Skip to content

ප්ලේටෝගේ ත්‍රී ආකාර පුද්ගල ආත්මය

ඔහුගේ ආභාෂය නොලත් බටහිර කිසිදු උගතෙකු මේ වන තුරු ද බිහි වී නැතැයි යන්න පොදු පිළිගැනීම වන අතර ඔහු යනු ග්‍රීක දර්ශනවාදයේ අද්විතීය චරිතය වන ප්ලේටෝය. ඉදිං දර්ශනවාදය පිළිබඳව getpeakonline අප ලිපි කිහිපයක් ඔස්සේ සාකච්ඡා කිරීමේදී විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ සමකාලීනයකු වන ප්ලේටෝ පිළිබඳව ද සාකච්ඡා කර ඇති හෙයින් මෙම ලිපිය තුළත් ඔහු පිළිබඳව සාකච්ඡා කිරීමට වචන නාස්ති කිරීම අවශ්‍ය නොවේ යැයි සිතේ.

ඍජුවම අදාළ මාතෘකාවට යන්නේ නම් ප්ලේටෝගේ දර්ශනවාදය තුළ හඳුනාගත හැකි මූලික සංකල්පයක් වශයෙන් අපට " ප්ලේටෝගේ ත්‍රී ආකාර පුද්ගල ආත්මය පිළිබඳ සකල්පය නැතිනම් plato's theory of tripartite soul " හඳුන්වා දිය හැකිය. විද්වතුන් පවසන්නේ ප්ලේටෝගේ මෙම සංකල්පය පිළිබඳව නොදන්නේ නම් සැබවින්ම ග්‍රීක දර්ශනවාදය තේරුම් ගැනීමට පවා අපහසු වන බවය.

ප්ලේටෝගේ ඉගැන්වීම් අපට මුණගැසෙන්නේ ලෝක ප්‍රසිද්ධ ඔහුගේ ප්‍රධාන කෘතිය වන the republic කෘතියේදී වන අතර සැබවින්ම එය ඔහු රචනා කරන ලද්දක් නොව පසු කාලීනව ඔහුගේ ශිෂ්‍ය පරම්පරාවන් විසින් ඔහුගේ ඉගැන්වීම් එකතුකොට සම්පාදනය කරන ලද්දකි. ඉදිං ඔහුගේ ඉගැන්වීම් ඇතුළත් එම කෘතිය තුළ plato's theory of tripartite soul නම් සංකල්පය අපට මුණ ගැසේ. විශේෂත්වය  වන්නේ විද්වතුන් පවසන ආකාරයට ඔහුගේ මෙම සංකල්පය බොහෝ විට විවාදයට භාජනය නොවූ සංකල්පයක් වීමය.

ප්ලේටෝ ඔහුගේ ත්‍රී ආකාර පුද්ගල ආත්මය පිළිබඳ සංකල්පයෙන් ප්‍රකාශ කරන්නේ ලෝකයේ ඕනෑම පුද්ගලයකු ආත්ම තුනක එකතුවක් වන බවය. එහි පළමුවැන්න වන්නේ අභිරුචිය පිළිබඳ ආත්මයයි ( appetite ). මෙය පුද්ගලයකු හට ඉතාම මූලිකවන බව ප්ලේටෝ දක්වන අතර ඉන් විස්තර වන්නේ පුද්ගලයකු හට ඇතිවන මූලික මට්ටමේ ආශාවන් පිළිබඳවය.

මට මේ දේ කන්න ඕන. මේ දේ බලන්න ඕන. මේ දේ අහන්න ඕන. මේ පහස විඳින්න ඕන, මේ රසය විඳින්න ඕන. වැනි මූලික මට්ටමේ ආශාවන් appetite මඟින් විස්තර වේ. මෙවැනි මූලික ආශවන් කෙරෙහි පුද්ගලයා පොළඹවන ස්වාභාවයක් ඕනෑම් කෙනෙකු තුළ පවතින බව ප්ලේටෝ විස්තර කරන අතර එය ඔහු හඳුන්වන්නේ appetite යන නමිනි.

