රට තුළ නිර්මාණය වී ඇති ඖෂධ හිගය සහ ඊට සම්බන්ධ ගැටළු පිළිබදව තොරතුරු දැන ගැනීමේ පනත අනුව අයදුම්පතක් බාර දීම සදහා ගිය තම සාමාජිකයින්ට පොලීසිය විසින් ඖෂධ නියාමන අධිකාරියට ඇතුළු වීමට ඉඩ නොදී බාධා කළ බව ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමුහිකයේ සාමාජිකයින් සදහන් කරයි.
ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමුහිකයේ සාමාජිකයින් මෙම තත්ත්වයට මුහුණ දී ඇත්තේ ඉකුත් 28 වෙනිදාය.
තොරතුරු දැන ගැනීමේ පනතට අනුව මෙරට ක්‍රියාත්මක වන ඕනෑම රාජ්‍ය ආයතනයකින් රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල නොවන තොරතුරු ඉල්ලා සිටීමට පුරවැසියන්ට අයිතියක් ඇත.එම අයිතිය අනුව පවතින ඖෂධ හිගය සහ ඊට හේතුවී ඇති තොරතුරු ඉල්ලා සිටීමට ගිය තම සාමාජිකයින්ට මේ ආකාරයෙන් පොලීසිය කටයුතු කිරීම හෙලා දකින බවද ඔවුන් කියා සිටී.
ඖෂධ නියාමන අධිකාරිය ඉදිරිපිටදී පොලීසිය මැදිහත්වීම හේතුවෙන් සිදු වූ කලබගෑණිය සම්බන්ධයෙන් ආර්ථික යුක්තිය උදෙසා සාමුහිකයේ සාමාජිකයින් මෙසේ අදහස් දක්වා සිටියේය.
ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකයේ විධායක මණ්ඩල සභික, නීති ශිෂ්‍ය දර්ශන තන්ත්‍රිගේ
“අද දවසේ දී අපි සිවිල් සංවිධාන කිහිපයක් සමඟ ආවා. තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත අනුව ඖෂධ නියාමන අධිකාරිය විසින් කරලා තියෙන අක්‍රමිකතා, වංචා නිසා සිද්ධ වෙච්ච හානි පිළිබඳ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ලබාගන්න. අපට ලැබිලා තියෙන තොරතුරු වලට අනුව ජාතික ඖෂධ තත්ත්වාරක්ෂණ පරීක්ෂණාගාරයේ පරීක්ෂණ කරන්න ඒකට ප්‍රමිති සහතිකයත් නෑ.
එතකොට ඔය ප්‍රමිති සහතිකයවත් නැති ආයතනයක් තමයි ලංකාවට ගේන ඖෂධ ඒත් එක්ක ම වෛද්‍ය උපකරණ වල ප්‍රමිතිය හොයන්න. එතකොට අපට තියෙන තොරතුරු වලට අනුව පරමාණුක නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් හෝ එහෙම නැත්නම් ඔහුගේ නියෝජිතයෙක් ඔය තාක්ෂණික කමිටුවේ ඉන්න ඕනේ. එහෙම කෙනෙකුත් නැතිව තමයි මේවා ගෙන්වන්නේ. ඉතින් මේ වගේ ඖෂධ බාල බෙහෙත්,අනිත් පැත්තෙන් ගත්තාම බාල,උපකරණ ගෙනාපු ඒවා සම්බන්ධව මේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට නිකුත් කරලා තියෙනවා විගණකාධිපතිවරයා වාර්තාවක්. එතකොට මේ වාර්තාව නිකුත් කරපු දවසේ ඉඳන් අද වෙනකොට මේකේ කියපු දේවල් වල වෙනස්කම්, අඩුපාඩු හදා ගෙන ද කියලා දැන ගන්න තමයි අපි මෙතෙන්ට ආවේ.
ඒ වගේම පහුගිය දවස්වල පේරාදෙණියෙත්, කෑගල්ලෙත්, තවත් තැන්වලත් රෝගීන් මියගියා. ඖෂධ වල තියෙන ගුණාත්මක භාවය නැතිව. එතකොට 2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනතේ හැටියට ඒ වගේ බාල බෙහෙත් බාල ඖෂධ ගෙනාපු සමාගමක් හරි පුද්ගලයෙක් හරි ඉන්නවා නම් ඔහුට විරුද්ධව දින අනූවක් ඇතුළත නඩු පවරන්න කටයුතු කරන්න ඕනේ මේ අධිකාරිය. එතකොට මෙන්න මේවා පිළිබඳ දැන ගන්න තමයි අපි ආවේ. මොකද වංචා රාශියක් මේකේ ඇතුළේ තියෙනවා. ඒ සමාගම් දීර්ඝ ලියාපදිංචිය අලුත් කරන්න ඕන එක වෙනුවට කරන්නේ අත්සනක් ගහලා දින දීර්ඝ කරනවා. මේ වගේ තක්කඩි වැඩ තමයි මේ ආයතනය කරලා තියෙනවයි කියලා අපට තොරතුරු ලැබිලා තියෙන්නේ.
