Skip to content

දේශපාලන සංස්කෘතිය සහ ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය

ශාස්ත්‍රීය වශයෙන් දේශපාලන සංස්කෘතිය පිළිබඳව  හඳුන්වා දෙන්නේ නම් දේශපාලන සංස්කෘතිය යනු " දේශපාලන ක්‍රියාවලියකට පිළිවෙලක් සහ අර්ථයක් ලබා දෙන දේශපාලන පද්ධතියෙහි හැසිරීම් පාලනය කරන සහ ඊට යටින් පවතින උපකල්පන සහ රීති සපයන ආකල්ප, විශ්වාස  සහ හැඟීම් සමූහයයි ". දේශපාලන සංස්කෘතිය ගත්විට එය රටක දේශපාලන අනාගතය තීරණය කරණු ලබන අනිවාර්යය සාධකයක් වශයෙන් හැඳින්විය හැකි අතර එය තීරණය වීමට රටක විවිධ හේතු සාධක බලපානු ලබයි. උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය තීරණය වීම සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ සමානුපාතික නියෝජන ක්‍රමයයි. කෙසේ නමුත් කිසියම් රටක දේශපාලන සංස්කෘතිය බොහෝවිට අනෙක් රටවලට සාපේක්ෂව වෙනස්වන අතර ඒකාකාරී දේශපාලන සංස්කෘතියක් පිළිබඳව උදම් අනන රටක් වර්තමාන ලෝකයේ සොයා සපයා ගැනීම ඉතාමත් අපහසුය.

දේශපාලන සංස්කෘතියේ විවිධ පැතිකඩවල ස්වාභාවය, පැවැත්ම සහ වැදගත්කම එක් සමාජයකින් තවත් සමාජයකට වෙනස්වන අතර එබැවින් සෑම රටකම දේශපාලන සංස්කෘතිය එකක් නොවේ. සාමජයේ සාමාජිකයින් දේශපාලන ක්‍රියාකාරකම්වල ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරන්නේද, මහජන සංවාදයෙන් ප්‍රහිලාභ අපේක්ෂා කරන්නේද, මිනිසුන්ට රජයේ ක්‍රියාවලීන්ට සහභාගී විය හැකිද, රජයේ ක්‍රියාකාරකම් දැකගත හැකිද යන ප්‍රශ්න පදනම්කරගෙන දේශපාලන සංස්කෘතිය වර්ගීකරණය කර ඇත. ආර්මන්ඩ් සහ වර්බා යන පුද්ගලයින් විසින් එසේ දේශපාලන සංස්කෘතියේ මට්ටම් වර්ග තුනක් දක්වා ඇත.

ඉන් පළමු වැන්න වන්නේ පටු දේශපාලන සංස්කෘතියයි. පටු දේශපාලන සංස්කෘතියක් වශයෙන් අදහස් කරන්නේ ජාතික දේශපාලන ක්‍රමය පිළිබඳව අවබෝධයක් නොමැති, දේශපාලන ආදාන ක්‍රියාවලීන්ට සහභාගී වීමේ ප්‍රවණතාවක් නැති, දේශපාලන ක්‍රියාවලීන් පිළිබඳ සවිඥාණයක් නැති ජනතාවක් ජීවත්වන දේශපාලන ක්‍රමයකි. මේ සඳහා උදාහරණ ලෙස අප්‍රිකානු ගෝත්‍රිකයින් සහ එස්කිමෝවරුන් දැක්විය හැකි අතර දේශපාලන සංස්කෘතිය තුළ එම පුද්ගලයින්ට භූමිකාවක් නැත. පුරවැසියන් මධ්‍යම රජය සමඟ පවතින සම්බන්ධතාවය දුරස්ථව පමණක් දන්නා අතර රාජ්‍යය විසින් ගනුලබන තීරණ නොතකා දුරස්ථ සහ දේශපාලන සංසිධීන් පිළිබඳව නොදැනුවත්වම ඔවුන්ගේ ජීවිත ප්‍රමාණවත් තරම් සමීපගත කරයි. ඔවුන්ට දේශපාලනය පිළිබඳව දැනුමක් හෝ උනනුවක් නොමැති අතර මේ ආකාරයේ දේශපාලන සංස්කෘතිය සාම්ප්‍රදායික දේශපාලන ව්‍යුහයක් සමඟ පොදුවේ සමපාත වේ.