ඉහත සඳහන් අභිරුචිය පිළිබඳ ආත්මය යමෙකු මූලික ආශාවන් කෙරෙහි පොළඹවන විට දෙවන ආත්මය ද ක්‍රියාත්මක වන අතර එය ජීව ගුණය පිළිබඳ ආත්මයයි ( Spirited ). උදාහරණයක් ලෙස මෙසේ සිතුවහොත් අභිරුචිය පිළිබඳ ආත්මයෙන් ඔබව ලිංගික ආශාවක් කෙරෙහි පොළඹවන විට ජීව ගුණය පිළිබඳ ආත්මය ද ක්‍රියාත්මක වන අතර එය ඔබට මෙසේ පවසයි. නැහැ. නැහැ. ඔබ ඉතා ගොරවයෙන් ජීවත්වන පුද්ගලයෙක්, එය හොඳ වැඩක් නෙවෙයි. එය ඔබට එතරම් යුතු නැත. ඔබ එය නොකළ යුත්තකි. එයින් ඔබේ ගෞරවයට ප්‍රශ්නයක් වේවි. එබැවින් එය අතහරින්න.

ඉතා සියුම්ව බලනවිට appetite සහ Spirited දෙස බලා සිටින තවත් ආත්මයක් පුද්ගලයකු තුළින් හඳුනාගත හැකි බව ප්ලේටෝ දක්වන අතර එම තුන්වැනි ආත්මය වන්නේ reason නැතිනම් බුද්ධිය පිළිබඳ ආත්මයයි. ඉහත උදාහරණයට අනුව මෙහි ක්‍රියාකාරීත්වය සරලව හඳුන්වා දෙන්නේ නම් ආ ඒක තමයි. මේ නිසා තමයි මේක කරන්න හොඳ නැත්තේ. ඒක කළොත් මට මේ වගේ දෙයක් වෙයි. ඒක නිසා ඒක කරන එක හොඳ නෑ තමයි. ආදී ලෙස බුද්ධිය පිළිබඳ ආත්මය පුද්ගලයකු තුළ ක්‍රියාත්මක වේ.

ප්ලේටෝ දක්වන්නේ මේ ආකාරයට හඳුනාගත හැකි මෙම ආත්මයන් තුන පුද්ගලයකු තුළ සෑම විටම ක්‍රියාත්මක වන බවය. සැබවින්ම නැවතී සිතා බැලුවහොත් එය සැබෑවක්‍ ය යන්න අවබෝධ කර ගැනීම අපට අපහසු කරුණක් ද නොවේ. ඔබට, මට මේ අත්දැකීම් ඇත.

ප්ලේටෝ සිය සංකල්පය විස්තර කිරීමේදී අභිරුචිය පිළිබඳ ආත්මය ( appetite ) සමාන කරන්නේ වල් අශ්වයකු හටය. වල් වැදුණු අශ්වයකු හික්මීමෙන් තොර වන අතර නමුත් ඔහුට ඉතා විශාල ශක්තියක් ඇත. ඉතා වේගයෙන් දිව යා හැකිය. සටන් කළ හැකිය. ඔවුන්ගේ පවතින මූලික ස්වාභාවය නම් රසය කොතැන ද ඇත්තේ එතනට යෑමය. වෙළඹක් දුටු විට ඒ පසුපස යයි. රසවත් කෑමක් දුටු විට ඒ පසු පස යයි. සතුරෙකු දුටු විට සටනට යයි.

ප්ලේටෝ Spirited සමාන කරන්නේ ශක්තිමත් හික්මවූ අශ්වයකුට වන අතර හික්මුණු අශ්වයකුට  ද රස කෑමක්, වෙළඹක් හෝ සතුරකු දුටු විට ඒ පසු පස යෑමට අභිරුචියක් පහළ වූව ද ඔහු එක විටම ඒ පසු පස නොයන බව ප්ලේටෝ පවසයි. මන් ද ඔහු හික්මී ඇති බැවිණි. නැතිනම් ඔහුට ජීව ගුණයක් ඇත. ඔහු විනයගත කළ අයෙකි. ඔහු ගමන් කරන්නේ දෙන ලද අරමුණක් කරාය.

