Skip to content

මිනිසා වශයෙන් හැඳින්වෙන මේ මානව සත්වයාට වඩාත්ම හැඩහුරුකමින් සමාන මුල් සත්වයා මිහිමත බිහිව ඇත්තේ මෙයට වසර ලක්ෂ පහකට පමණ පෙරය. නමුදු අද අප කතා කරන හෝමෝ සේපියන්ස් නම් බුද්ධිමත් මිනිසා ලොවට බිහිව ඇත්තේ දැනට අවුරුදු විසි දහසකට හෝ තිස් දහසකට පමණ ඉහත දී බව පිළිගත් මතයයි.

ඉතිහාසයේ සිට මෙතෙක් සිදු වූ දෑ පිළිබඳව විමර්ෂණය කරනවිට පෙනී යන්නේ ඒ මිනිසා එනම් හෝමෝ සේපියන්ස් ඉතාමත් ගවේෂණශීලී සත්වයකු වූ බව විනා අනෙකක් නොවේ. බුද්ධිමත් මේ මිනිසා නිතරම තමා අවට ගවේෂණය කිරීමට පෙළඹුනි. ඒ ගමන මේ වන විට අඟහරු දක්වා විහිදී ඇත. ටයිටැනික් නෞකාවේ සුන්බුන් දක්වා විහිදී ඇත. මෙම ගවේෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් තමා ජීවත්වන පරිසරය විසින් තමා වෙතට විශාල ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කරණු  ලබන බව ද ඔහු යහමින් තේරුම් ගත්තේය.

මෙම බුද්ධිමත් මිනිසා වටා පුබුදුවන ඔහුගේ ජීව ලෝකය ඔහුගේ මනස මහත්සේ කම්පනය කරමින් ඔහු තුල මහත් කුතුහලයක් ඇති කළේය. මෙහිදී වඩාත්ම කුතුහලය දනවන සහ බැරෑරුම් ප්‍රශ්නය වූයේ ජීවය කවදා කෙසේ ඇති වූවා දැයි යන්න පිළිබඳ ප්‍රශ්නය වන බව අවිවාදාත්මකය. තමා කෙසේ සම්භවය ලැබුවේ දැයි යන්න බුද්ධිමත් මිනිසාගේ ඉතිහාසයේ ඔහුට වැඩිම කාලයක් වද දුන් ප්‍රශ්නය වන බැවින් මේ සූදානම් වන්නේ ඒ පිළිබඳව සොයා බැලීමටය.

ලෝකයේ පුරාණ සංස්කෘති ගණනාවකම එක් ආකාරයක සිත්ගන්නාසුළු එකම අර්ථ උද්දීපනයක යෙදෙන මිත්‍යාවාදයක් ගොඩනැගී එන ලද්දේ විශ්වයේ නිර්මාණයට හෝ ජීවයේ නිර්මාණයට සබැඳි ගැටළුවලට යම් අරුතක් සපයා ගැනීමේ මිනිසාගේ කුතුහලය මුසු ආශාව නිසාම බව පෙනී යයි. ආගමික අච්චුවකින් බිහි වූ නිර්මාණවාදය ආගමික මෙහෙවරක් සඳහාම යොදවා ගැනීම වෙනම කතාවක් වූව ද ඒවා තුළ සත්‍යමය බීජයක් නොතිබුණ ද ඒවා මිනිසාගේ ගවේෂණශීලී මනසේ සැබෑ ස්වරූපය කියාපායි.

ලෝක ප්‍රසිද්ධ මැවුම්කාරවාදයක් ශුද්ධ බයිබලයේ සඳහන් වන අතර දෙවියන් වහන්සේ මිනිසා සහ ගැහැණිය පමණක් නොව මුළු ලොවමද, අහසද, මුහුදද සහ සතුන්ද මැවූ බව එහි සඳහන් ය. එමෙන්ම දෙවියන් වහන්සේ විසින් රතු මැටියෙන් මිනිස් රූපයක් සාදා එයට ජීවන හුස්ම පිඹ අමරණීය ආත්මයක් ඇතුළු කළ සැටි කියන බයිබල් පුරා වෘත්තයක් ද ඇති අතර එම පුරාවෘත්තයට රුසියානු මහා මානව විද්‍යාඥයා වන නේස්කූර්හ් සමාජමය අරුතක් ද ලබා දී ඇත.

