Skip to content

පොත් මාමාගේ ඇවිදින පුස්තකාලය

අව් කාෂ්ටකේ වුවද ගෙයක් ගෙයක් ගානේ, ගමක් ගමක් ගානේ පාපැදියෙම ගිහිල්ලා ලොකු පොඩි සැමට අතටම පොත් බෙදා දෙමින් අපූරු සමාජ සත්කාරයක් කරන කව්රුත් හඳුනන පොත් මාමා ගැන කෙරෙන විග්‍රහයකි මෙය.

අනුරාධපුර ගලෙන්බිඳුනු වැව උල්පත්ගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 74 ක් වයසැති ආර්.බී.කිරිබංඩා නොහොත් පොත් මාමාගේ අපූරු උතස්හයක්  පිළිබඳව කාගෙත් අවධානය යොමු කරනු ලබන්නේ මෙය ආදර්ශයක් මෙන්ම ධානාත්මක සිතුවිල්ලක් නිසාවෙනි.

මේ සත්ක්‍රියාව ගැන පොත්මාමගේ අදහසින්ම දැනගන්නෙනම් අගනේය.

පොත් මමා කියල තමයි මට කව්රුත් කියන්නේ. මම දැන් අවුරුදු 20 කට ආසන්න කාලයක් මේ සමාජ සේවාව කරනවා මට දැන් 74 අවුරුද්ද ලබලා තියෙන්නේ නමුත් පාපැදියෙම තමයි මෙච්චර කාලයක් ගෙයක් ගානේ ගිහින් පොත් බෙදලා දුන්නේ. මට ඒක මගේ කකුල් දෙකේ හයිය තියනකම්ම කරන්න ඔන මොකද පොඩි ළමයගේ ඉඳලා වැඩිහිටයා වෙනකම් අද කාලේ පොත් කියවනවා අඩු නිසා මට ඕනේ පොත් කියවන සමාජයක් බිහිවෙනව දකින්නයි.

මුලින් මම පොත් කිහිපයක් අරගෙන ගමේ කිහිප දෙනෙකුට බෙදලා අතින් අත යැව්වා. පසුව දවසින් දවස පාඨකයින් වැඩිවුනා ඉතින් මම 2005 වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වැඩකරල විශ්‍රාම ගියාට පස්සේ තමයි මේ වැඩේ පටන්ගත්තේ . ඉතින් මම මගේ විශ්‍රාම වැටුපටයි ඉතිරි කරගෙන ඉඳපු මුදල් සියල්ලකටමයි මම කරේ පොත් අරගෙන කාටත් කියවන්න ඉඩ සලසපු එක තමයි.

මගේ පොත් පෙට්ටියේ පොඩි ළමයිට සුරංගනා කතා, චූටි බබා වගේ පත්තර තියෙනවා, ඊලඟට පවසර ළමයිට ශිෂ්‍යත්වයට පාඩම් පොතුත් තියනවා, ඒ වගේම සාමාන්‍ය පෙළ උසස් පෙළ දරුවන්ටත් මම ලඟ විවිධ විෂයන්ට අයත් පොත් වගේම නවකතා පොතුත් තියනවා , ඒ වගේම තමයි වැඩිමල් අයට ඒ කිව්වේ උපාසක උපාසිකාවන්ට අවශ්‍ය බණකතා පොතුත් මේ පෙට්ටියෙම තියනවා. ඒ වගේම දවසේ පත්තර ටිකත් මම කොහොමහරි අරන් යනවා. ඒ පත්තරනම් ඒවගේ මිලටම දෙනවා.

ඉතින් මම හැම දවසකම වගේ උදේ 7ට විතර ගෙදරින් පිටවෙනවා. මගේ බයිසිකලේ ජංගම පුස්තකාල සේවය කියලා බොඩ්එකකුත් ගහගෙන තමයි යන්නේ. උදේම යන මම ආපහු ගෙදර එනකොට අඳුර වැටෙනවා හැමදාම. ඒත මට ඒතරම් මහන්සියක් දැනෙන්නැත්තේ මගේ පොත් කියවන පාඨකයින්ගේ අදහස් නිසා මට හිතට ලොකු හයියක් එනවා.

මගේ ගෙදර කාමරයක පොත් පුස්තකාලයක් වගේ ගබඩාකරලා තියෙනවා එතනත් පොත් 500 ක් විතර තියනවා. තව ගොඩක් අය කියවපු පොත් දහසක ආසන්න මම අයින් කරල තියෙන්නේ බෑග් වලට දාලා ඒවා මේ ගම්වල මිනිස්සු දෙතුන් වතාවක් කියවල ඇති. මොකද සමහර පොත් තියනවානේ දෙතුන් වතාවක් කියෙව්වත් එපානොවෙන. මේ වෙනකොටත් පොත් 500කට වැඩි ප්‍රමාණයක් අතිනත ගිහිල්ලා තියෙන්නේ.

