Skip to content

ප්‍රෙශ(ර්) එකට පාර කපන Phone calls

සතියක් තුළ ඔබගේ දුරකතන ඇමතුම් කාලය මිනිත්තු 30 ක් හෝ ඊට වැඩිනම්, අධික රුධිර පීඩනය ඇතිවීමේ අවදානම 12% කින් වැඩි වන බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. දුරකතන සංවාදයේ යෙදෙන කාලය වැඩි වන තරමට හදවතේ සෞඛ්‍ය තත්වයටද එය අනුලෝමව බලපාන බව පර්යේෂණයට දායක වූ චීනයේ Southern Medical University හි මහාචාර්ය Xianhui Qin පවසනවා. වසර ගණනාවක් තිස්සේ භාවිතය හෝ hands-free උපාංගයක් යොදාගනිමින් ඇමතුම් ලබාගැනීම මගින් මෙම අවදානම පහව නොයන බවද ඔහු සදහන් කරනවා.

ලොව පුරා අවුරුදු 30 - 79 අතර වැඩිහිටියන් බිලියන 1.3 ක් පමණ මේ වන විට අධික රුධිර පීඩනයෙන් පීඩා විදිනවා. හදිසි හෘදයාබාධයන්ගෙන් සිදුවන අකල් මරණයන්ගෙන් විශාල සංඛ්‍යාවකට හේතු වන්නේද අධික රුධිර පීඩනයයි.

දුරකතනයේ බලපෑම

ලෝක ජනගහනයෙන් හතරෙන් තුනක්වත් මේ වන විට දුරකතනයක හිමිකරුවන්ය. ඒවායෙන් නිකුත් වන්නේ අඩු ශක්තියකින් යුත් ගුවන්විදුලි තරංග වුවත් කෙටිකාලීනව රුධිර පීඩනය ඉහළ දැමීමට දුරකතනයට හැකිබව විවිධ පර්යේෂණයන්ගෙන් අනාවරණය වී තිබෙනවා. නමුත් එම පර්යේෂණයන්, විටින් විට ගෙනදී ඇත්තේ විවිධ ප්‍රතිඵලයන්ය. ඊට හේතුව පර්යේෂණයන් සදහා, දුරකතන ඇමතුම් ලබාගැනීම, කෙටි පණිවිඩ යැවීම, දුරකතන ක්‍රීඩා හි නිරත වීම යනාදී දුරකතනය සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් සලකා බැලීම විය හැකි නිසා මෙම පර්යේෂණය දුරකතන ඇමතුම් සම්බන්ධව පමණක් සිදුකිරීමට පර්යේෂකයින් තීරණය කොට තිබෙනවා.

ඒ අනුව මෙම පර්යේෂණය ඇමතුම් ලබාදීම සහ ප්‍රතිග්‍රහණය යන ක්‍රියාකාරකම් පාදක කොටගෙන සිදුවූවක්. මේ සදහා එංගලන්තයේ BioBank හි දත්ත උපයෝගී කරගෙන තිබෙනවා. අධික රුධීර පීඩනයෙන් තොර අවුරුදු 37 ත් 73 ත් අතර වැඩිහිටියන් 212,046 කගේ දුරකතන පරිශීලනය සම්බන්ධව අත්දැකීම touch screen එකක දර්ශනය වූ ප්‍රශ්නාවලියක් මගින් ලබාගෙන තිබෙනවා. දුරකතනය භාවිතා කරන වර්ෂ ගණන, සතියකට භාවිතයේ යෙදෙන පැය ගණන, hands-free භාවිතා කරනවාද නැද්ද යන වග පරිශීලකයින්ට යොමු වූ ප්‍රශ්න අතර විය. මෙහිදී දුරකතන පරිශීලකයින් ලෙස තෝරාගත්තේ අඩුම තරමින් සතියකට එක් වතාවක් හෝ දුරකන ඇමතුම් ලබාදෙන/ ප්‍රතිග්‍රහණය කරන අයවලුන්ය.

මේ සදහා සහභාගී වූවන්ගේ වයස, ස්ත්‍රී පුරුෂ බව, බර, ජාතිය, BMI අගය, අධික රුධිර පීඩනය සම්බන්ධව පවුල් ඉතිහාසය, අධ්‍යාපනය, දුම්බොනවාද නැද්ද යන්න, රුධිර පීඩනය, රුධිර ලිපිඩ, රුධිර ග්ලුකෝස් මට්ටම, ඉදිමුම් තත්ව, වකුගඩු ක්‍රියාකාරීත්වය සහ කොලෙස්ටරෝල් හෝ රුධිර ග්ලූකෝස් මට්ටම් පහත දැමීමට ගන්නා බෙහෙත් වර්ග යනාදියද සැලකිල්ලට ගෙන මෙම පර්යේෂණය සිදුකොට තිබෙනවා.