(Biswas, 2020) දක්වන ආකාරයට සාමාන්‍යයෙන් අවම සංවර්ධිත රටවල සහ සාම්ප්‍රදායික සමාජ ක්‍රමය තුළ දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් පුද්ගලයින් අතර විඥාණය හා පුළුල් උනන්දුව හෝ පුළුල් උදාසීනභාවයක් පවතී. දේශපාලන ජීවන රටාවේ සහ ජාතික දේශපාලන ක්‍රමයේ සන්දර්භය තුළ රට වැසියා කෙරෙහි දැඩි නොසැලකිල්ලක් පවතින අතර එය ප්‍රාදේශීය දේශපාලන සංස්කෘතියක් ගොඩ නැගීමට හේතු වේ. එවැනි සංස්කෘතියක් අවසන් කිරීමට නම් අධ්‍යාපනයේ පුළුල් ව්‍යාප්තියක අවශ්‍යතාවය සහ දේශපාලන සන්නිවේදනයේ ව්‍යාප්තිය ද අවශ්‍ය වේ. ආසියාවේ සහ අප්‍රිකාවේ අදටත් බොහෝ ප්‍රදේශවල එම දේශපාලන සංස්කෘතිය දැකගත හැකිය.

(Abbo and Bashir, 2020) දක්වන ආකාරයට පටු දේශාපාලන සංස්කෘතිය මඟින් සංකල්පනය වන්නේ දුර්වල දේශපාලන සමාජකරණයක් පවතින බවය. පුරවැසියන් ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳව නොදැන සිටීම පමණක් නොව දේශපාලන පද්ධතිය තුළ එහි ව්‍යුහයන් සහ ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත්භාවයක් පවතින විටදි වූවද එය ප්‍රාථමික හැඟීම් වලින් වැසී යන අතර පුරවැසියන් ඔවුන්ගේ වාර්ගිකත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි. පටු දේශපාලන සංස්කෘතියක් තුළ දුර්වල ජාතික දිශානතියක් ඇත. ජාතික අනන්‍යතාවය හෝ ඒකාග්‍රතාවය අවමය. ජනතාවට වාර්ගික සහ කලාපීය අනුබද්ධතා වඩාත්ම වැදගත්වන මූලධර්ම බවට පත් වේ. එපමණක් නොව ගැටුම් සහ ධ්‍රැවීකරණ බෙදීම් දක්නට ලැබෙන අතර එකිනෙකා කෙරෙහි දැඩි විශ්වාසයක් නොමැත. එම නිසා එවැනි සංස්කෘතියක් පවතින සමාජයක සාමූහිකත්වයක් නොමැත. තව දුරටත් පුරවැසියන් දේශපාලන ක්‍රියාදමය ගැන දැන හෝ නොදැන සිටීම පිළිබඳව වැසි උනන්දුවක් නොදක්වන අතර දේශපාලන සිදුවීම් සම්බන්ධව උද්‍යෝගයක් නැත. පාලකයින්ගේ ක්‍රියා කලාපයන් බොහෝ දූරට ප්‍රශ්න නොකරන අතර මෙවැනි රාජ්‍යයකට උදාහරණ ලෙස මෙක්සිකෝව දැක්විය හැකිය.