කුරානයේ ද එන්නේ මෙයටම සමාන නිර්මාණවාදයකි. හෙතෙම පළමුවෙන් ම මිනිසෙකු මැටියෙන් සෑදුවේය. අනතුරුව කුඩා දිය බිංදුවකින් මිනිස් පරපුර බිහි කළේය. යනුවෙනි. එපමණක් නොව ඉන්දීය මහා බ්‍රාහ්මණ සංකල්පය ද නිර්මාණවාදය පිළිබඳ ලෝ ප්‍රකට උදාහරණයක් වශයෙන් ගත හැකිය.

මහා බ්‍රහ්මයාගේ පරිකලපනීය සිතුවමකි

ඉන්දියාවේ ප්‍රධාන කුළ සතර වන බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය සහ ක්ෂුද්‍ර යන කුල සතර මහා බ්‍රහ්මයාගේ එක් එක් අංගවලින් බිහි වූ බව ඉන්දියාවේ විශ්වාසයයි. මහා භාරත කාව්‍යයේ මහා බ්‍රහ්මයා හැඳින්වෙන්නේ මෙ අයුරිනි. එනම් "ඔහු මේ සදාකාලික බ්‍රහ්මන්, ඇති නොවුණු පවත්නා බව ඔහුගෙන් ඇරඹයේ ය." යනුවෙනි. එයින් කියැවෙන්නේ සියල්ල මහා බ්‍රහ්මයා තුළින් නිර්මාණය වූ බවය. කෙසේ නමුත් මෙම අදහස සඳහා ඇමෙරිකාවේ මහා විද්‍යාඥයකු වූ කාල් සාගන් ඔහුගේ කොස්මොස් නම් ග්‍රන්ථයේදී කියා ඇත්තේ මෙම බ්‍රාහ්මණ සංකල්පය විද්‍යාත්මක අරුතක් සඳහා ආදේශකරගත හැකි බවය. එමෙන්ම භගවත් ගීතාවේ අටවැනි පරිච්ඡේදයේ එන ගී කිහිපයකින් එම විද්‍යාත්මක අරුත පණගැන්වෙන බව ද පෙනී යයි.

ඉන්දියාව පිළිබඳව සාකච්ඡා වූ හෙයින් එහි ඇති තවත් විශ්වාසයක් මෙසේය. ඉන්දියාවේ උපනිෂද් අතර එන ඓතරේය උපනිෂදයෙහි හුදෙකලා වූ ආත්මයකින් ලෝකයා සහ මිනිසා නිර්මාණය වූ බව කියැවේ. එම ආත්මයම ජලයෙන් පුරුෂයා මැවූ බව කියවෙන අතර ජීවය ජලයෙන් ඇති වූ බව ජෛව රසායන විද්‍යාවේ දී ඔප්පු වන විට යට කී උපනිෂද් පාඨයෙහි එන ජලයෙන් පුරුෂයා මැවුයේ යැයි කියන අදහසෙහි ඉතා කුඩා අංශු මාත්‍රයක හෝ සත්‍යයක් පවතිනවා යැයිද සිතිය හැකිය.

මිනිස් වර්ගයාගේ මෙන්ම අවශේෂ සත්ව වර්ගයාගේ මැවීම ද සඳහන් වන්නේ මෙලෙසය. ආරම්භයේ දී මේ විශ්වයම ආත්මයක් ලෙස හුදෙකලාව තිබුණේය. එය හට හිමි වූයේ මිනිසෙකුගේ හැඩරුවය. හාත්පස බැලූ විට ආත්මය හැර කිසිවකු එයට නොපෙනුනි. එකෙනෙහි ආත්මයට භීතියක් ඇති විය. එයට සතුටක් නොදැණුනු අතර ආත්මයට සහකාරයෙකු අවශ්‍ය වූයේ ය. ආත්මය දෙකට බෙදුණි. මෙමගින් ස්වාමිපුරුෂයා සහ භාර්යාව උත්පාදනය විය. අනතුරුව මෙම දෙදෙනාම එළදෙනක සහ වෘෂභයකු බවට පරිවහනය වී එම සත්ව පරම්පරාව ඇති කළහ. ඒ ආකාරයෙන් වෙනත් වෙනත් සත්ව වර්ග බවට පත් වී එම සත්ව පරම්පරාවන් නිර්මාණය කළ බව උපනිෂදය තුළ විවරණය කර ඇත.

