Skip to content

Operation Mincemeat ; CIA සංවිධානයේ උපත පිටුපස ඇති කතාව

හුයෙල්වා වෙරළ

1943 අප්‍රේල් 30 වැනිදා ස්පාඤ්ඤයේ හුයෙල්වා වෙරළට මළ සිරුරක් පාවී ආවේය. මියගිය පුද්ගලයා බ්‍රිතාන්‍ය හමුදා නිල ඇඳුමකින් සැරසී සිටියේය. බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු හමුදා රහස් තොරතුරු අඩංගු ලිපි සහිත බෑගයක් ඔහුගේ සිරුරේ තිබුණි. මෙම මිනිසා මේජර් විලියම් මාටින් විය. ඔහු එම මුහුදු සීමාවේදි මාරක ගුවන් අනතුරකට ගොදුරු වූ බ්‍රිතාන්‍ය රාජකීය නාවික සෙබළෙක් විය. ඔහු ලන්ඩනයේ තාවකාලික නිවාඩුවකින් ආපසු පැමිණි අතර ඔහු සතුව ඔහුගේ පෙම්වතිය සඳහා විවාහ ගිවිස ගැනීමේ මුද්දක් පවා තිබුණි. නමුත් මෙම මේජර් විලියම් මාටින් අමුතු පුද්ගලයෙකු විය.

"මීට පෙර මේජර් විලියම් මාටින් කියා පුද්ගලයෙකු ඇත්තටම ජීවත් ව සිටියේ නැත."

එය 1942 වර්ශයේ ශීත කාලය වූ අතර මිත්‍ර පාක්ෂික හමුදා හට ජයග්‍රහණයක් අවශ්‍ය විය. හිට්ලර්ගේ නාසි හමුදාව මුළු යුරෝපයම ආක්‍රමණය කර තිබූ අතර ඊළඟට එංගලන්තය බව කවුරුත් දැන සිටියහ. ඒ වන විටත් පර්ල් වරායට පහර දීමෙන් පසු එක්සත් ජනපදය ද යුද්ධයට එකතු වී තිබුණි. ජර්මානු හමුදාවන් වඩාත් හොඳින් සන්නද්ධ වූ අතර ඔවුන් තනි අරමුණකින් පුහුණු විය. නමුත් ජර්මනියට දුර්වලකමක් තිබුණි. එය ස්වභාවික සම්පත්වලින් පොහොසත් රටක් නොවිය.

1940 ගණන්වල යුද්ධ කිරීමට රටකට යකඩ, තෙල්, රබර් සහ ආහාර අවශ්‍ය විය. ජර්මනියට මේ සියල්ල ආනයනය කිරීමට සිදු වූ අතර මිත්‍ර පාක්ෂික හමුදා හට ජර්මනියේ සැපයුම් මාර්ග කඩාකප්පල් කළ හැකි නම්, ජර්මානුවන්ට තවදුරටත් සටන් කිරීමට හැකියාවක් නොමැති අතර යුද්ධය ඉක්මනින් අවසන් කිරීමට හැකියාවක් තිබුණි. නමුත් එය කියන තරම් කිරීමට පහසු දෙයක් නොවිය. ජර්මානු ඉංජිනේරුවන් ලෝකයේ හොඳම ඉංජිනේරුවන් අතර ඉදිරියෙන්ම විය.

ජර්මානු හමුදාව ඉඩම් අඟලක් අල්ලා ගත් සෑම අවස්ථාවකම එය ඉක්මනින් ශක්තිමත් ආකාරයට ආරක්ෂා කරන ලදී. යුරෝපයේ ප්‍රධාන භූමි ප්‍රදේශයේ ඕනෑම මිත්‍ර පාක්ෂික හමුදාවක් විසින් සිදු කෙරූ ආක්‍රමණ ඔවුන් පරාජය කෙරූ අතර එය මිත්‍ර පාක්ෂික හමුදා වලට ව්‍යසනකාරී පාඩු ඇති කිරීමට හේතු විය. නමුත් මධ්‍යධරණී මුහුදේ වෙරළ තීරය එතරම් ශක්තිමත් නොවීය. බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් මෙය හැඳින්වූයේ යුරෝපයේ මෘදු යටි බඩ ලෙසය. යුරෝපය ආපසු ගැනීම සඳහා යතුර ඉතාලිය වූ අතර ඉතාලිය අත්පත් කර ගැනීමේ යතුර සිසිලිය විය.

