Skip to content

පිළියන්දල Street Food සැනකෙලිය හදිසි පරීක්ෂාවකට

මේ වන විට රට පුරා විවිධ ප්‍රදේශයන් කේන්ද්‍ර කර ගනිමින් ආහාර පාන විකුනුම් ස්ථානයන්හී විකිණීමට තබා ඇති ආහාර සෞඛ්‍යාරක්ෂිත බවකින් තොරව විකිණීම සිදු වන බවට තොරතුරු වාර්තා වෙයි. ඒ හේතුවෙන් මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් මෙන්ම් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් ද එවන් ස්ථාන හදිසි වැටලීම් වලට ලක් කිරීම මේවනවිටත්  සිදුවේ.

පිළියන්දල නගරයේදීද ඊයේ දිනයේ (29) රාත්‍රියේ  පවත්වන ලද street food සැනකෙලිය පිළියන්දල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් විසින් හදිසි පරීක්ෂාවකට ලක් කෙරිණ.

ඒ සඳහා පිළියන්දල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ ප්‍රධාන සෞඛ්‍යය වෛද්‍ය  නිලධාරීනී වෛද්‍ය දිනූෂා අඹගල මහත්මියගේ අධීක්ෂණයෙන් එම කාර්‍යාලයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් සහභාගී වූහ.

මෙහිදී එම සැනකෙලිය සඳහා ඉදිරිපත් කර තිබූ ආහාර විකිණීමේ ස්ථාන 15ක් පමණ පරීක්ෂා කෙරුණු අතර එහිදී ඒවායේ විකිණීමට තිබූ විවිධ ආහාර වර්ගයන්ගේ සාම්පලයන් වැඩිදුර පරීක්ෂාව සඳහා ලබා ගැනීම සිදු කලේය.

එමෙන්ම එහිවූ  වෙළඳසැල් හිමියන්ට ආහාර වර්ගයන් එළිමහන් වෙළඳ සැනකෙලියක විකිනීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් පිළිබඳව දැනුවත් කිරීමද මෙහිදී සිදුවිය.

Latest