Skip to content

පොලිස් හා විශේෂ කාර්යය බලකා ආරක්ෂාව ලබා දීමෙන් පසු ශ්‍රී ලංකාව හැර නොයාමට ඕමාන් අල් ඔබේදාන් ඇඟලුම් කම්හල් හිමිකරු එකඟ වේ

පොලීසිය හා විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදීමට පියවර ගැනීමෙන් අනතුරුව කටාන අල් ඔබේදාන් ඇඟලුම් කර්මාන්ත ශාලාව නැවතත් පවත්වාගෙන යාමට එහි හිමිකරු එකඟ වූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

මහනුවරදී 09 දින මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ ඒ මහතා කියා සිටියේ මෙම ඇඟලූම් ආයතනයේ හිමිකරු ජනාධිපතිතුමන් ඇතුළු අදාළ අංශයේ නිලධාරීන් සමග සිදු කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹි බවය.

තවදුරටත් අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය. පසුගිය මාර්තු මස 30 වෙනිදා මෙම කර්මාන්ත ශාලාවේ හිමිකරු ඇතුළු කීප දෙනෙකුට මැර ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු ඔහු තීරණය කොට තිබුණා මෙම ආයෝජනය අවසන් කොට නැවතත් තමාගේ රට බලා යාමට. එම හිමිකරු කර්මාන්ත ශාලාවේ තිබූ රෙදි තොග පවා ඉවත් කිරීමට කටයුතු කළා කියලා දැනගන්න ලැබුණා. නමුත් මේ ප්‍රදේශයේ විශාල පිරිසක් කර්මාන්ත ශාලාවේ රැකියා කරනවා. මේ පිළිබඳ අවධානය යොමු කරලා අපි කර්මාන්ත ශාලාවේ හිමිකරු සමඟ දිගින් දිගටම සාකච්ඡා කළා. ඔහු කිව්වේ මේ ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉෂ්ට වුණේ නෑ. තවදුරටත් කර්මාන්තශාලාව පවත්වාගෙන යෑම සඳහා ආරක්ෂාවක් නෑ කියලයි. ඊට පස්සේ තමයි ජනාධිපතිතුමා පොරොන්දු වුණේ කර්මාන්ත ශාලාවේ පොලිස් මුරපොළක් ස්ථාපිත කිරීමට අමතරව විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නවා කියලා. ඉන්පසුවයි ඔහු නැවතත් එම ආයෝජනය ශ්‍රී ලංකාවේම කරන්න තීරණය කළේ.

නමුත් ඒ මහතා ඉල්ලීමක් කරා තවදුරටත් මෙම ඇඟලුම් ආයතනය කටාන ප්‍රදේශයේ සිදු කරගෙන යෑමෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත විය හැකි බැවින් ඒ සඳහා සුදුසු වෙනත් ස්ථානයක් ලබා දෙන ලෙස. අපි අල් ඔබේදාන් ඇඟලුම් කර්මාන්තායතනයේ හිමිකරුට කීවා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් ඕනෑම කර්මාන්ත කලාපයක හෝ, ආයෝජන කලාපයක මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා නොමිලේ ඉඩමක් ලබා දීමට සූදානම් කියලා. ඔහු ඊට එකඟ වුණා. ඒ සඳහා අවශ්‍ය අනෙකුත් සියලු පහසුකම් අපි නොමිලේ ලබාදීම සඳහා පියවර ගන්නවා.

හැබැයි මෙමගින් මේ මැර ප්‍රහාරය සාධාරණීකරණය කරන්න අපි කටයුතු කරන්නේ නෑ. මේ මැර ප්‍රහාරය අපේ රටේ ආයෝජන ක්ෂේත්‍රයටම එල්ල වූ බලවත් ප්‍රහාරයක් වශයෙන් තමයි අපි දකින්නේ. කවුරු කරත් අපි මේ නින්දිත ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිනවා. ඔවුනට දැඩි නීතිමය පියවර ගත යුතුයි. මේ වනවිට මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිද්ධ වෙනවා. එහිදී වරදකරුවන්ට තරාතිරම නොබලා අදාළ නීතිමය කටයුතු කරන්න කියලයි උපදෙස් දීලා තියෙන්නේ.

දැන් අපේ රටේ ආයෝජන සදහා දෙස් විදෙස් විශාල පිරිසක් ඉදිරිපත් වෙලා ඉන්නවා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත ත්‍රිකුණාමලය, මාන්කුලම්, පරන්තන් හා කන්කසන්තුරේ නව කර්මාන්ත උද්‍යාන ස්ථාපිත කරන්න අවශ්‍ය සියලු කටයුතු දැන් සූදානම් කොට තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ඉඩම් පවා පරික්ෂා කරල ඉවරයි. ඒ ඉඩම් ආයෝජන මණ්ඩලයට පවරා ගන්න කටයුතු කරනවා. මේ කර්මාන්ත ශාලා ආශ්‍රිතව විවිධ නිෂ්පාදන කටයුතු තමයි සිදුවන්නේ. ඛනිජ වැලි ආශ්‍රිත නිෂ්පාදනවලට අපි මුල් තැන දීලා තියෙනවා. ඊට අමතරව පිටරටින් ගෙනෙන භාණ්ඩ මෙහිදී අගය එකතු කොට නැවත අපනයන කිරීම සිදුවෙනවා.  මීට අමතරව ම්බන්තොට කර්මාන්තය උද්‍යානය නවීකරණය කරලා පහසුකම් වැඩි කරන්න කටයුතු කරනවා

කෙසේ වෙතත් කටාන ඇඟලුම් කර්මාන්ත ආයතනයේ සිදුවූ සිදුවීම වැනි අකටයුතු මීට පස්සෙ සිදු වීමට ඉඩ නොදිය යුතුයි යනුවෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

Latest