සුමේරියානු ජනප්‍රවාද තුළ ද විශ්වයේ මිනිසාගේ උපත පිළිබඳව දැක්වෙන අතර ඒවායේ සඳහන් වන්නේ මහා මකරකුගෙන් මිනිස් පරම්පරාව ඇති වූ බවය. මාර්ඩුක් නම් සුමේරියානු දෙවියා ටියාමැට් නම් මකරා විනාශ කර ඒ විනාශ කළ දැයින් ලෝකය නිර්මාණය කළ බව සුමේරියානු ජනප්‍රවාදවල විශ්වාසයයි.

බැබිලෝනියන් ලෝක නිර්මාණ පුරාණයට අනුව ටියාමැට් ලෙස හැඳින්වෙනුයේ මාතෲ දෙවඟන ය. ඉයා නම් දේව සභාව ආක්‍රමණය කළ තරුණ දෙව් රජු පැරදවීම සඳහා ඇය භයානක බලවේගයක් ලෙස පරිවර්තනය වන්නට වී ඇත. අප්සු නම් දෙවිවරුන්ගේ පීතෲ රාජයා ඉයා අතින් පරාජය වී සිහසුන අහිමිකර ගනී. මෙයට පලිගැනීම සඳහා ටියාමැට් අද්භූත බලවේග සහ බිහිසුණු සතුන් නිර්මාණය කරමින් මහා යුද්ධයකට සැරසේ. මෙහිදී ඇය මකර දේනුවක් බවට පරිවර්තනය වන්නීය. ටියාමැට් සමග සටන් කිරීම බාර වන්නේ මාර්ඩුක් නම් දෙවියාටය. ඔහු මාතෲ මකරියක් වූ ටියාමැට් පරදවා ඇගේ සුන්බුන් වලින් ලෝකය මැවූ බව බැබිලෝනියානු නිර්මාණ පුරාණය විශ්වාස කරයි.

ටියා මැට් සහ මාර්ඩුක්

බැබිලෝනියාවෙන් ඊජිප්තුවට ගිය විට ඉපැරණි ඊජිප්තියානු ගීතයකට අනුව " රා " නම් දෙවියන් ලෝකයේ මැවුම්කරු බව පෙනී යයි.

මම වෙමි මැවුම්කරු
කඳුද ගොඩකර
තැනුවෙමි මම
අණතුරුව
මැව්වෙමි මම වන සතුන්
ජලයද මවා
මම වීමි මැවුව්කරු
මහා ජල ගැලුමෙහිද

රා දෙවියන්ගේ පරිකල්පනීය සිතුවමකි

මේ සියළු ජන කතා අතර ලෝකයේ ඉපැරණි හැම ජන කතාවකටම මෙන් ඉන්දියන්වරුන්ට ද මිනිසා අපූර්ව ආකාරයෙන් බිහි වූ සංසිද්ධියක් පිළිබඳ මතවාද හිමි විය. පළමු මිනිසා බිහි වූයේ කඩු මිටකින් සහ නඩාවකින් බව අදහන්නේ ඇමරිකන් ඉන්දියානුවෝය. ඒ අතර නෝඩික් පුරා කතා පුවතකට අනුව මිනුසා බිහි වූයේ දෙවියන් වහන්සේ දර කොටයකට ජීවය පිඹීමෙන් බව කියැවෙයි.