දෙවැනි වර්ගය වන්නේ යටත්වැසි දේශපාලන සංස්කෘතියයි. යටත්වැසි දේශපාලන සංස්කෘතියක් යනුවෙන් අදහස් වන්නේ ජනතාව තමන් ජීවත්වන දේශපාලන ක්‍රමයට කැමති වූවත් අකමැති වූවත් ආණ්ඩුක්‍රමය පිළිබඳව අවබෝධයක් ඇති, නීති සම්පාදනය, නීති ක්‍රියාත්මක කිරීම, බදු අය කිරීම ආදිය සම්බන්ධයෙන් රජයේ කාර්යබාරයද හොඳින් දන්නා නමුත් මිනිසුන්ට දේශපාලන ආදාන ක්‍රියාවලීන්ට සහභාගී වීමට උගන්වන්නේ නැති සමහරවිට ඔවුන්ට ඒ සඳහා ඉඩ නොදෙන, මේ හේතුවෙන් දේශපාලන ක්‍රමයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරන්නේ කෙසේද යන්න පිළිබඳව නිශ්චිත අවබෝධයක් නොමැති ජනතාවක් වෙසෙන දේශපාලන ක්‍රමයකි. උදාහරණ ලෙස යටත්විජිත රටවල සහ රාජාණ්ඩුවල දක්නට ඇත්තේ යටත්වැසි දේශපාලන සංස්කෘතියකි.

මෙවැනි සංස්කෘතියක් තුළ යටත්වැසි පුරවැසියන් මධ්‍යම ආණ්ඩුව ගැන දැනුවත්ව සිටින අතර, විසම්මුතිය සඳහා අඩු ඉඩක් සහිතව එහි තීරණවලට දැඩිලෙස යටත් වේ. දේශපාලන ක්‍රමය පිළිබඳව දැනුවත්බාවය පැවතිය ද තීරණ ගැනීමේ ක්‍රියාවලියට බලපෑම් කිරීමට බලපෑම් කිරීමට මෙවැනි සංස්කෘතියක මිනිසුන් උත්සාහ දරන්නේ නැත. ඒ වෙනුවට ආණ්ඩුවේ බොහෝ තීන්දු තීරණ බලහත්කාරයෙන් තොරව පිළිගනු ලබයි.

තෙවැනි වර්ගය වන්නේ සහභාගිත්ව දේශපාලන සංස්කෘතියයි. සහභාගිත්ව දේශපාලන සංස්කෘතියක් වශයෙන් අදහස් කරන්නේ මිනිසුන්ට දේශපාලන ක්‍රමයට සහභාගී වීමටත් එහි ක්‍රියාත්මක වීමටත් බාධාවකින් තොරව අවස්ථාව පවතින දේශපාලන ක්‍රමයක් ය. මෙහිදී බලය හැසිරවීම සහ තීන්දු තීරණ ගන්නා පිරිස ක්‍රියාත්මක විය යුතු ආකාරය තීරණය කරණුයේ මහජනතාව විසිනි. මෙවැනි ක්‍රමයක් පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයක් සමඟ සමපාත වන අතර පුද්ගලයන්ට විවිධාකාරයෙන් රජයට බලපෑම් කිරීමට හැකියාව ඇත.

සහභාගිත්ව දේශපාලන සංස්කෘතියක් තුළ සෑම පුරවැසියෙක්ම දේශපාලන කටයුතුවලදී ක්‍රියාකාරී භූමිකාවක් ඉටුකරණු ලබයි. පුද්ගලයන් තම රටේ පවතින දේශපාලන ක්‍රමයේ ක්‍රියාකාරී සාමජිකයකු ලෙස සලකයි. මෙහිදී පුද්ගලයා සෑමවිටම තම අයිතිවාසිකම් සහ යුතුකම් පිළිබඳව දැනුවත් වන අතර මහා බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපදය සහභාගිත්ව දේශපාලන සංස්කෘතියක් සඳහා ලබාදිය හැකි විශිෂ්ඨ නිදසුන් වේ. (Aparajita, 2021) දක්වන ආකාරයට සහභාගිත්ව දේශපාලන සංස්කෘතියක් තුළ මිනිසුන්ගේ ආකල්ප, විශ්වාසයන් සහ වටිනාකම් දේශපාලන සංකේත හරහා පිළිබිඹු වේ. මෙවැනි සංස්කෘතියක් තුළ එක් අතකින් ආර්ථික සංවර්ධනය සහ අනෙක් අතින් දේශපාලන සංවර්ධනය සිදු වන අතර නීති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එකිනෙකට වෙනස් ආකරයෙන් තේරුම් ගැනීමට අවස්ථාව උදා වේ.