වින්ස්ටන් චර්චිල්

අවාසනාවකට මෙන් ජර්මානුවන් සිසිලියේ උපායමාර්ගික වැදගත්කම වටහා ගත්හ. මිත්‍ර පාක්ෂිකයින් එයට ප්‍රහාර එල්ල කරනු ඇතැයි ඔවුහු සම්පූර්ණයෙන් අපේක්ෂා කළහ. මිත්‍ර පාක්ෂික හමුදා හට ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවක් තිබුනේ නම් ඔවුන්ට සිතා ගත නොහැකි ආකාරයේ ක්‍රමයක් (Element Of Surprise) අවශ්‍ය විය. බ්‍රිතාන්‍යයේ බුද්ධි ඒජන්සිය වූ MI5 හට පැවරී තිබුණේ මිත්‍ර පාක්ෂික හමුදා විසින් ග්‍රීසියට පහර දෙනු ඇතැයි සිතීමට ජර්මානුවන් රවටා ගැනීමය. ජර්මානුවන් මෙම උපක්‍රමය විශ්වාස කර සිසිලියේ සිටි හමුදා ග්‍රීසිය වෙත හරවා යැවීමෙන් සිසිලිය අනාරක්ෂිතව විම මිත්‍ර පාක්ෂික හමුදා හට පහසු ජයග්‍රහණයක් සහතික විය.

MI5

මෙම රැවටීම සඳහා වැඩ කෙරූ එක් බ්‍රිතාන්‍ය බුද්ධි අංශ නිලධාරියෙකු වූයේ චාල්ස් චොල්මොන්ඩෙලි (Charles Cholmondeley) ය. යුධ ප්‍රයත්නයේ දී චාල්ස්ගේ ප්‍රධාන භූමිකාව වූයේ අදහස් සහිත පුද්ගලයෙකු (Ideas Guy) වීමය. යුද්ධය ආරම්භයේදී බ්‍රිතාන්‍ය යුධ කාලීන බුද්ධි අංශ වෙත බෙදා හරින ලද ඉහළම රහසිගත සංදේශයක් චාල්ස් සතු විය. එය ට්‍රවුට් සංදේශය (Trout Memo) ලෙස ප්‍රසිද්ධ විය. ට්‍රවුට් සංදේශයේ ජර්මානුවන් රවටා ගැනීම සඳහා විශේෂිත අදහස් 51ක් ලැයිස්තුගත කර ඇත. මෙම ලැයිස්තුව ඉතා විකාර සහගත වූ අතර සබ්මැරීන ආකර්ෂණය කර ගැනීම සඳහා අඳුරු ජලයේදී දිදුලන පාපන්දු මුහුදට අතහැරීම, ව්‍යාජ නිධන් නැව්, සහ පුපුරණ ද්‍රව්‍ය ආහාර ලෙස නිර්මාණය කිරීම වැනි ක්‍රම එහි ඇතුළත් විය.