මිනිසාගේ උපත නැතිනම් ජාතකය පිළිබඳව සාකච්ඡා කරනවිට ග්‍රීක මිත්‍යා කතාවන් අපට අමතක කළ නොහැකිය. ග්‍රීක මිත්‍යාවන්ට අනුව පුරාණ ග්‍රීක් වරුන් විශ්වාස කරන ලද්දේ දෙවියන්ගේ කැමැත්ත පරිදි මිනිසුන් ගල් ගොඩවලින් නිර්මාණය වූ බවය. දෙවියන් විසින් ස්පර්ශ කරන ලද ගල් ගෙඩි සුමුදු බවට හැරී මිනිසුන් ගැහැණුන් බවට පරිවර්තනය විය. ඒ අතර දකුණු අප්‍රිකානු කැලෑ මිනිසුන් විශ්වාස කරන්නේ මිනිසුන් මෙන්ම සතුන් ද පොළොවේ ඇති වූ පැල්මකින් උඩට මතු වූ බවය. පෘථිවියේ උතුරු පෙදෙසක මෙම පැල්ම ඇති වූ බව ද ඔවුහූ විශ්වාස කරති.

එමෙන්ම ගවයන් ඇති කිරීමේ කටයුත්තෙහි යෙදෙන ඔවාහෙරෙරෝ නම් ගෝත්‍රිකයන් යට කී මිනිසුන් අසලම ජීවත්වන තවත් අප්‍රිකානු පැරණි ජන කණ්ඩායමකි. ඔවුන් හටද මේ සම්බන්ධයෙන් වෙනත් විශ්වාසයක් ඇත. එනම් පළමු මිනිසා මෙන්ම ගැහැණිය ද ඔමුම්බරෝම්බොන්ගා නම් ගසකින් නිර්මාණය වූ බව ඔවුන්ගේ විශ්වාසයයි. ඒ අතර පන් කොළ ගොඩකින් මිනිසුන් බිහි වූයේ යැයි සුළු නම් ගෝත්‍රිකයින් විශ්වාස කරන අතර ඔවුන්ගේම තවත් කොටසක් විශ්වාස කරන්නේ මිනිසුන් පොළොව යටින් උඩට ඉස්මතු වූ බවය.

පුරාණ ඊජිප්තුවේ එක් ප්‍රාදේශිය කොටසක දෙවියන් මූර්තිමත් කොට ඇත්තේ කුඹලෙකු ලෙස වන අතර මෙම කුම්භකාර දෙවියන් හැඳින්වෙන්නේ ක්නුම් යන නමිනි. ඔහු එහිදී කුම්භකාර හැකියාව ප්‍රයෝජනයට ගෙන ප්‍රථම බිත්තරය නිර්මාණය කර ඇත. පසු මුළු ලෝකයම එම බිත්තරයෙන් පැණනැගුණු බව විශ්වාස කෙරෙණි. ගෙයක් බඳින්නා සේ ලෝකය දෙවියන් විසින් නිර්මාණය කරන ලද බව වෙම්පීස්වල වැසියන් අදහන ලදී. එම දෙවියන් හැඳින්වූයේ ප්ඨා යන නමිනි.

ක්නුම් දෙවියන්

මේ සියළු කතා බස් අතර පුරාණ නොර්වීජියානුවන් ද නිර්මාණවාදය පිළිබඳව සිය අදහස් ඉදිරිපත් කිරීමට අමතක කලේ නැත. ඔවුන් කියා සිටින්නේ ඇස්ගාර්ඩ් නම් වයිකිං ජනතාව හැඳින්වූ දිව්‍යලෝකයෙහි නිවැසි වූ ඕඩින් නම් නායක දෙවියා පෘථිවියේ සහ මිනිසාගේ මැවුම්කරු වන බවය.

ඕඩින් දෙවියන්ගේ පරිකල්පනීය සිතුවමක්

චීනයෙන් මතු වූ ෆෑන්ගූ සංකල්පය ද නිර්මාණවාදයට උදාහරණයක් වශයෙන් දැක්විය හැකි අතර චීනයේ හෙනෑන් ප්‍රදේශයේ අලුත් ආකාරයේ මැවුම්වාදයක් ආරම්භ වී තිබූ අතර වෙනත් සෑම පුරාණයකම සඳහන් වන්නේ පිරිමි දෙවියකු විසින් ලෝකයේ සෑම දෙයක්ම මවන ලද බව වන අතර නමුත් මෙම අදහසට අනුව මැවීමට දායක වන්නේ දෙවඟනකි. නුවා නම් දෙවඟන විසින් ලොකයා සහ මිනිසා මවන ලද බව එහි කියැවේ.

