Skip to content

ෆොසිල ඉන්ධන වලට එරෙහි තැඹිලි විරෝධය - Just Stop Oil

මේ දිනවල එක්සත් රාජධානිය තුල නිරන්තරයෙන් කතා බහට ලක් වෙන සහ පුවත් මවන කණ්ඩායමක් බවට Just stop oil කණ්ඩායම පත්ව තිබේ. එක්සත් රාජධානියේ රජය විසින් නව ඛනිජ තෙල් සහ ගල් අඟුරු ඇතුළු ෆොසිල ඉන්ධන ගවේෂණ සඳහා නව බලපත්‍ර නිකුත් නවත්වන ලෙසට බල කරමින් රට පුරා විවිධ ආකාරයේ විරෝධතා පැවැත්වීමට මොවුන් කටයුතු කරමින් සිටියි. 2025 වසර වන විට එක්සත් රාජධානිය විසින් ඛනිජ තෙල් ගවේෂණ ව්‍යාපෘති 100කට පමණ නව බලපත්‍ර ලබාදීමට සැලසුම් කර ඇත.

2021 වසරේ සැප්තැම්බර් මස සිට නොවැම්බර් දක්වා කාලය තුල බ්‍රිතාන්‍ය මහාමාර්ග අවහිර කරමින් සිදු වූ Insulate Britain විරෝධතා මාලාවට සම්බන්ධ වූ පිරිස් විසින් 2022 වසරේ පෙබරවාරි මාසයේදී මෙම just stop oil සංවිධානය පිහිටවාගෙන ඇති අතර ඔවුන් මෙය හඳුන්වන්නේ එක්සත් රාජධානියේ ෆොසිල ඉන්ධන ගවේෂණය, සංවර්ධනය සහ නිෂ්පාදනය සඳහා නව බලපත්‍ර සහ අනුමැතීන් ලබාදීම නවත්වන ලෙසට රජයට බල කිරීම වෙනුවෙන් එක්ව ක්‍රියාකිරීමට පිහිටවාගත් සන්ධානයක් ලෙසයි.

මුලින්ම 2022 වසරේ මාර්තු මාසයේදී දියත් කෙරුණු විරෝධතා මාලාවක් තුලින් අවධානය දිනා ගත් මොවුන් එතැන් පටන් එක්සත් රාජධානියේ තෙල් පර්යන්ත අවහිර කරමින් මහාමාර්ග අවහිර කරමින් තම විරෝධතා දියත් කරන ලදී. එයින් නොනැවතී මේ වන විට එක්සත් රාජධානිය පැවැත්වෙන ප්‍රසිද්ධ උත්සව සහ ක්‍රීඩා ඉසව් ආක්‍රමණය කිරීමටද මෙම Just stop oil ක්‍රියාකාරීන් කටයුතු කරමින් සිටියි. මේ අතරින් එංගලන්තයේ පාපන්දු ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරඟයක් අතරතුර මෙම කණ්ඩායමේ ක්‍රියාකාරීන් පිරිසක් තමන්ව ගෝලකණුවේ බැඳගැනීම සුවිශේෂී අවධානයක් දිනාගැනීමට සමත්විණි. ඉන් පසුව ලෝකප්‍රකට විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය මෙන්ම, ස්නූකර් ලෝක ශූරතාව සහ අළුබඳුන තරඟාවලියද මොවුන්ගේ විරෝධතා වෙනුවෙන් භාවිතා කරනු පසුගිය මාස කිහිපය පුරාවටම දක්නට ලැබිණි. මීට අමතරව පසුගිය දිනක Just stop oil ක්රියාක්රින් දෙදෙනෙක් විසින් ලන්ඩන් හි නැෂනල් ගැලරියේ තබා තිබු වෑන් ගෝ ගේ සන්ෆලවර් සිතුවමට තක්කාලි සුප් ප්‍රහාරයක් එල්ල කරන ලදී. මොවුන් විසින් මෙවැනි කඩාකප්පල්කාරි ක්‍රියාවන් සිදු කිරීමේ අරමුණ වී තිබෙන්නේ රජයේ සහ මාධ්‍යන්හි අවධානය තමන්ගේ ඉල්ලීම් වෙත දිනාගැනීමයි.