චාල්ස් චොල්මොන්ඩෙ

නමුත් ට්‍රවුට් සංදේශයේ තිබූ විකාර සහගතම අදහස වූයේ අංක 28 වැනි අදහසයි. ව්‍යාජ ලේඛන සහිත මළ සිරුරක් සතුරු සීමාවක් තුලට ගුවන් යානයකින් බිම හෙළීම එම අදහස විය. ඔබ සම්පූර්ණ ට්‍රවුට් සංදේශය කියවන විට ඔබට සිතෙන්නේ මේ අදහස් ගැන සිතූ අය ඔත්තු නවකතා (Spy Novel) ලිවීමට විශිෂ්ට අය කියාය. ට්‍රවුට් සංදේශය නිල වශයෙන් ලියා ඇත්තේ රියර් අද්මිරාල් ජෝන් ගොඩ්ෆ්‍රේ විසිනි. නමුත් එය ඇත්ත වශයෙන්ම ලියා ඇත්තේ ගොඩ්ෆ්‍රේගේ සහකාර ලුතිනන් කමාන්ඩර් ඉයන් ෆ්ලෙමින් (Ian Fleming) විසිනි. පසුකාලීනව නවකතාකරුවෙකු බවට පත් වූ ඉයන් ෆ්ලෙමිං ජේම්ස් බොන්ඩ් චරිතය ඇතුළත් නව කතා මාලාවේ නිර්මාණකරුවා විය.

ඉයන් ෆ්ලෙමින්

ඉයන් ෆ්ලෙමින්ගේ ට්‍රවුට් සංදේශයේ අංක 28 අදහස යෝජනාවක් ලෙස නම් කරූ අතර එය එතරම් හොඳ එකක් නොවිය.

ට්‍රවුට් සංදේශය

"පහත සඳහන් යෝජනාව බැසිල් තොම්සන්ගේ පොතක සදහන් කර ඇත. සාක්කුවේ ව්‍යාජ බුද්ධි තොරතුරු සහිත ගුවන් භටයෙකු ලෙස සැරසූ මළ සිරුරක් අසාර්ථක වූ පැරෂුටයකින් වෙරළට වැටිය හැකිය. ඔබලාට මළ සිරුරක් ලබා ගැනීමේ අපහසුතාවයක් නොමැති බව මට වැටහේ. නමුත් ඇත්ත වශයෙන්ම එය නැවුම් එකක් විය යුතුය."

මෙම අදහස කෙතරම් විකාර සහගත වුවද මිත්‍ර පාක්ෂික හමුදා සිසිලිය වෙනුවට ග්‍රීසියට පහර දීමට සැලසුම් කරන බව විශ්වාස කිරීමට ජර්මානුවන් රවටා ගැනීමේ මාර්ගය එය විය හැකි යැයි චාල්ස් සිතුවේය. ඔහු එය තම ප්‍රධානීන්ට ඉදිරිපත් කළ අතර, සැලැස්ම සකස් කිරීමට ඔහුට උපකාර කිරීම සඳහා ඔවුන් එවන් මොන්ටාගු (Ewen Montagu) නම් නාවික නිලධාරියෙකු පත් කරන ලදී. යුද්ධයට පෙර එවන් මොන්ටාගු නීතිඥයෙක් විය. ඔහු අතිශයින් ධනවත් බැංකුකරුවන්ගේ පවුලකින් පැමිණි අතර යුද්ධය ආරම්භ වූ විට ඔහු හමුදාවේ ක්‍රියාකාරී සේවය සඳහා වයසින් වැඩි විය. එම නිසා ඔහු නාවික හමුදා බුද්ධි අංශයේ ඉහළ තනතුරකට පත් විය.

එවන් මොන්ටාගු

යුධ කාලීන බුද්ධි අංශ කටයුතු සඳහා නැඹුරුවක් මොන්ටාගු පවුල තුළ තිබී ඇත. එවන් ඒ වන විට නොදැන සිටියත්, ඔහුගේම සොහොයුරා වූ අයිවර් මොන්ටාගු (Ivor Montagu) සැබවින්ම සෝවියට් සංගමයේ ඔත්තුකරුවෙක් විය. වාසනාවකට මෙන්, සෝවියට් සංගමය සහ එක්සත් රාජධානිය එකම පැත්තක සිට මෙම යුද්ධයට සහභාගී විය. මොන්ටාගූ පවුල යුදෙව්වන් විය. ඉතින් එවන්ගේ බිරිඳ සහ දරුවන් ආරක්ෂිත හේතූන් මත එංගලන්තයෙන් ඇමරිකාවට පැමිණ තම ජීවිත ගත කළහ. එවන්ට අවශ්‍ය වූයේ තම රටට සේවය කිරීමට පමණක් නොව, තම බිරිඳ පිළිබද මතක් වීමේදී ඔහුගේ මනසට දැනෙන පීඩාව අමතක කිරීම සදහා මෙම අද්විතීය මෙහෙයුමට සම්බන්ධ වීමටය.

