Skip to content

Threads ට එරෙහිව Twitter නඩුමගට පිවිසෙන ලකුණු

පසුගියදා නිකුත් වුණු META හි Threads සමාජ ජාලය එතෙක් මෙතෙක් සමාජ ජාලයන් සතු වූ වාර්තාවන් බිද හෙලන්නට සමත් වූයේ නිකුත් වී පැය 2 ක් ඇතුළත පරිශීලකයින් මිලියන 2 ක්ද, පැය 7 ක් තුළ පරිශීලකයින් මිලියන 10 ක්ද, පැය 24 ක් ගෙවී යද්දි මිලියන 30 අභිබවූ පරිශීලකයින් ප්‍රමාණයක්ද සමාජ ජාලය භාවිතයට ගැනීමත් සමගයි. පැය 24 ක් තුළ ඉහත කී ජයග්‍රහණයන්ට අමතරව Threads වෙත චෝදනා නගමින් ලියැවුණු ලිපියක්ද ඔවුන් වෙත ලැබී තිබෙනවා.

Twitter හි නීතීඥවරයෙකු ලෙස කටයුතු කරන Alex Spiro විසින් සක(ර්)බර්ග් වෙත එවා ඇති මෙම ලිපියෙන්, Meta විසින් Twitter හි වෙළද රහස් සහ වෙනත් බුද්ධිමය දේපළ ක්‍රමානුකූලව, සිතැගි පරිදි සහ නීති විරෝධී ආකාරයෙන් භාවිතයට ගෙන ඇති බවට චෝදනා නගනවා.

Twitter සතු බුද්ධිමය දේපළ අයිතිවාසිකම් යටතේ Meta හි භාවිතා වන Twitter වෙළද රහස් සහ වෙනත් රහසිගත තොරතුරු භාවිතය නැවැත්වීමට වහාම පියවර ගන්නා මෙන් ලිපියේ තවදුරටත් සදහන්.

එලෝන් මස්ක්ගේ ආගමනයත් සමග ආයතනයෙන් ඉවත් කළ සේවකයින් රැසක් META වෙත බදවාගෙන ඇති බවත් එය Twitter හි රහසිගත තොරතුරු සහ බුද්ධිමය දේපළ Threads වෙත යෙදවීම අරමුණු කොටගෙනම සිදුවූවක් බවත් Spiro විසින් චෝදනා නගනවා. සමස්ත ලිපිය පහතින් දැක්වේ.

ලිපියට අමතරව මේ පිළිබදව අගවන Twitter පණිවුඩයක්ද එලෝන් මස්ක් විසින් පළ කර තිබුණා.

Meta හි සන්නිවේදන අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන Andy Stone විසින් ලිපියට පිළිතුරු වශයෙන්, Twitter හි සේවය කළ කිසිදු ඉන්ජිනේරුවරයෙක් Threads ඉන්ජිනේරු කණ්ඩායමේ නොසිටින බවට අදහස් දක්වා තිබුණා.

එලෝන් විසින් අනතුරු ඇගවීමක් ලෙසින් එවා ඇති මෙම ලිපියට බලාපොරොත්තු වන ප්‍රතිචාර නොලැබුණහොත් ඔහු විසින් META ආයතනයට එරෙහිව නඩු මගට පිවිසෙනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරනවා.

මින් පෙනී යන්නේ එලෝන් - සක(ර්)බර්ග් ගේ ගැටුම තව තවත් ඉදිරියට ඇදෙන ස්වභාවයකි.

Latest