මෙම හික්මුණු අශ්වයා සහ පෙර කී වල් අශ්වයා එකට බඳින ලද අශ්ව කරත්‍තයක් පවතින අතර එම කරත්තය මෙහෙයවන පුද්ගලයා ප්ලේටෝ සමාන කරන්නේ තුන්වැනි ආත්මයටය. එනම් බුද්ධිය පිළිබඳ ආත්මයටයි ( reason ).

ප්ලේටෝ පවසන්නේ මෙම ආත්මයන් තුනම පුද්ගලයකුගේ ශරීරය තුළ නිතර නිතර ගැවසෙන බවය. අභිරුචිය පිළිබඳ ආත්මය විශේෂයෙන් ගැවසෙන්නේ බඩ සහ ලිංගික ප්‍රදේශය අවටය. මන්ද බඩගින්න සහ ලිංගිකත්වය පුද්ගලයකුට මූලිකම වූ ප්‍රධාන ආශාවන් වන බැවිනි. අභිරුචිය නිතර ගැළපෙන්නේ සැපය පවතින තැන්හිය.

Spirited නැතිනම් ජීව ගුණය පිළිබඳ ආත්මය පුද්ගලයකු තුළ හමුවන්නේ හදවත අවටය. ආදරය, කරුණාව සහ සෙනෙහස ආදී ජීව ගුණය පිළිබඳ හැඟීම් නිතරම දැනෙන්නේ හවතට වන බව ප්ලේටෝ විස්තර කරයි. reason නැතිනම් බුද්ධිය පිළිබඳ ආත්මය පැහැදිලිවම ගැවසෙන්නේ හිස අවට වන බව ද ප්ලේටෝ කියයි. එමෙන්ම ඔහු තව දුරටත් පවසන්නේ අභිරුචිය පිළිබඳ ආත්මය ආශාව මඟින් බලගන්වන බවත්, ජීව ගුණය පිළිබඳව ආත්මය භාවයන් විසින් බලගන්වන බවත් සහ බුද්ධිය පිළිබඳව ආත්මය තර්කනය මඟින් බලගන්වන බවත් ය.

ඉදිං ප්ලේටෝගේ ත්‍රී ආකාර පුද්ගල ආත්මය පිළිබඳව සංකල්පය වැදගත් වන්නේ ඇයි. මින් ගත හැක්කේ කුමක් ද?

සැබවින්ම ජීවිතය පහසු කර ගැනීම සඳහා අපට වැදගත් වන්නේ එයයි. ප්ලේටෝ පවසන්නේ පුද්ගලයකු තුළ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වන මෙම ආත්මයන් තුන කිසියම් පුද්ගලයකු තුළ එකිනෙකට ගැටෙන්නේ නැතිනම්. එකිනෙකාට විරුද්ධ නොවී සහයෝගයෙන් ක්‍රියා කරන්නේ නම් එම පුද්ගලයාට ජීවිතයේ සතුට සොයාගත හැකි බවය. ජීවිතය පහසු කරගත හැකි බවය. ශ්‍රේෂ්ඨත්වයට පත්විය හැකි බවය. එනම් සුපිරි මිනිසෙකු විය හැකි බවය.

කරත්තයට තනිව ඉදිරියට යා නොහැක. වල් අශ්වයාත් අවශ්‍යය. ඒත් සමඟ හික්මුණු අශ්වයාත් අවශ්‍යය. සමහරවිට එක් අශ්වයකුගෙන් ඉදිරියට යා හැකි යැයි සිතුව ද එවිට සිදුවන්නේ ගමන බාල වීමය. අදාළ ස්ථානය කරා යෑමට බොහෝ කල්ගත වීමය. එම නිසා අශ්වයන් දෙදෙනාගේම ශක්තිය අවශ්‍යය. එමෙන්ම දෙදෙනාම එකතුව කරත්තය අදිනා විට දෙදෙනා සහයෝගයෙන් ක්‍රියාත්මක වීම අත්‍යාවශ්‍යම වේ.

