින් ගෙදර එන්න ඕනනම් හිතකර වායුගෝලීය තත්වයක් තිබීම අනිවාර්යය වෙනවා.
කොහොමනමුත් පරෙවියන් කියන්නේ සියවස් ගණනාවක් තිස්සේ මිනිසුන්ට සේවාව ලබාදුන් සහ මිනිසුන්ගේ ගෞරවයට පාත්‍ර වුණ කුරුලු විශේෂයක්. පයින් යනකොට පරෙවි අසූචි ප්‍රහාරයකට ලක් වුණ කෙනෙක්නම් ඔයා ඒ කතාවට එකග වෙන්නෙ නැතිවෙයි. හැබැයි පරෙවියන්ට මීට වඩා කීර්තියක් ලැබෙන්නෝනෙ කියන එකයි මගේ මතය. දෙවන ලෝක යුද්ධය අතරතුරේදී ඉතාලියේ ගම්මානයක් මිත්‍ර හමුදා විසින් මුදවා ගන්නවා. ඒක බලාපොරොත්තු වුණාටත් වඩා සෑහෙන ඉක්මනින් සිදු වුණ මුදවාගැනීමක්. ඒ දිනයේදීම ගම්මානය යටත් කරගෙන හිටපු ජර්මානු හමුදා මැඩපවත්වන අරමුණින් ගුවන් ප්‍රහාර එල්ල කරන්න සියල්ල සූදානම් වෙලයි තිබුණෙ. හැබැයි මේ වෙනකොටත් ගම්මානය ජර්මානුවන්ගෙන් මුදවාගෙන ඉවරයි. ඒත් ආයෙම මිත්‍ර ගුවන් ප්‍රහාරයකින් මරණයට පත්වීමේ අවදානමක් ගම්වැසියන්ට උදාවෙලා තියෙනවා. මේ අවස්ථාවේදී තමයි G.I. Joe කියන පරෙවියාව, 'ගුවන් ප්‍රහාරය නවත්වන්න' කියන පණිවුඩයත් එක්ක පිටත්කර යවන්නෙ. G.I. Joe විනාඩි 20 ක් ඇතුළත සැතපුම් 20 ක් දුර පියඹලා ගුවන් ප්‍රහාරකයින් ගුවන්ගත වෙන්න මොහොතකට කලින් පණිවුඩය හමුදාවන්ට ලබාදෙනවා. G.I.Joe නිසා නොගැනිය හැකිතරම් සෙබළුන් පිරිසකගේ සහ සිවිල් වැසියන්ගේ ජීවිත ඒ විදිහට බේරාගන්න පුලුවන් වුණා. සාමයේ සංකේතය පරෙවියා බවට පත්වෙන්න මේකත් එක හේතුවක් වෙන්න ඇති.

References :
https://www.cia.gov/readingroom/docs/TACANA%20PROJECT%5B15687597%5D.pdf

https://www.rpra.org/wp-content/uploads/2012/03/national-pigeon-service.pdf


https://www.pnas.org/doi/10.1073/pnas.0701575104



