පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රධාන සික් දේශපාලන පක්ෂය වන ශිරෝමනී අකාලි දල් සහ භාරතීය ජනතා පක්ෂය කෙටි කාලයක් මුළුල්ලේ පැවති නෝක්කාඩුවක් අවසන් කරමින් යළි හාදවන ලකුණු පෙන්නුම් කරන බව ඉන්දීය දේශපාලන ආරංචි මාර්ග පවසයි.
බීජේපී - අකාලි දල් පක්ෂ අතර මිත්‍රත්වයට මාර්ගය සැකසුණේ නිල වශයෙන් බීජේපීය ස්ථාපිත වීමට ද පෙර ය. 1970 දශකය වනතුරු බීජේපීයෙහි ආධ්‍යාත්මික මූලය වන රාෂ්ත්‍රීය ස්වයම්සේවක් සංග් (RSS) සංවිධානය මෙන්ම බීජේපීයෙහි පුරෝගාමියා වූ භාරතීය ජන සංග් (BJS) පක්ෂය යන සංවිධාන දෙකටම සික්වරුන් හා විශාල ඇයි හොඳයියක් නොවී ය. ඊට හේතු වූයේ හින්දුත්ව දර්ශනය පදනම් කරගත් එම සංවිධාන විසින් සික්වරුන් ද හින්දූන් ලෙසම සැලකීමය. කෙසේ වෙතත් 1975-77 සමයෙහි හදිසි නීතිය යටතේ බන්ධනාගාරගතව සිටි RSS, BJS සහ අකාලි දල් සාමාජිකයන් අතර ඇතිවූ සංවාද හේතුවෙන් දෙපිරිස අතර සැලකියයුතු අවබෝධයක් ගොඩනැගිණ. 1980 දී භාරතීය ජනතා පක්ෂය ස්ථාපිත කළ පසු ද එම මිත්‍රත්වය සවිමත්ව වැඩිණ.
දිගු කලක් තිස්සේ පැවති බීජේපී - අකාලි දල් මිත්‍රත්වය 2020 දී අවසන් වූයේ බීජේපී ආණ්ඩුව විසින් හඳුන්වා දෙන ලද කෘෂිකර්මාන්තය සම්බන්ධ පනත් තුන හේතුවෙනි. එම පනත්වලට වැඩිම විරෝධය මතු වූයේ පන්ජාබයේ සික් ගොවීන් වෙතින් ය. එවැනි තත්ත්වයක් තුළ ශිරෝමනී අකාලි දල් පක්ෂයට තවදුරටත් බීජේපීය සමග සන්ධානගතව සිටීමේ හැකියාවක් නොවී ය. දිගු කලක් තිස්සේ ශිරෝමනී අකාලි දල් හි නායකයකු වූ පර්කාශ් සිං බාදල් තමන් වෙත ප්‍රදානය කර තිබූ පද්ම විභූෂණ සම්මානය පවා හරවා යැවීමට පියවර ගත්තේ ය.
කෙසේ වෙතත් අගමැති නරේන්ද්‍ර මෝදි කෘෂිකර්මාන්ත පනත් තුන ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළේ එයට එරෙහිව මතුවූ දැඩි විරෝධයට හිස නමමිනි. ඉන් ස්වල්ප කලකට පසු පැවති පන්ජාබ් ප්‍රාන්ත සභා මැතිවරණයෙන් බීජේපීය මෙන්ම අකාලි දල් පක්ෂය ද දැඩි පසුබෑමකට ලක් විය.
කෘෂිකර්මාන්තය පිළිබඳ පනත් තුන ඉල්ලා අස්කරගත් පසු බීජේපී සහ අකාලි දල් පක්ෂවලට තවදුරටත් අමනාප වී සිටීමට හේතුවක් නොවී ය. මේ අතර 2023 අප්‍රේල් අගදී පර්කාශ් සිං බාදල් මියගිය අතර අගමැති මෝදි ඔහුට අවසන් ගෞරව දැක්වීමට එක් වූයේ ය. ඒ සමගම යළි දෙපාර්ශවය අතර කතාබහ වර්ධනය වීමට මාවත සැකසුණ බව විශ්වාස කෙරේ.

නොබෝදා බීජේපීය සිය පන්ජාබ් ප්‍රාන්ත පක්ෂ ඒකකයේ සභාපති ලෙස හිටපු කොන්ග්‍රස් පක්ෂ ප්‍රබලයකු වන සුනිල් ජාකර් පත් කළේ ය. ජාකර් කලක් පන්ජාබ් කොන්ග්‍රස් ප්‍රදේශ කමිටු සභාපති ලෙස ද කටයුතු කළ ප්‍රවීණ නායකයෙකි. එහෙයින් මෙය හින්දු ජනතාව අතර පක්ෂය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් කරන ලද පත්කිරීමක් බව සැලකිය හැක.
බීජේපීය මෙම අවස්ථාවේ සිය සැලසුම් සකසන්නේ 2024 මහමැතිවරණය සිතෙහි දරාගෙන ය. 2019 මහ මැතිවරණයේදී බීජේපීය සහ අකාලි දල් පක්ෂය පන්ජාබයේ සමස්ථ පාර්ලිමේන්තු ආසන 13 න් ආසන දෙක බැගින් ජයගත් හ. නමුත් මෙවර, එම පක්ෂ දෙකටම ආසන දිනාගැනීම අපහසු වන සෙයක් පෙනී යයි. පන්ජාබයේදී තමන්ට තනිව ලබාගත හැකි සික් ඡන්ද ප්‍රමාණය අල්ප බව බීජේපීය සක්සුදක් සේ දනී. පක්ෂ දෙකටම ඇති හොඳම විකල්පය වන්නේ යළි එක්වීමයි.

දැනට ලැබෙන ඇතැම් තොරතුරු අනුව මැතිවරණයකට තරග කිරීමේදී ආසන බෙදාගැනීම පිළිබඳ දෙපාර්ශවයම සෑහීමකට පත්වන එකඟතාවයක් කරා එළඹුණ වහා බීජේපී - අකාලි දල් සන්ධානය යළි පුනර්ජීවය ලැබීමට ඉඩ ඇත.
කෙසේ වෙතත්, බීජේපීයෙහි පන්ජාබ් ප්‍රාන්ත කටයුතු අධීක්ෂණය කරන විජේ රූපානි සහ ශිරෝමනී අකාලි දල් සභාපති සුක්බීර් සිං බාදල් යන දෙපළම මෙවන් සන්ධානයක් පිළිබඳ වන වාර්තා ප්‍රතික්ෂේප කර තිබේ. නමුත්, බැලූ බැල්මට පෙනෙන පරිදි දෙපාර්ශවයටම වාසිදායක වනු ඇත්තේ යළි එක්වීම වන හෙයින්, මෙම ප්‍රතික්ෂේප කිරීම් සත්‍ය වශයෙන්ම සිදුවූවක් ද නැතහොත් එදිරිවාදීන් නොමග යැවීමට කළ පියවරක් ද යන්න විමසා බැලිය යුතු ය.