නුවා දෙවඟනගේ පරිකල්පනීය සිතුවමක්

මිනිසාගේ සහ ලෝකයේ ජාතකය පිළිබඳව ලෝකය පුරා විහිදී ඇති මෙම අදහස් සියල්ල කියාවාගෙන ආ ඔබට මේ වන විට සුරංගනා කතා පොතක් කියවූ හැඟීමක් දැනෙන්නට ඇතැයි සිතමි. නැතිනම් ඔබට ඔබ වෙනම ලොවක හුදෙකලා වූ හැඟීමක් ඇත. ඒ කෙසේ නමුත් මෙම අපූර්ව කතා ප්‍රවෘත්තීන් වලට ඉහළ බුද්ධිමතුන් පවා වසඟව සිටි බව ඇතැම් තැන්වලදී පෙනී යයි. දහනව වැනි සියවසේ පවා නිර්මාණවාදය පිළිබඳ අදහස් යුරෝපය පුරා පැතිර තිබූ බවට සාධක හමුවන අතර කුශාග්‍ර බුද්ධිමතුන් පවා ඇතැම් නිර්මාණවාදී ආගමික අදහස්වලට සමත්කම් පා ඇති බව ද පෙනී යයි.

කෙසේ වෙතත් මෙයට හේතුව වන්නට ඇත්තේ ඔවුන්ගේ පැවති දැඩි ආගමික නැඹුරුව විය හැකිය. නිර්මාණවාදය නව යුගයේදී ද පැතිර තිබුණු බවට සාධකයක් රුසියානු මහා ගත්කරු ලියෝ ටෝල්ස්ටෝයිගේ වෝර් ඇන්ඩ් පීස් නම් නව කතාවෙන් ඉදිරිපත් කෙරෙන්නේ මේ අයුරිනි. උත්කෘෂ්ඨ ඥාණය නම් එකක්මය. මෙම උත්කෘෂ්ඨ ඥාණය හා අනුගත වන්නේ එකම විද්‍යාවක් පමණය. එය නම් සියල්ල මැවීම පිළිබඳව පහදා දෙනු ලබන්නත් සහ මිනිසාට ඒ තුළ අත්වන ස්ථානය ගැන කියනු ලබන්නත් ය. යන්නය.

ලියෝ ටෝල්ස්ටෝයි 

කෙසේ නමුත් මෙම සියලු කරුණු වලින් පැහැදිලි වන්නේ පුරාණ සංස්කෘතීන් සියල්ලකම ජනප්‍රිය සිද්ධාන්තය වූයේ මිනිසුන්ගේ ජාතකය විවිධ දේට අනුගත කිරීම බවය. මේ නිසා මිනිසා උත්පාදනය කිරීමට සමත් වූ ඇතැම් දේට මිනිසුන් තුළ වැඩී ඇත්තේ පූජනීය ගෞරවයකි. ඇතැම් තැනක මෙම සිදුවීම් ඇදහීම් සම්ප්‍රදායක් දක්වා වර්ධනය වී ඇත. කාල් යුංග් මේ පිළිබඳව සඳහන් කරන්නේ මිනිසුන් ගස්වලින් ඉපදී ඇති බව බොහෝ මිත්‍යා ප්‍රවාද වල එන අදහසක් බවත් සහ පූජනීය වනපෙත් සහ පූජනීය වෘක්ෂ පිළිබඳ ඇදහිල්ලට මුල් වූයේ මෙම කරුණ බවය.

අපගේ ජාතකය පිළිබඳව සාකච්ඡා කිරීමට තව බොහෝ කරුණු ඇත. නමුත් ලිපිය පමණට වඩා දීර්ඝ කොට මෙතරම් රස කතා පෘවෘත්තියක් නී රස කිරීමට මා හට සිත් නොදේ. එය ඔබට කරන අසාධාරණයක් යැයි සිතමි. එබැවින් " අපේ ජාතකය 2 " ලිපියෙන් හමුවීමට බලාපොරොත්තු වෙමි. එය ඔබ මෙයට හාත්පසින්ම වෙනත් ලොවකට රැගෙන යනු නිසැකය.

Latest