Skip to content

අපේ ජාතකය 3 - මිනිස් පරිණාමයේ වානර කතාව සහ ශ්‍රී ලංකාව

මිහිමත බිහි වූ සත්ව විශේෂ අතරින් බුද්ධිමත්ම සත්වයා මිනිසා බවට බොහෝ දෙනා පිළිගන්නා කරුණකි. එය රහසක් ද නොවේ. මීට වසර මිලියන 60-70 කට තරම් ඈත අතීතයේ සිට මිනිසා පරිණාමය වීමේදී ආරම්භයේදී ඔහු වානරයකු බව මානව විද්‍යාඥයින් පෙන්වා දෙන අතර එමෙන්ම මිනිස් ආරම්භය කිසියම් මැවුම්කාර බලවේගයකින් සිදු වූවා යැයි පිළිගන්නා ආගමික මතවාද ද පවතී. කෙසේ නමුත් මේ සියළු කතාන්දර පිළිබඳව මීට පෙර අප ලිපි කිහිපයක් ඔස්සේ සාකච්ඡා කළ අතර නමුත් මිනිසා වානරයකුගෙන් පරිණාමය වීම පිළිබඳ කතාන්දරය අපට සවිස්තරව සාකච්ඡා කිරීමට නොහැකි වූ හෙයින් එම අඩුව පිරවීමට ද අපට සිත් විය.

ප්‍රංශ ජාතික ජීව විද්‍යාඥයකු වන බැස්ටිස් ලමාර්ක් විසින් පරිසරයෙන් ලැබෙන බලපෑමට අනුව ප්‍රතිචාර දැක්වීම තුළින් සත්ව පරිණාමය ඇති වූ බවට මුල් වරට ප්‍රකාශ කළ අතර මෙහිදී සමහර සත්වයින්ගේ අවයව භාවිතය අඩු වැඩි වීම මඟින් එම අවයව ශක්තිමත් වීම සහ දුර්වල වීම සිදු වූ බව ද ඔහු පෙන්වා දෙන ලදී. කෙසේ නමුත් මානව පරිණාමය පිළිබඳව ලොව වටා වසර ගණනාවක් පර්යේෂණ කර ඉදිරිපත් කළ origin of species නම් කෘතියේ චාල්ස් ඩාවින් විසින් මිනිසා ඇතුළු සත්වයින් දිගු කාලීන පරිණාමික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස සවිස්තරව පෙන්වා දෙන්නට විය.

අදින් වසර මිලියන 65 කට පමණ පෙර සෙනෙසොයික යුගයේදී අප සහ වඳුරන්, වානරයන් අයත්වන ප්‍රිමාටා ගෝත්‍රය බිහි වී ඇති අතර ඔවුන්ගෙන් සමහර විශේෂ පරිසරයට අනුව හැඩ ගැසී ඇත. එසේ හැඩගැසීමට නොහැකි වූ විශේෂ විනාශයට ද පත් වී ඇත. මෙලෙස එක් එක් පරිසර තත්වයන් තුළ වෙනස් වූ ප්‍රිමාටාවන් අතරින් වඳුරන්ගේ ආරම්භය සිදුව ඇත්තේ අදින් වසර මිලියන 40 කට පමණ පෙරය.

ඉන් පසුව වසර මිලියන 28 වන විට වඳුරන් ලෝකය පුරාම ව්‍යාප්ත වීම සිදු වී ඇත. මෙසේ ලෝකය පුරා ව්‍යාප්ත වූ වඳුරු විශේෂ වෙනස්වන පරිසර තත්වයන්ට අනුව වෙනස් වූ අතර ඔවුන් අතරින් අප්‍රිකා මහද්වීපයේ ජීවත්වන වඳුරන් ලොව පැරණිතම වඳුරන් ලෙසත් උතුරු සහ දකුණු ඇමෙරිකා මහද්වීපයේ ජීවත්වන වඳුරන් නූතන වඳුරන් ලෙසත් සලකයි.