අශ්වයන් දෙදනා සිටියත් කරත්තයක් පැවතියත් ගමන යා නොහැකිය. එනම් කරත්තය සහ අශ්වයන් දෙදෙනා මෙහෙයවීම සඳහා, වේගය අඩුකරන්නේ කොතැනදී ද?, වේගය වැඩි කරන්නේ කොතැනදී ද? කොයි මාර්ගය ද තෝරාගන්නේ ?, කොයි අවස්ථාවේද විවේක ගන්නේ ආදිය තීරණය කිරීම සඳහා මෙහෙයවන්නෙකු නැතිනම් බුද්ධිය පිළිබඳ ආත්මය ද අවශ්‍ය වේ.

ඒ අනුව ගමනාන්තය සඳහා යෑමටනම් අශ්වයන් දෙදෙනා සහ මෙහෙයවන්නෙකු සිටිය යුතුම වන අතර මෙම තිදෙනාම සහයෝගයෙන් ක්‍රියා කරන්නේ නම් ගමන ඉදිරියට යා හැකිය. ප්ලේටෝ පවසන්නේ පුද්ගල ජීවිතයත් මේ ආකාර වන බවය. පුද්ගලයකුට ජීවිතය පහසු කර ගැනීමට අවශ්‍යනම් තමා තුළ ක්‍රියාත්මක වන මෙම ආත්මයන් තුනේ සහයෝගීතාව පවත්වා ගැනීමට තමන් වගබලාගත යුතුය.

විශේෂත්වය වන්නේ අභිරුචිය පිළිබඳ ආත්මය වැඩක් නැතැයි පසෙකලා ක්‍රියා කිරීමට නොහැකිවීම වන අතර එම ආත්මය ද පුද්ගල පැවැත්ම සඳහා අවශ්‍ය වේ. මන්ද කරත්තය ඇදීමට වල් අශ්වයා ද අවශ්‍යය. නමුත් එක් ආත්මයක් ප්‍රමුඛ වීම කිසිසේත්ම නොවිය යුත්තක් වන අතර උදාහරණයක් ලෙස මෙසේ සිතුවහොත් වල් අශ්වයා වැඩිපුර කරත්තය තමන් දෙසට ඇදීමට ගියහොත් කරත්තය පෙරළී යා හැකිය. ඒ ආකාරයට හික්මුණු අශ්වයා ද වැඩිපුර කරත්තය තමන් දෙසට ඇදීමට ගියහොත් එවිට ද කරත්තය පෙරළී යා හැකිය.

"මනුෂ්‍යත්වය තිරිසන්කමට සමාන බව මම නිතරම සිතමි. කොන්ෆියුසියස් න්‍යාය නම් මිනිසා දියුණු කළ හැකි බවයි. නමුත් ඔහුට එසේ විය හැකි බව මට විශ්වාස නැත. ඔහු පුහුණු කළ හැකිය. ඔහු විනයගත කළ හැකිය". එසේ පවසන්නේ ලී ක්වාන් යූ වන අතර ඉදිං ප්ලේටෝගේ මෙම සංකල්පයත් සමග ලී  ක්වාන් යූ ගේ එම ප්‍රකාශය සම්බන්ධ කරමින් අපට කිව හැක්කේ සැබවින්ම මිනිසා විනයගත කිරීමටනම් ඔහුගේ ත්‍රී ආකාර ආත්මයන් අතර සමබරතාවක්, සහයෝගීතාවක් පවත්වාගත යුතු බවය.

ඉදිං සරලව ප්ලේටෝගේ දර්ශනවාදයේ මූලික සංකල්පයක් වන ත්‍රී ආකාර පුද්ගල ආත්මය පිළිබඳ සංකල්පය අපට මෙලෙස හඳුනාගත හැකි අතර getpeakonline අප මින් පෙර සාකච්ඡා කළ බුද්ධිය යනු කුමක් ද? අප බුද්ධිමත් ද? සතුටුවෙන්න පාර කියන සුන්දරියන් තිදෙනා, වාද කිරීමේ තියරිය, සොක්‍රටීස් කියාදුන් සාර්ථකත්වයේ මග ආදී ලිපි පෙළ තුළට මෙම ලිපිය ද  ඇතුලත් කරමින් එය ඔබේ ජීවිතය පහසු කරගැනීමට උපස්ථම්භක වේ යැයිද සිතමු.

Latest