Skip to content

ඇඟෙන් ගලක් ඉවත්කර ගිනිස් පොතට ගිය අපේ යුදහමුදා වෛද්‍යවරුන්

කොළඹ පිහිටි යුද හමුදා රෝහලේදී  සිදු කළ ප්‍රධාන ශල්‍යකර්මයකදී වකුගඩු ආශ්‍රීතව හටගත් ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට යුදහමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත්වී ඇති අතර  එය ගිනස් ලෝක වාර්තා අතරටද එක්වනු ඇතැයි යුදහමුදා මාධ්‍ය අංශය පවසයි..

යුද හමුදා වෛද්‍යවරුන් විසින් පසුගිය ජුනි 01 දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ දී ඉවත් කරන ලද මෙම වකුගඩු ගල සෙන්ටිමීටර 13.372 ක් දිග සහ ග්‍රෑම් 801 ක් බරින් යුක්ත වෙයි.

ශල්‍යකර්මයෙන් පසු ඉවත් කරන ලද වකුගඩු ආශ්‍රිත ගල යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු සහ ශල්‍යකර්මය සිදු කළ කොළඹ යුද්ධ හමුදා රෝහලේ මූත්‍රා ලිංගික පද්ධති අංශ  (Genito Urinary Unit) ප්‍රධානි ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ සුදර්සන් විසින් යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ අවධානයට  පෙන්වනු ලැබීය.

ගිනස් ලෝක වාර්තාවට අනුව, ලෝකයේ මේ වන විට හමුවී ඇති දිගම වකුගඩු ගල වර්ෂ 2004 දී ඉන්දීයාවෙදී කරන ලද ශල්‍යකර්මයකදී හමුවී ඇති අතර, එය සෙන්ටිමීටර 13 ක් දිග වේ. බරින් වැඩිම වකුගඩු ගල වර්ෂ 2008 පකිස්ථානයෙන් හමුවී ඇති අතර, එය ග්‍රෑම් 620 ක් ලෙස සඳහන් වේ.

කොළඹ යුද හමුදා රෝහලේ ජෙනිටෝ මුත්‍රා අංශයේ ප්‍රධානී මුත්‍රා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතාර්ෂන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තමන්ෂා ප්‍රේමතිලක විසින් මෙම විශේෂ ශල්‍යකර්මයේ සිදුකරනු ලැබූ අතර ශල්‍යකර්මය සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් ලෙස කර්නල් (වෛද්‍ය) යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී.එස් අබේසිංහ යන අය සහය වන ලදී.

Latest