අයිවර් මොන්ටාගු

චාල්ස් සහ මොන්ටාගු ඔවුන්ගේ මෙහෙයුම සඳහා සැලැස්ම සකස් කළහ. ස්පාඤ්ඤයේ වෙරළට ඔබ්බෙන් තිබූ සබ්මැරීනයක් හරහා මළ සිරුරක් ගොඩබිමට එවීම ඔවුන්ගේ අදහස විය. එම සිරුර රාජකීය නාවික හමුදාවේ නිලධාරියෙකු ලෙස හඳුනා ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සහ ග්‍රීසියට එල්ල කිරීමට නියමිත හමුදා ප්‍රහාරයක් සම්බන්ධයෙන් රහස් ඇති වැදගත් ලේඛනයක් ලෙස සකසා ඇති ව්‍යාජ ලේඛන එලෙස එන මළ සිරුර සතු විය යුතුය. ස්පාඤ්ඤය දෙවන ලෝක යුද්ධයේදී නිල වශයෙන් මධ්‍යස්ථව සිටියත් ඔවුන් ජර්මානුවන් සමඟ සමීප සන්නිවේදනයක යෙදී සිටි නිසාත්, මෙම හමුදා රහස් ස්පාඤ්ඤ වෙරළට ගසාගෙන ගියහොත් එම රහස් ජර්මානුවන් අතට පත්වීමට වැඩි ඉඩක් තිබූ නිසාත්, සිරුර ස්ථානගත කිරීමට සුදුසුම ප්‍රදේශය ස්පාඤ්ඤය විය.

චාල්ස්ට සහ මොන්ටාගුට දැන් අවශ්‍ය වූයේ මළ සිරුරක් පමණි. නමුත් එය සාමාන්‍ය මළ සිරුරක් නොවිය. එම මළ සිරුර පිරිමි සහ හමුදාවේ සේවය කරන්නෙකුගේ වයසේ විය යුතුය. මරණයට හේතුව මුහුදේදී ගුවන් යානයක් කඩා වැටීමේ කතාව සමඟ පෙළ ගැසීමට ද අවශ්‍ය විය. ඒ නිසා එය දියේ ගිලීම, නිරාවරණය වීම, කම්පනය හෝ බරලපත තුවාල වලින් විය යුතු වූ අතර තම ආදරණීයයාගේ මෘත දේහය වෙනත් කෙනෙකු ලෙස සරසවා රටින් පිටතට ගෙන යාම ගැන ප්‍රශ්න නොකරන කරදරකාරී පවුල් සාමාජිකයන් මෙම පිරිමියාට නොසිටිය යුතුය. එවන් මොන්ටාගු ප්‍රාදේශීය හදිසි මරණ පරීක්ෂකවරයෙකු සමඟ මිත්‍රශීලී වූ අතර ඔහු එවැනි ශරීරයක් ගැන විමසිල්ලෙන් සිටීමට එකඟ විය. 1943 ජනවාරි 26 වන දින මරණ පරීක්ෂකවරයා මොන්ටාගුට කතා කර මෙසේ පැවසීය.

"මට එකක් හම්බවුනා"