මම පොත් ගෙදරින් ගෙදරට ගිහින් දෙනවා ඉතින් මේ පොත් වෙනුවෙන් සතියකටම මම රුපියල් 10 ක් 20 ක් වගේ තමයි ගන්නේ තියන අය දෙනවා නැත්තම් ඒකත් මම බලාපොරොත්තු වෙන්නැහැ. මට ඕන මේ සමාජය කියවීමෙන් සම්පූරණ කරන්න. මේ බයිසිකලෙන් දවසකට මම කිලෝමීටර් 50 කට වැඩි දුරක් අනුරාධපුරේ ගම්වල යැවෙනවා.

මේ පාපැදියත් මගේ පුතා තමයි අරන් දුන්නේ ඒ වගේම මගේ බිරිඳත් මමෛ් වැඩවලට ගොඩක් උදව් කරනවා. දැන්නම් ඒ අය කියනවා දැන් තාත්තා අවුරුදු ගාණක් මේ සේවය කරා දැන් ටිකක් විවේක ගන්න කියලා. ඒ අය බයයි මම බයිසිකලේ ගිහින් කොහේ හරි වැටි මට අනතුරක් වෙයි කියලා. නමුත් මට නිකම්ම ගෙදර ඉන්න එක හරිම අමාරුයි. ඒ ඉන්න වෙලාවෙත් මට හිතෙන්නේ කාටහරි පොතක් බෙදල ඒක කියවන්න දෙන්න තියනවනම් කියලා.

අවුරුදු 20 කට ආසන්න කාලයක්ම මම මේ බයිසිකලෙන් ගිහින් තමයි පොත් බෙදුවේ දැන් 74 ලැබුවට පස්සේ ඇඟට ටිකක් වාරු නැති අවස්ථා තියෙනවා. මොකද මේ අවට ගම්මාන රැසක්ම දුෂ්කරයි පාරවල් හරියට නැහැ. කඳු පල්ලම්වල වලවල් මම කිහිප සැරයක්ම පොත් පෙට්ටියේ බර වැඩිකමට වාරු නැතිව වැටිල තියනවා. නමුත් හිතේ හයිය නිසා තාමත් පදිනවා.

මම මේක මුදල් උපයන්න කරලා වැඩක් නැහැ. මට ඕන මේකෙන් සමාජයට නිතරම වැඩක් කරන්න ඉතින් ඒකට මට තවත් පොත් ටිකක් හම්බ වෙනවනම් බොහොම සතුටුයි. ඒ වගේම මගේ හිතේ දැන් තියන අනිත් ලොකුම දේ තමයි මට දැන් මේ පොත් පෙට්ටිය බයිසිකලේ තියාගෙන පදින්න බැරි නිසා අර කුඩා මෝටර් බයිසිකලයක් ගන්න තියනවනම් කියන එක . මදුරුවා කියලා හඳුන්වන යතුරුපැදියක් වගේ පොඩි එකක් තියනවනම් මට මේක බොහොම ලේසියෙන් කරන්න පුලුවන්. තව පොත් ටිකක් ගන්නයි මේ බයිසිකලයකුත් ලැබුන්නම් පයේ ශක්තිය තියනකම්ම මට මේ සේවාව කරන්න පුලුවන්.

අවිද්ද පය දහස් වටී මෙන් මේ පොත් මාමගේ හිතේ හයිය, යහපත් ආකල්ප වගේම තාමත් පැදෙන පාපැදියේ වටිනාකම කොතෙක්දැයි කිව නොහැකිය. මේ ඇවිදින පුස්තකාලයෙන් ගත් දැනුමද කොතෙක්දැයි කිව නොහැකිය.

අප සමාජයේ අවාසනාවකට මේ කාලෙන් පසුව පොත් මාමාගේ අඩුව පුරවන්න බයිසිකලෙන් අද හෝ හෙට යන්න කෙනෙක් අද්ද . පොත වෙනුවට ජංගම දුරකතනය අද කාගෙත් අත්වල ඇත.එය එසේ වුවද වර්ථමානයට හා අනාගතයට කියවීමෙන් මිනිසා සම්පූරණ වන්නේ කෙසේද යන්න දෙවරක් හෝ තෙවරක් සිතිය යුතුය.

Latest