Skip to content

පෝට්සිටි ත්‍රෛපාර්ශෂික ගිවිසුම මුදා හරින්න.RTI කොමිෂම නියෝග කරයි.

කොළඹ වරාය නගරය පිළිබදව වන ත්‍රෛපාර්ශික ගිවිසුම පරිසර යුක්ති කෙන්ද්‍රයට සහ සමස්ථ ලංකා ධීවර සමිතියට 2023 මැයි මස 06 වැනිදා පෙර ලබා දෙන ලෙස තොරතුරු දැන ගැනීමේ කොමිෂමේ කොමසාරිස් ක්‍රිෂාලි පින්ටෝ ජයවර්ධන මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට නියෝග කර ඇත.

වරාය නගර ව්‍යාපෘතිය දියත් කිරීමේදී ප්‍රමාණවත් තරම් මහජන අදහස් ලබා ගෙන නොමැති බව සහ විස්තීරණ පාරිසරික බලපෑම් ඇගයීමේ ක්‍රියාවලියකින් තොරව සිදු කර ඇති බැවින් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ ත්‍රෛපාර්ශික ගිවිසුම මුදාහරින ලෙස පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2018 වසරේදී මහනගර සහ බස්නහිර සංවර්ධන අමාත්‍යාංශයෙන් තොරතුරු දැන ගැනීමේ පනතට අනුව අයදුම්පතක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත.නමුත් එම ගිවිසුමේ රහසිගත වගන්ති ඇති බව සදහන් කරමින් තොරතුරු ලබා දීම මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර ඇත.අනතුරුව කොළඹ වරාය නගරය පිළිබදව වන තෛපාර්ශික ගිවිසුම ලබා දෙන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් තෙරතුරු දැන ගැනීමේ කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.එම අභියාචනය පිළිගෙන ඇති  තොරතුරු දැන ගැනීමේ කොමිසම මේ සම්බන්ධයෙන් වන විභාගය වසර 04 ක කාලයක් පවත්වා ඇත. තොරතුරු ඉල්ලීමක් සම්බන්ධයෙන් එම කොමිසම හමුවේ වැඩිම කාලයක් විභාග කර ඇත්තේම මෙම ඉල්ලීම සම්බන්ධයෙන් වීම විශේෂත්වයකි.

මෙම විභාගය පැවැත්වෙන අතර තුර පොදු අධිකාරිය ලෙස එතෙක් හැදින්වූ මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය නාගරික සංවර්ධන, නිවාස පහසුකම් අමාත්‍යාංශය ලෙස වෙනස් වී ඇත.පසුව 2022 දී එම පොදු අධිකාරියද ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය ලෙසත් වෙනස් වී ඇත. පසුව වරාය නගර ආර්ථික කොමිෂන් සභාව නව පනතක් මගින් ස්ථාපනය කර ඇත. මේ අතර තුර 2021 ජූලි මස 20 වැනිදා වත්මන් පොදු අධිකාරියේ මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලීම මත විභාග වෙමින් පැවති අභියාචනායේ අතිරේක වගඋත්තරකරුවෙකු ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය නම් කර ඇත.

අභියාචනා විභාගය සිදු වන අතර තුර සමස්ථ ලංකා ධීවර සමිතිය වෙනුවෙන් ෆයිසාල් මන්සූර් මහතාද කොළඹ වරාය නගරය පිළිබදව වන ත්‍රෛපාර්ශික ගිවිසුමේ පිටපතක් තොරතුරු දැන ගැනීමේ පනතට අනුව ඉල්ලීමක් කර ඇත.

කුමන වගන්ති රහසිගතව තබා ගත යුතුද යන්න තහවුරු කිරීමට පොදු අධිකාරියට නොහැකි වූ බැවින් 2014 වර්ෂයේදී අස්සන් තබන ලද කොළඹ වරාය නගරය පිළිබදව වන ත්‍රෛපාර්ශික ගිවිසුම ජනතාවට විවෘත විය යුතු බව තොරතුරු දැන ගැනීමේ කොමිසමේ කොමසාරිස් ක්‍රිශාලි පින්ටෝ ජයවර්ධන මහතා තම නියෝගය නිකුත් කරමින් පවසා ඇත.එමෙන්ම කොළඹ වරාය නගරය පිළිබදව වන ත්‍රෛපාර්ශික ගිවිසුමේ කිසිදු ලේඛණයක් පොදු ජනතාවගෙන් සගව තබා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවද තොරතුරු දැන ගැනීමේ කොමිසමේ කොමසාරිස්වරයා තම නියෝගය නිකුත් කරමින් සදහන් කර ඇත.

Latest