ග්ලින්ඩ්වර් මයිකල් (Glyndwr Michael) දුෂ්කර ජීවිතයක් ගත කළ පුද්ගලයෙකි. ඔහුගේ පියා පිහියෙන් බෙල්ලට ඇනගෙන සියදිවි නසා ගැනීමට තැත් කළේය. ඔහු මානසික රෝහලකට ගෙන ගිය අතර ඉන්ෆ්ලුවෙන්සාව වැළඳී පසුව ඔහු මිය ගියේය. ඔහුගේ මව තනිවම පවුල රැකබලා ගැනීමට වෙහෙස විය. ඔවුන් හට නිවාසය අහිමි වූ අතර කිසි විටෙකත් ප්‍රමාණවත් ආහාර නොතිබුණි. යුද්ධයට ටික කලකට පෙර ඇය හෘදයාබාධයකින් මිය ගියාය. ග්ලින්ඩ්වර් හමුදා සේවයට එකතු වීමට උත්සහ කෙරුවත් ඔහු ඒ සඳහා නුසුදුස්සෙකු ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර එයට හේතුව පැහැදිලි නැත. එය දුර්වල ශාරීරික සෞඛ්‍යය, දුර්වල මානසික සෞඛ්‍යය හෝ දෙකම විය හැකිය. ඔහු අවසානයේ අනාථයෙකු ලෙස ලන්ඩනයේ වීදිවල සැරිසැරුවේය.

ග්ලින්ඩ්වර් මයිකල්

1943 ජනවාරි 26 වන දින ග්ලින්ඩ්වර් මයිකල් අතහැර දැමූ ගබඩාවක මී විෂ ශරීරගත වී මිය ගියේය. එය සියදිවි නසා ගැනීමක් විය හැකි නමුත් බොහෝ විට ඔහු කුසගින්නෙන් පෙළෙන විට සොයා ගත් පාන් වල මී විෂ මිශ්‍ර වී තිබීම නිසා දින දෙකකට පසු මිය යෑම සිදු වන්නට ඇති බව ද සිතා ගත හැකිය. ඔහු මිය යන කාලයේදී පැවති අධිකරණ වෛද්‍ය තාක්‍ෂණය දියුණු එකක් නොවූ නිසා මී විෂ ශරීරගතව මිය යෑම දියේ ගිලී මිය යෑම හා සමාන විය. චාල්ස් සහ මොන්ටාගු හට දැන් මළ සිරුරක් ඇත. මොන්ටාගු ගේ හදිසි මරණ පරීක්ෂක මිතුරා අවධාරණය කළේ ග්ලින්ඩ්වර් ගේ ශරීරය දැනටමත් දිරාපත් වීමට පටන් ගෙන ඇති බවයි. ඔහුට ඔහුව අයිස් මත තබා ගත හැකි නමුත් ඉදිරි මාස තුන ඇතුළත ඔහු මෙහෙයුම සදහා යෙදවිය යුතු විය.

මෙම අවස්ථාවේදී චාල්ස් සහ මොන්ටේගුගේ මෙහෙයුමට මින්ස්මීට් (Mincemeat) යන නිල කේත නාමය ද ලබා දී ඇති අතර මෙය අඳුරු විහිළුවක් විය. මින්ස්මීට් යනු කුඩා කැබළි වලට කැපූ මස් හෝ සත්ව මේදය පලතුරු සහ කුළුබඩු සමඟ එකතු කර මස් කල් තබා ගැනීම සදහා සාදන ආහාර වට්ටෝරුවකි. මෙම අවස්ථාවේදී එක්සත් රාජධානියේ මිනිසුන්ට ඔවුන්ගේ අහාර සලාක දිගු කාලයක් පවතිනු පිණිස මස් කල් තබා ගැනීමට අවශ්‍ය විය.

"නමුත් මේ වතාවේ කල් තබා ගත යුත්තේ මස් නොව කල් තබා ගත යුත්තේ මිනිසෙකු විය"

මළ සිරුරක් අත්පත් කර ගැනීම මෙම මෙහෙයුමේ පහසු කොටස බව ඔවුන් හට පෙනී ගියේය. දැන් මොන්ටාගු සහ චාල්ස්ට එම මළ සිරුර හට නව අනන්‍යතාවයක් නිර්මාණය කිරීමට අවශ්‍ය වූ අතර එය ජර්මානු පරීක්ෂාවන් හමුවේ සත්‍යය එකක් ලෙස පෙනී යෑම අවශ්‍ය විය. ඔහු සතුව සංවේදී ලියකියවිලි ඇති බව විශ්වාස කිරීමට නම් ඔහු හමුදාවේ උසස් නිලධාරියෙකු විය යුතුය. ඔවුන් රාජකීය මැරීන් භටයෙකුගේ චරිතය තෝරා ගත්තේ එම නිල ඇඳුම පහසුවෙන් ලබා ගත හැකි බැවිනි. චාල්ස් එම නිල ඇදුම අලුත් නිල ඇඳුමක් ලෙස ජර්මානුවන් හදුනා ගැනීම වළක්වා ගැනීම සඳහා ඉදිරි මාස තුන සඳහා දිනපතා එය පැළඳ සිටියේය.