ලෝර්ඩ්ස් පිටිය ආක්‍රමණය කල විරෝධතාකරුවන් 

Just stop oil මෙහෙවර ප්‍රකාශයට අනුව පෘථිවි දේශගුණික පද්ධතියේ ආපසු හැරවිය නොහැකි ලෙස සිදු වෙමින් පවතින වෙනස්කම් වලක්වාගැනීම සඳහා සම්පුර්ණයෙන්ම ෆොසිල ඉන්ධන මත යැපීම නැවැත්විය යුතු වේ. ඒ සඳහා ආරම්භයක් ලෙස එක්සත් රාජධනිය තුල නව ෆොසිල ඉන්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම නැවැත්විය යුතු බවත් වසර අටක කාලයක් තුල රට කාබන් ශුන්‍ය ආර්ථිකයකට සංක්‍රමණය විය යුතු බව ඔවුන්ගේ ඉල්ලීම වී තිබේ.

මෙම කණ්ඩායම පවසන ආකාරයට ඔවුන්ට නායකත්ව ධුරාවලියක් හෝ විධිමත් නායකත්වයක් නැත. කෙසේ නමුත් මොවුන්ට එක්සත් රාජධානිය මුල් කරගනිමින් ක්‍රියාත්මක වෙන ගෝලීය පාරිසරික ව්යාපාරයක් වන Extinction Rebellion ව්‍යාපාරය සමඟ සම්බන්ධතා ඇති බව සඳහන් වන අතර Extinction Rebellion නිර්මාතෘ වන ප්‍රවීන පරිසර ක්‍රියාකාරිකයෙකු වන රොජර් හැලම් මෙම Just stop oil කණ්ඩායම පිටුපස සිටින මහමොලකරු යැයි සලකනු ලබයි. මෙම ලිපියේ ආරම්භයේදී සඳහන් කල Just stop oil ආරම්භ වීමට පෙර ක්‍රියාත්මක වුනු Insulate Britain විරෝධතාද ක්‍රියාත්මක වී තිබුනේ රොජර් හැලම් ගේ මෙහෙයවීම මතයි. එමෙන්ම දේශගුණික ක්‍රියාකාරකම් සඳහා අරමුදල් සැපයීම සඳහා 2019 දී ඇමෙරිකානු දානපතියෙකු වන අයිලීන් ගෙටි විසින් ආරම්භ කරන ලද Climate emergency fund අරමුදලෙන් මොවුන්ගේ ක්‍රියාකාරකම් සඳහා අරමුදල් සැපයෙන බව සඳහන් වේ.

මේ වන විට මොවුන් විසින් සිදු කරන ඉල්ලීම් සහ මොවුන් විසින් මතු කර සිටින කාරණා සම්බන්ධයෙන් බොහෝ දෙනා එකඟ වන බවක් පෙන්නේට තිබුණත් මොවුන් තම ඉල්ලීම් කෙරෙහි අවධානය ලබාගැනිම වෙනුවෙන් සිදු කරන ක්‍රියාවන් නම් එතරම්ම එක්සත් රාජධානියේ ජනතාවගේ පැසසුමට ලක් වන්නේ නැත. එම ක්‍රියාවන් බොහොමයක් අන්තගාමි බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.

2022 වසරේ ආරම්භ කල දිනයේ පටන් මේ වන තෙක් Just stop oil ක්‍රියාකාරීන් 2200ක් පමණ පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඉන් 138 දෙනෙක් මේ වන විට බන්ධනාගාර වල කාලය ගෙවමින් සිටින බවට වාර්තා වේ.

Latest