වසර මිලියන 24 - 25 අතර කාලයේ, එනම් මයෝසීන යුගයේදී උණුසුම් සහ තෙත් දේශගුණික තත්වයන් හේතුවෙන් අප්‍රිකානු වඳුරන් ලොව පුරා ව්‍යාප්ත වී ඇතැයි ඩාවින් පවසන අතර එකල විසූ වානර වර්ග තුනක පොසිලද  සොයා ගැනීමට හැකි වී ඇත. ඉන් ශිවපිතකස් සහ රාමපිතකස් යන වර්ගවලට අයත් පොසිල දකුණු අප්‍රිකාවෙන් හමු වී ඇත. එමෙන්ම තවත් පොසිල ඉතාලියේ සහ යුරෝපයේ ප්‍රදේශ කිහිපයකින් ද හමු වී ඇත. කෙසේ නමුත් මෙම වානර පොසිල පොදුවේ හඳුන්වන්නේ ඩ්‍රයෝපිතකස් වශයෙනි. නමුත් අප්‍රිකාවෙන් හමු වූ පොසිල ප්‍රකොන්සෝල් වශයෙන් හඳුන්වයි.

චාල්ස් ඩාවින් පවසන්නේ ලොව බිහි වූ මයෝසීන වානරයන්ගෙන් මිනිස් පරපුරේ ආදිතමයන් බිහි වී ඇති බවය. මෙම මානවයන්ට කාලයත් සමග අයහපත් දේශගුණික තත්වයන් තුළින් බේරීම සඳහා ඔවුන්ගේ වාස භූමි අතහැර යන්නට සිදු වීමෙන් ප්‍රථමයෙන් දෙපා ශක්තිමත් වූ බව ඩාවින්ගේ මතයයි. අදින් වසර මිලියන 6 කට පමණ ඉහතදී ඔරොරින් මුගනේන්සීස් නම් මෙම මුල් මානවයාගේ පොසිල කෙන්නියාවෙන් සහ ඉතියෝපියාවෙන් හමු වී ඇත.

කොහොම නමුත් ඉන් පසුව බිහි වූ ආඩිපිතකස් නොහොත් භූමි වානරයා අඩි හතරක් පමණ උස අයෙකු බවට පර්යේෂණ මඟින් හඳුනාගෙන ඇති අතර ආඩිපිතකස් මානවායගෙන් පරිණාමය වී ඔස්ට්‍රොලෝපිතකස් මානවයා බිහි වී ඇත. මෙම මානවයන් අදින් වසර ලක්ෂ හතලිහකට පමණ පෙර සිට ලොව ජීවත් වී ඇති බව සැළකේ.

මෙම මානවයා පාරිසරික තත්වයන්ට අනුවර්තනය වෙමින් අදින් වසර ලක්ෂ 20 කට පමණ පෙර දක්වා ජීවත් වී ඇති අතර ඔස්ට්‍රොලෝපිතකස් මානවයාගේ පොසිල ප්‍රථමයෙන් දකුණු අප්‍රිකාවෙන් හමු වී ඇත. එමෙන්ම පසුව මෙම මානවයාගේ පොසිල ආසියාවේ සහ යුරෝපයේ ප්‍රදේශ කිහිපයකින් ද සොයා ගන්නා ලදී.

ඔස්ට්‍රොලෝපිතකස් මානවයාගෙන් පසු මානව යුගයේ මී ළඟ දියුණු සාමාජිකයා වන්නේ හෝමෝ හැබිලිස්‍ ය. මොහු ජීවත්වන කාලයේ ලෝකයේ අධික ශීත දේශගුණයක් පැවතී ඇති අතර එම නිසා ශාක සත්වයින් විනාශ වීමේ තර්ජනයකට ද මුහුණ පා ඇත. එම නිසා ගල් ලෙන් ආශ්‍රිතව පවුල් වශයෙන් ජීවත් වීමටත් මස් ආහරයට ගැනීම සඳහා සරල අවි භාවිත කිරීමටත් යොමු වී ඇත.

හෝමෝ හැබිලිස්‍ගෙන් පසුව හෝමෝ ඉරෙක්ටස් නම් ඍජු කයක් සහිත මානවයා අදින් වසර ලක්ෂ 16 කට පමණ පෙර  ලෝකයේ ජීවත් වූ බව ඩාවින් පෙන්වා දේ. මොහුගේ පොසිල උතුරු අප්‍රිකාවෙන්, ඇල්ජීරියාවෙන්, ජාවා දූපත් ආදී ස්ථානවලින් සොයාගෙන ඇති අතර ස්වාභාවික පරිසරයෙන් හට ගන්නා ලද ගිණ්දර දැකීමෙන් සහ ගලකින් තවත් ගලකට පහර දීමේදී හට ගන්නා ගිණ්දර දැකීමෙන් මොවුන් ඉතිහාසයේ ප්‍රථම වතාවට ගිණ්දර සොයාගෙන ඇත.