දැන් ඔවුන්ට නමක් අවශ්‍ය විය. මොන්ටේගු සහ චාල්ස් හමුදා සෙබළුන්ගේ ලැයිස්තුව දෙස බැලූ අතර, නිලය කපිතාන්වරයෙකු වූ විලියම් මාටින් නම් වූ නමක් ඔවුන්ට හමු විය. මෙම ප්‍රබන්ධ චරිතය වූ විලියම් මාටින් හට හඳුනාගැනීමේ ඡායාරූපයක් අවශ්‍ය විය. රාජකීය මැරීන් භටයින් පින්තූරයක් ඇතුළත් හැඳුනුම්පත් සෑම විටම යුද්ධයට යන විට රැගෙන ගියහ. මොන්ටේගු සහ චාල්ස් මළ සිරුර ඡායාරූප ගැනීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය. ශරීරය හැඩයෙන් නරක අතට හැරෙමින් තිබුණි. එම පින්තූර බිය උපදවන සුළු විය. නමුත් වෙනත් දෙපාර්තමේන්තුවක සේවය කරමින් සිටි ග්ලින්ඩ්වර් මයිකල් හා සමාන පෙනුමක් ඇති කෙනෙකු තමන්ගේ ඡායාරූපය ලබා දීමට කැමති විය. ඔවුන්ට තවත් එක් දෙයක් අවශ්‍ය විය.

විලියම් මාටින්ගේ හැදුනුම්පත

"යට ඇඳුමක්"

යට ඇඳුම් එකල එක්සත් රාජධානියේ සලාක ක්‍රමයට ලබා දුන් අතර එයින් අදහස් වන්නේ ඔබට ඒවා වෙළඳසැලකින් සොයාගත නොහැකි බවය. මොන්ටාගු මෙම දුෂ්කරතාවය තම උසස් නිලධාරියෙකුට ඉදිරිපත් කළ විට මෑතකදී ට්‍රක් රථයකට හසු වී මිය ගිය උසස් හමුදා නිළධාරියෙකුගේ යට ඇදුමක් මින්ස්මීට් මෙහෙයුම සඳහා ලබා දීමට ඔහු කටයුතු කළේය.

මොන්ටේගු සහ චාල්ස් දැන් ඔවුන්ගේ අවධානය භෞතිකයෙන් මිදී ප්‍රබන්ධයට යොමු කරන ලදී. ඔවුන්ට මේජර් විලියම් මාටින් සඳහා පසුබිම් කතාවක් අවශ්‍ය විය. සෑම රාත්‍රියකම ඔවුන් තම සගයන් කිහිප දෙනෙකු සමඟ පිටතට ගොස් විලියම් මාටින්ගේ පසුබිම පිළිබඳ විස්තර සාකච්ඡා කරන ලදී. ඔහු මසුන් ඇල්ලීමට කැමති වූ අතර ඔහුට මුදල් ප්‍රශ්න තිබුණි. ඔහු ආදරණීය ලෙස හැඟීම්බර කෙනෙකු වූ අතර ඔහුට ලේඛකයෙකු වීමට අවශ්‍ය විය. කණ්ඩායම මේජර් විලියම් මාටින් තමන්ගේ මිතුරෙකු ලෙස සලකා මෙම පසුබිම් කතාව නිර්මාණය කරන ලදී.

