Skip to content

පේරාදෙණිය සරසවියේ ආරක්ෂක නිලධාරි ගැටලුව

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ආරක්ශක නිලධාරියාගේ  අත්තනෝමතික ක්‍රියාකලාපය හා බලය අනිසි ලෙස යොදවා සේවක  ප්‍රජාව පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම පාලනාධිකාරිය වෙත දැනුවත් කළ ද මේ දක්වා නිසි පියවරක් නොගැනීම හේතුවෙන් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට බලාපොරොත්තු වන බව පේරාදෙණිය විශ්වවිද්යාලය වෘත්තීය සමිති බලමණ්ඩලය පවසයි.


මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පලකල වෘත්තීය සමිති නියෝජිතයෝ කියා සිටියේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා තම බලය අනිසි ලෙස භාවිතා කරමින් විශ්ව විද්‍යාල කාර්යය මණ්ඩලය මෙන්ම සිසුන් හා ආචාර්ය වරුන්ද පීඩාවට පත් කරන බවය.
ප්‍රධාන ආරක්ෂක නිළධාරියා සම්බන්ධයෙන් දිගින් දිගටම පාලනාධිකාරිය දැනුවත් කළද ලිඛිතව හා වාචිකව පැමිණිලිකලද මේ දක්වාම ඔහුට එරෙහිව කිසිදු ක්රියාමාර්ගයක් නොගන්නේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ආරක්ෂා කරන දෘෂ්යමාන හස්තයක බලපෑම හේතුවෙන් දැයි විශ්ව විද්‍යාලයේ වෘත්තීය සමිති බලමණ්ඩලය ප්‍රශ්න කරයි.


මේ සම්බන්ධයෙන් තවදුරටත් නිහඬ පිළිවෙතක් අනුගමනය කළහොත් එළඹෙන ජූනි මස පළමුවැනිදා සිට වැඩ වර්ජනයකට යාමට තීරණය කොට ඇති බවද වෘත්තීය සමිති නියෝජිතයෝ පැවැසූහ. මේ සම්බන්ධයෙන් සිදුකළ විමසුමකදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළ එම පැමිණිලි සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පාලක සභාව රැස්ව විමර්ශනයක් සිදුකරන බවය.


මෙම මාධ්‍ය හමුවේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෘත්තීය සමිති බල මන්ඩලයේ සභාපති ප්රියන්ත වීරසූරිය, ලේකම් ටී.ඒ.ඩී.සුරංජීව, විශ්වවිද්යාල විධායක නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුර වේරහැර, අන්තර් විශ්ව විද්යාලයීය වෘත්තීය සමිති මහා සම්මේලනයේ සභාපති රුවන් කුමාර, පේරාදෙණිය විශ්වවිද්යාල මහා ශිෂ්ය සංගමය සභාපති ළහිරු ප්රනාන්දු යන අයද මෙහිදී අදහස් පළ කළහ.

Latest