Skip to content

පාසල් පොත් බෑගයේ අධික බර අඩුවෙයි

ඉදිරියේ දී එක් පාසල් වාරයක් සඳහා එක වැඩපොතක් වන සේ වාර තුන‌‌ සඳහා පාසල් වැඩපොත කොටස් තුනකින් යුතුව සිසුන් අතට ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය  ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.‌‌‌‌‌‌‌

සිසුන්ට උසුලාගෙන යෑම පහසු වන පරිදි පාසල් සිසු පොත් බෑගයේ අධික බර ප්‍රමාණය අඩු කිරීම එමගින් අපේක්ෂිතයි.‌‌‌‌  

අද වනවිට අමතර පන්ති සඳහා වැඩි මුදල් ප්‍රමාණයක් යෙදවීමට  දෙමවුපියන්ට සිදුව ඇති බව  අමාත්‍යවරයා කියා සිටි.‌‌‌‌‌‌

මේ තත්වය වෙනස් කිරීම සඳහා 2024 වර්ෂයේ සිට පළමු වසරෙන් ආරම්භ වී සියලු ශේණි සඳහා වාර විභාග අඩු කර වසරකට එක විභාගයක් පමණක් පවත්වන බව  අමාත්‍යවරයා  වැඩිදුරටත් පවසයි.

ඒ අනුව, පාඩමක් හෙවත් මොඩ්‍යුලරයක්  අවසානයේ ම තක්සේරුකරණයක් හරහා ලකුණු පරිගණක සටහන් ලෙස වාර්තාගත කර තබා වසර අවසානයේ විභාග ලකුණුවලට එකතු කරන බවත්, මුල දී මෙය විභාග ලකුණු 70%ක් හා මොඩ්‍යුලර් ලකුණු 30%ක් වශයෙන් සැලකෙන අතර  ක්‍රමයෙන් එය 50%ක් දක්වා සමාන ලකුණු පරාසයකට ගෙන එන බව සදහන් වේ.    

මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වීමේ දී පාසල් පැමිණීම, රැඳී සිටීම හා එදිනෙදා පන්තියේ වැඩ කිරීම අනිවාර්ය වන නිසා අමතර පන්ති යෑමට අවකාශයක් හෝ අවශ්‍යතාවක් පාසල් සිසුන්ට ඇති නොවන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පවසා  ඇතැයි  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත්  සදහන් කරයි.

Latest