මේවා ගැන තොරතුරු දැන ගන්න ආපුව ම තොරතුරු දෙන්නේ නැතිව පොලිසිය ගෙනෙල්ලා මෙතන අපට යන්න නො දී විශාල ගාල ගෝට්ටියක් ඇති කළා. ඉතින් අපට දැන් සිද්ධ වෙලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපට දීලා තියෙන අයිතිවාසිකම් දිනා ගන්න තවත් සටන් කරන්න. අපට තියෙන තොරතුරු අනුව කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ සහෝදරයාගේ බෑණා තමයි මේ බාල ඖෂධ මාෆියාව පිටිපස්සේ ඉන්නේ. ඒ පිළිබඳ තොරතුරු හොයා ගන්න තමයි අපි ආවේ. මෙන්න මේ තොරතුරු එළි වෙනවාට බයේ තමයි මෙහෙම පොලිසියෙන් දාලා අපි එන එක වළක්වලා තියෙන්නේ. අපි කියනවා ජනතාවට සහතික වෙනවා කූට මේ ජාවාරම්කාර ව්‍යාපාරික පන්තිය දූෂිත නිලධාරි පන්තිය. ත්‍රාඩ දේශපාලන පන්තියෙත් මේ කරන නාඩගම මියගිය රෝගීන්ගේ නාමයෙන් අපි සටන් කරනවා, මිනිසුන්ට ආර්ථික යුක්තිය රෝගීන්ට බෙහෙත් ටික නිසියාකාරව ලැබෙන සටන අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා යි කියන එක අපි කියනවා.”
මෙහි දී අදහස් දැක්වූ ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකයේ සාමාජික තීක්ෂණ ගම්මන්පිල
“අද ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා ද ඖෂධ ගේන්න. නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. මේ ඖෂධ ගෙන්වන ආයතනයේ ප්‍රශ්නයක් මේ තියෙන්නෙ. ආර්ථිකය වැටිලා තිබුණත් විදේශ රටවලින් අපිට ඩොලර්ස් ටික ලැබුණා මේ බෙහෙත් ටික ගන්න. ඒවා හරියට කළමණාකරණය කළේ නෑ මේ දූෂිත ඇමැතිවරු සහ දූෂිත පාලකයො. අපි අද ඖෂධ නියාමන අධිකාරියට ආවෙ මේ රටේ සිදුවී ඇති මරණ සම්බන්ධයෙන්, බෙහෙත්වල තිබෙන ප්‍රශ්න සම්බන්ධයෙන්, නිදහස් සෞඛ්‍යය රැක ගන්න තොරතුරු දැන ගන්න.නමුත් මේ පොලීසිය දාලා ආරක්ෂා කරන්නේත්,ගේට්ටු අරින්නෙ වහන්නත් යන්නෙ අපේ බදු සල්ලි.


ආර්ථික යුක්තිය උදෙසා වූ ජනතා සාමූහිකයේ කැඳවුම්කරු නදීෂ ද සිල්වා
“අපි බොහොම සාමකාමී ව අපි අපේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනතෙන් අපට ලබා දී තිබෙන ප්‍රතිපාදන අනුව අපිට දැන ගැනීමට අවශ්‍ය තොරතුරු සම්බන්ධයෙන් ඉල්ලීමක් කළා. එහි දී පොලිසිය විසින් අපිට බාධා සිදු කළේ තොරතුරු දැන ගැනීමට යන සාමාන්‍ය පුරවැසියෙකුගේ තියෙන අයිතිය උල්ලංඝනය කරමින්. මෙතන සිදුවුනු දෙයින් අපට තේරුණ මූලිකම කාරණය තමයි ලංකාවෙ මිනිස්සුන්ට ආර්ථික යුක්තිය නැති වෙලා තියෙන්නෙ මේ රටේ රාජ්‍ය අංශයේ තියෙන අකාර්යක්ෂමතාව,අක්‍රමිකතාව සහ නාස්තිය නිසා.බංකොලොත් රටක ආරක්ෂාවට දාලා තියෙනවා ආරක්ෂක නිලධාරීන්. ඒ අයට වැටුප් ගෙවන්නෙ අපේ බදු සල්ලිවලින්. එහෙම තියෙද්දි සාමකාමී ව පැමිණි මිනිස්සුන්ට ගේට්ටු වහලා එලවන්න පොලිස් කණ්ඩායමක් ම එවන එකෙන් අදහස් වෙන්නෙ මොකක්ද? නාස්තිය..”




ආර්ථික යුක්තිය උදෙසා වූ ජනතා සාමූහිකයේ සාමාජික නයෝමි ගරුසිංහ
“ප්‍රමිතියෙන් තොර ඖෂධ පිළිකා ඇතිකර අසාත්මිකතාවක් ඇති කර මරණයට හේතු විය හැකි නිසා අප කවුරුත් එය වස - විස ලෙස සිතිය යුතුයි. අසාත්මික ප්‍රතික්‍රියාවක් නිසා එමගින් ඔබ මිය යන්න පුළුවන්. පිළිකාවක් හදවන්න පුළුවන්. අන්ධභාවය වැනි අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. මොළයට හානි වෙන්න පුලුවන්.ඒ නිසා මේක විහිළුවක් නොවේ.මේක ඇත්ත වශයෙන් ම අපේ ජීවිතයට බලපානවා.දේශපාලනඥයන් මේ රජයේ ආයතනවල ඉන්න අකාර්යක්ෂම නිලධාරීන් අපේ ජීවිතවලට බලපෑම් කරනවා. අපි ශ්‍රී ලාංකික පුරවැසියන්. අපට අයිතිවාසිකම් තිබෙනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජීවත් වීමට අපට අයිතියක් තිබෙනවා. අපට ජීවත් වීමේ අයිතිය මෙන් ම තොරතුරු දැන ගැනීමේ අයිතිය ද තිබෙනවා. ඉතින් අපි අද උත්සාහ කරන්නේ අපේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පාවිච්චි කරලා මේ රටට ගෙන්වන විෂ ඖෂධ ගැන තොරතුරු ලබාගන්නයි. අපි සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබට තොරතුරු දැන ගැනීමේ අයිතිය ඔබට ජීවත් වීමේ අයිතිය ඇති බැවින් කරුණාකර එය භාවිතා කරන්න කියන එකයි.”