(Vitharana and Abeysinghe, 2021) දක්වන ආකාරයට සහභාගිත්ව දේශපාලන සංස්කෘතියක් තුළ ඉතාමත් ඉහළ මට්ටමේ දේශපාලන දැනුවත්භාවයක් ඇත. දේශපාලන සහභාගිත්වය ඉතාමත් ඉහළ වේ. දේශපාලන ක්‍රමය ගැන දැනුවත් වන අතර පුරවැසියන්ට සංජානන දිශානතියක් ඇත. දේශපාලන පද්ධතියේ ආදාන හා ප්‍රතිදාන යන අංශ දෙක පිළිබඳව හොඳ අවධානයකින් පසු වෙයි. මෙවැනි දේශපාලන ක්‍රියාදාමයක් සිදුකරන සමාජ සංස්කෘතියක් තුළ ඉහළ බලාපොරොත්තු ඇති පුරවැසියන් දක්නට ලැබේ. මැතිවරණයකදී ඡන්දය ලබාදීම පමණක් නොව වෙනත් ඕනෑම අවස්ථාවක දේශපාලනයට සහභාගී වීම සහභාගිත්ව දේශපාලන සංස්කෘතිය වේ.

මේ ආකාරයට ලෝකයේ ප්‍රධාන වශයෙන් දේශපාලන සංස්කෘතීන් තුනක් පිළිබඳව හඳුනාගත හැකි අතර එසේ හඳුනාගත් ආකාරයට ශ්‍රී ලංකාව දෙස අවධානය යොමු කරන්නේ නම් අප රටෙහි දේශාපාලන සංස්කෘතිය තුළ ඇතැම්විට යටත්වැසි දේශපාලන සංස්කෘතික ලක්ෂණ දැරුවද රට වඩාත්ම සමීප වන්නේ පටු දේශපාලන සංස්කෘතියටය. එයට හේතුව වන්නේ පටු දේශපාලන සංස්කෘතියක දැකගත හැකි ලක්ෂණයන් අඩු වැඩි වශයෙන් අප රටෙහි දේශපාලන සංස්කෘතිය තුළ දැකගත හැකි බැවිනි.  සැබවින්ම දේශපාලන විචාරකයින්, සමාජ ක්‍රියාකාරීන් සහ දේශපාලඥයන් එක් එක් අවස්ථාවලදී දේශපාලනය සම්බන්ධයෙන් අදහස් දක්වන විට " අපි අපේ රටේ මේ පටු දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන " යැයි පවසනු ද අප අසා ඇත.

ශ්‍රී ලංකාවේ පුරවැසි දේශපාලය තුළ සාකච්ඡා වන මාතෘකාවක් වාහයෙන් ද දේශපාලන සංස්කෘතිය පෙන්වා දිය හැකිය. රාජාණ්ඩු පාලනයක් යටතේත්, අනතුරුව යටත්විජිතවාදීන් යටතේත් ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය ගොඩනැගුණු අතර නූතන ශ්‍රී ලංකාවේ පටු දේශාපාලන සංස්කෘතිය ගොඩනැගීමට බලපා ඇති ප්‍රධානතම හේතුව වශයෙන් අපට හඳුනාගත හැක්කේ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් සමානුපාතික නියෝජන ක්‍රමයයි. එනම් වර්තමානය වන විට මැතිවරණ දේශපාලනය සමඟ දේශපාලන සංස්කෘතිකය ද ගොඩනැගී ඇති බව පැහැදිලිය.