ඉන් පසුව සත්වයින්ගෙන් සිදුවන ආක්‍රමණ වලක්වා ගැනීමටත්, අධික ශීතලෙන් ආරක්ෂා කිරීමටත්, මස් පුළුස්සා සහ තම්බා ආහාරයට ගැනීමටත් ඔවුන් හුරු වී ඇත. ඉන් පසුව ප්‍රාග් නූතන හෝමෝ සේපියන් සහ හෝමෝ නියැන්ඩර්තාල් මානවයාගේ අස්ථි කොටස් ජර්මනියේ නියැන්ඩර්තාල් නිම්නයෙන් සොයාගෙන ඇත. නියැන්ඩර්තාල් මානවයින් අදින් වසර් ලක්ෂ දෙක හමාරක පමණ කාලයක සිට වසර හතලිස් පන්දහස දක්වා මිහිමත ජීවත් වී ඇත.

බෙල්ජියම, ඉතාලිය හා ලිබියාව යන රටවලින් ද මෙම වානවයන්ගේ පොසිල සොයාගෙන ඇති අතර අඩි පහක් පමණ උස් වන නියැන්ඩර්තාල් භාවිත කළ ගල් ආයුධ ඔස්ට්‍රියන් යන නමින් හඳුන්වනු ලබයි. එමෙන්ම නියැන්ඩර්තාල් මානව පරිණාම අවධි තුළ කෙනෙකු මියගිය පසු මිහිදන් කර ඇති පලමු මානව වර්ගය බවට පර්යේෂණ මගින් තහවුරු කර ඇත.

ඉන් පසුව හෝමෝ සේපියන්ස් මානවයාගේ පරිණාමයෙන් පසු හෝමෝ සේපියන් සේපියන් නම් නූතන මිනිසා අදින් වසර 60000 කට පමණ පෙර කාලයකදී මිහිමත බිහි වී ඇත. නියැන්ඩර්තාල් මානවයාගෙන් පරිණාමය වී අයිස් යුගයේ හිමෙන් වැසී ගිය සාගර හරහා යුරෝපය, ඈත පෙරදිග රටවලට සහ ඇමෙරිකාව ඇතුළු ප්‍රදේශයන්ට සංක්‍රමණය වී ඇති බව මානව විද්‍යාඥයින්ගේ මතය වේ. මෙම මානවයාගේ පොසිල ඊශ්‍රායලය, බෝර්නියෝ, ඕස්ට්‍රේලියාව, සයිබීරියාව මෙන්ම ශ්‍රී ලංකාවෙන් ද සොයාගෙන ඇත.

ඔබට මානව පරිණාමය පිළිබඳව තව දුරටත් හැදෑරීමට අවශ්‍යනම් සේපාල සමරසේකර මහතාගේ " මානව ගමන " නම් ග්‍රන්ථය ද පරිශීලනය කළ හැකි බව මේත් සමඟ මතක් කර සිටිමි.

මානව පරිණාමික කතාන්දරයේ ශ්‍රී ලංකාවට පැමිණි විට ශ්‍රී ලංකාවේ නූතන මානවයන්ගේ සවිස්තර පොසිල මුලින්ම බලංගොඩ ප්‍රදේශයෙන් හමු වූ බැවින් බලංගොඩ මානවයා ලෙස ආදී මානවයා ශ්‍රී ලංකාවේ හඳුන්වනු ලබයි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ මානව පරිණාමය පිළිබඳව ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ ආරම්භ වී ඇත්තේ වර්ෂ 1800 ගණන්වල යුරෝපයෙන් මෙරටට පැමිණි වැවිලිකරුවන්ගෙනි. ඔවුන් එම පර්යේෂණ ආරම්භ කර ඇත්තේ මධ්‍යම පළාතෙනි.

ඉන් සුවිස් ජාතික සැරසින් නම් සහෝදරයින් විසින් ගංගොඩදෙණියේ කැණීමක් සිදුකළ පසු ප්‍රථම වරට මානව ඇටසැකිල්ලක් සොයාගත් බව වාර්තා වේ. කෙසේ නමුත් 1908 වර්ෂයේ පාර්සන් නමැත්තෙකු සහ 1910 වර්ෂයේ හාර්ථිලී නම් පුද්ගලයකු විසින් බලංගොඩ ආසන්නයේ ගුරුබැව්ලාගම බෙලිගල්ගේ කැණීම පෙරට මානව පරිණාමය පිළිබඳව වැදගත් පියවරක් සනිටුහන් කළේය.