මෙයට සහභාගී වූ අයගේ සාමාන්‍ය වයස අවුරුදු 54 වූ අතර ඔවුන්ගෙන් 62% ක් ගැහැණු අයද 88% ක් දුරකතන පරිශීලකයින්ද විය. අවුරුදු 12 ක් තිස්සේ ඔවුන්ගේ ශරීර සෞඛ්‍යය අධ්‍යනය කොට ඇති අතර අවසානයේ, 13,984 දෙනෙක් (7%) අධික රුධිර පීඩනයට ගොදුරු වී තිබෙනවා. දුරකතනය භාවිතා නොකළ අය සමග දුරකතන පරිශීලකයින් සන්සන්දනයේදී පරිශීලකයින්ට, අධික රුධිර පීඩනය ඇතිවීමේ 7% ක අවදානමක් නිර්මාණය වී තිබෙනවා. සතියක් ඇතුළත මිනිත්තු 30 ක් හෝ ඊට වැඩි වේලාවක් ඇමතුම් ලබාගැනීම හෝ ලබාදීම සිදු කළ අයගේ අවදානම 12% ක් වූ අතර එය ගැහැණු පිරිමි දෙපිරිසටම සමාන අයුරින් බලපෑම් එල්ල කර ඇත.

සතියක් තුළ විනාඩි 5 කටත් අඩු වේලාවක් ඇමතුම් සදහා යෙදූ අය සමග සන්සන්දනයේදී,

සතියකදී විනාඩි 30-59, පැය 1-3, පැය 4-6 සහ පැය 6 කට වඩා ඇමතුම් සදහා කාලය ගත කළ අයගේ අවදානම් තත්ව පිළිවෙළින් 8%, 13%, 16% සහ 25% විය. Hands-free භාවිතා කරමින් ඇමතුම් ලබාගත්තත් එම අවදානම් තත්ව ඒ අයුරින්ම බලපායි. එමෙන්ම ජාන වලින්ම අධික රුධිර පීඩන අවදානම රැගෙන එන අය, සතියකට මිනිත්තු 30 කට වඩා ඇමතුම් සදහා කාලය ගත කිරීමෙන් අවදානම් තත්වය 33% ක් දක්වා ඉහළ යන බවද සොයාගනු ලැබුවා.

මහාචාර්ය Qin පවසා සිටින්නේ සතියක් ඇතුළත ඇමතුම් කාලය මිනිත්තු 30 ට වඩා අඩුවෙන් තබාගැනීමෙන් අවදානම් තත්වය පහව යන බවයි. මෙම ප්‍රතිඵල තහවුරු කිරීමට තවත් පර්යේෂණ අවශ්‍ය බවත් එතෙක් හැකිතරම් ඇමතුම් කාලය අඩුවෙන් තබාගන්නා ලෙසටත් ඔහු සදහන් කර සිටිනවා.

බොහෝ අය තමන් විසින් හිතවතුන්ට ගන්නා දිගු ඇමතුම්වල screen shots, ආඩම්බරයෙන් Whatsapp status ආදියෙහි පළ කරන්නේ එයි ආදීනව ගැන නොදැනය. එමනිසා මේ පිළිබදව හැකි අයුරින් අන් අයව දැනුවත් කරන අතරේම ඔබත් හැකිතරම් කෙටි ඇමතුම් කාලයක් පවත්වා ගැනීමට උත්සුක වන්න.


References :

Ye Z, Zhang Y, Zhang Y, et al. Mobile phone calls, genetic susceptibility and new-onset hypertension: results from 212,046 UK Biobank participants. Eur Heart J Digit Health. 2023. doi:10.1093/ehjdh/ztad024.
https://academic.oup.com/ehjdh/article-lookup/doi/10.1093/ehjdh/ztad024
International Telecommunication Union. Measuring digital development: facts and figures 2022.
https://www.itu.int/hub/publication/d-ind-ict_mdd-2022/
World Health Organization. Key facts on hypertension. https://www.who.int/news-room/fact-sheets/detail/hypertension.

Latest