ශ්‍රී ලංකාවේ සමානුපාතික නියෝජන ක්‍රමය මඟින් සමස්ථ දේශපාලන ක්‍රමයම උඩු යටිකුරු වී ඇති අතර සාමාන්‍ය මහජනතාව සහ දේශපාලඥයින් අතර දුරස්ථභාවයක් මෙමගින් ඇති වී තිබේ. එනම් මංත්‍රීවරයා ජනතාවට වග නොකියන තත්වයකට පත්කර ඇත. එතෙක් පැවති කොට්ඨාස ක්‍රමය අහෝසි වූ අතර වත්මන් මැතිවරණ ක්‍රමයේ කොට්ඨාසය වන්නේ දිස්ත්‍රික්කයයි. එහිදී මංත්‍රීවරුන්ට සමස්ථ දිස්ත්‍රික්කය පුරාම මැතිවරණ ක්‍රියාදාමය මෙහෙයවීමට සිදුවන බැවින් එය මංත්‍රීවරුන්ට වියදම් අධික වූවක් වේ. මෙම ක්‍රියාදාමය මගින් මංත්‍රීවරයා සහ සාමාන්‍ය මහජනයා අතර සමීප සම්බන්ධතාවය බිඳ දමා ඇති අතර දේශපාලන පක්ෂ නායකයන්ගේ අධිපතිවාදයක් ඇතිකර ඇති බැවින් මංත්‍රීවරුන්ගේ ස්වාධීනත්වය බිඳ දමා ඇත.

මෙම නියෝජන ක්‍රමය තුළදී ඡන්ද කොට්ඨාසයක් වෙනුවෙන් නියෝජිතයින් තරඟ කරණු ලබන්නේ තනි නියෝජිතයකු ලෙස නොව කණ්ඩායමක් වශයෙනි. එහිදී ප්‍රතිවිරුද්ධ පක්ෂ අතර පමණක් නොව එකම පක්ෂයේ අපෙක්ෂකයින් අතරද මනාප සඳහා ගැටුම් ඇතිවනු අපට දැකිය හැකිය. විශාල මුදල් අපතේ යෑමක් සිදු වේ. එමෙන්ම මැතිවරණයෙන් අනතුරුව තම පාක්ෂිකයා සතුටු කිරීමට යෑමෙන් මංත්‍රීවරුන් අල්ලසට, දූෂණයට සහ වංචාවට පෙළඹේ. මේ නිසා දේශපාලන සංස්කෘතිය ගොඩ නැගෙනුයේ පටු දේශපාලන සංස්කෘතියක් ආකාරයෙනි.

ලෝකයේ ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක මැතිවරණ ක්‍රමයක් තුළින් බලාපොරොත්තු වන්නේ එම රටේ ජීවත්වන ජනතාවගේ ජාතිය, ආගම, කුලය හෝ වෙනත් සංස්කෘතික අංග නොසලකා ප්‍රජාතන්ත්‍රවාදී අරමුණු මත ගොඩනැගුණු දේශපාලන පක්ෂ ක්‍රමයකට ඔවුන් අනුගත කර ගැනීමය. රටක ජීවත්වන සියළු ජනතාවගේ සමානාත්මතාවය පිළිගෙන කටයුතු කිරීම සහ ඒ සඳහා නීතියේ අධිපත්‍යය පවත්වාගෙන යෑම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අරමුණකි. මෙන්ම රට තුළ යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට එම රටේ මැතිවරණ ක්‍රමයද ඉවහල්විය යුතු යැයි අවසාන වශයෙන් ප්‍රකාශ කළ හැකිය.

Latest