එහිදී ප්‍රාථමික ගල් ආයුධ, මානව ඇටසැකිලි, ආහාරයට ගත් බෙල්ලන්ගේ කටු ආදී වැදගත් පුර විද්‍යා සාක්ෂි රාශියක් සොයාගන්නා ලදී. එමෙන්ම මහාචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා බෙල්ලනබැදි පැලැස්සේ කසළ වලක් තුළින් ආදී මානවයකුගේ ඇටසැකිල්ලක් සොයාගත් බව ද වාර්තා වේ.

නූතන යුගයට අයත් මානව අවශේෂ මධ්‍ය මිටියාවතේ බෙල්ලන්බැඳිපැලැස්ස සුසාන භූමියෙන් ද සොයාගත් පසු මානව අවශේෂ පදනම්කර ගනිමින් " බලංගොඩ සංස්කෘතික සමය " නම් මානව යුගයක් හඳුන්වා දීමට ද පී.ඊ.පී දැරණියගල මහතා කටයුතු කරන ලදී. මීට අමතරව සබරගමුවේ වලව මිටියාවතෙන් ද නූතන යුගයට අයත් මානව අස්ථි කොටස් සොයාගෙන ඇත.

අත්තනගොඩ අළු ලෙන, මානියම්ගම බෙලි ලෙන, කිතුල්ගල බෙලිලෙන, කුරුවිට බටදොඹ ලෙන, යක්ගම්පිටිය පාහියන් ලෙන, බෙල්ලන්බැඳිපැලැස්ස, උඩුපියන් ගල්ගේ, ගවරගිරිය මානෙල් ලෙන, පැල්මඩුල්ල බුලත්වත්ත ගල් ගේ, කුකුලගම කබරගල් ගේ, බටතොට දහයියා ලෙන, රඹුක්කන අළු ලෙන, බදුල්ලේ රාවණා ඇල්ල ගල් ගේ ආදී ස්ථාන රාශියකින් නූතන මානවයන්ගේ ශේෂ කොටස් හමු වී ඇත.

බෙල්ලන්බැඳිපැලැස්සෙන් සොයා ගන්නා ලද මානව අස්ථි කොටස් අද ශ්‍රී ලංකාවේ ජීවත්වන මිනිසුන්ගේ අස්ථි කොටස්වලට බෙහෙවින් සමාන වවත් බලංගොඩින් සොයාගත් මානව අවශේෂ තුළින් බලංගොඩ මානවයන් සහ වැදි ජනතාව අතර සම්බන්ධයක් පවතින බවත් කෙනන් ඒ. ආර්. කෙනඩි නම් මානව විද්‍යාඥයා සොයාගන්නා ලදී.

එමෙන්ම මීට වසර 16000 කට පමණ පෙර ප්‍රභවය වූ බලංගොඩ මානවයන් සහ බටදොඹලෙන මානවයන් දකුණු ආසියාවේ අනෙකුත් මානවයින් සමග සම්බන්ධතාවයක් පවතින බව ද සොයාගෙන ඇත. එපමණක් ද නොව ශ්‍රී ලංකාවේ වංශකතාවල සඳහන් වන යක්ෂ ගෝත්‍රිකයින් බලංගොඩ මානවයින්ට නෑකම් කියන බව ද සොයාගෙන ඇත.

මේ ආකාරයට ශ්‍රී ලංකාවේ මානව පරිණාමය පිළිබඳව පවතින දැනුම පිළිබඳව සාකච්ඡා කිරීමට තවත් බොහෝ කරුණු රාශියක් ඉතිරිව ඇත. නමුත් රසවත් ලිපියක් පමණට වඩා දීර්ඝ කිරීම රසය නීරසයක් වීමට හේතුවක් යැයි මට සිතේ. මේ සිදුකරන ලද්දේ ශ්‍රී ලංකාවේ මානව පරිණාමය පිළිබඳව පවතින දැනුම සාකච්ඡා කිරීමට මුල පිරීමක් පමණි. එබැවින් අපට තවත් ලිපි කිහිපයකින් හමුවිය හැක.

Latest