මළ සිරුර සොයාගත් ස්පාඤ්ඤ ජාතිකයින්ට එම පසු කතාව Pocket Litter විසින් පෙන්වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කෙරුවේය. Pocket litter යනු මිනිසුන් තම සාක්කුවල රැගෙන යන අහඹු දේවල් සඳහා වන යෙදුමයි. ඔහුගේ ව්‍යාජ මිලිටරි හැඳුනුම්පත, ග්‍රීසිය ආක්‍රමණය කිරීමේ මිත්‍ර පාක්ෂික සැලසුම් ගැන ඉඟි කරන මිලිටරි ලේඛන, රඟහලක් සඳහා රිසිට් පතක්, විවාහ ගිවිස ගැනීමේ මුද්දක්, බැංකුවෙන් අයිරා ලිපියක් (Overdraft Letter) සහ ඔහුගේ පෙම්වතිය වූ පෑම්ගේ ඡායාරූපයක් සහ ආදර ලිපියක් ඇතුළත් විය. ඒජන්සියේ සේවය කෙරූ ලේකම් කෙනෙකු වූ ජීන් ලෙස්ලි මේ සදහා තම ඡායාරූපයක් ලබා දීමට එකඟ විය.

ජීන් ලෙස්ලි

නමුත් අවසාන වශයෙන් ඔවුන් හට ඉතා වැදගත් ලිපියක් ලිවීමට තිබුණි. ඒ ග්‍රීසියට එල්ල කරන ඒකාබද්ධ ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ප්‍රහාරය හෙළිදරව් කරන ජෙනරාල්වරයෙකුගේ හමුදා සන්නිවේදන ලිපිය විය. මෙම ලිපියේ වැඩ කටයුතු මාසයකට වැඩි කාලයක් ගත වූ අතර අසාර්ථක ලිපි බොහොමයක් එවන් සහ මොන්ටාගු විසින් ලිවීමෙන් පසුව ඔවුන් තමන්ගේ ජෙනරාල්වරයා හටම එම ලිපිය ලිවීමට සලස්වා ඇත. ලිපියේ ඇහිබැමක් සගවා තබා ඇත. සැලැස්ම නිවැරදිව ක්‍රියාත්මක වූයේ නම්, ලේඛන ඔවුන් වෙත ආපසු ලබා දෙනු ඇත. එවිට ඔවුන් පරික්ෂා කිරීමෙදී ඇහිබැම නැති වී ඇති නම් කවුරුන් විසින් හෝ ලියුම් කවරය ඇර ඇති බවට ඔවුන්ට තහවුරු කර ගත හැකිය.

රහසිගත ලිපිය

ඔවුන්ට ග්ලින්ඩ්වර් මයිකල් සහ ජීන්ගේ ඡායාරූපය, පැළඳ සිටින නිල ඇඳුම, ආදර ලිපි, මියගිය නිළධාරියාගේ යට ඇඳුම්, ඉතා වැදගත් හමුදා ලියවිල්ල සහ Pocket Glitter ස්පාඤ්ඤයට ගෙන ඒමට අවශ්‍ය වූ අතර ඔවුන්ට එය ඉක්මනින් කිරීමට අවශ්‍ය වූයේ මේජර් විලියම් මාටින්ගේ ශරීරය කුණු වීම ආරම්භ වූ බැවිනි. මෙම අවස්ථාවේදී MI5 සංවිධානය තුල එක්සත් රාජධානියේ වඩාත් ප්‍රසිද්ධ රේස් කාර් රියදුරෙකු සේවය කළේය. ජැක් හෝස්ෆෝල් (Jack Horsfall) නම් වූ එම රියදුරා බ්‍රිතාන්‍ය බුද්ධි අංශ විසින් බදවා ගෙන තිබුණේ එහි නියෝජිතයින් හට කොතැනකට හෝ ගොස් ඉක්මනින් පිටවීමට අවශ්‍ය වූ විට සේවය ලබා ගැනීමටය.

ජැක් හෝස්ෆෝල් 

මෙවර ඔහුට සිදු වූයේ චාල්ස් සහ මොන්ටාගු එංගලන්තයේ සිට ස්කොට්ලන්තයට රහස් පැකේජයක් සමග ප්‍රවාහනය කිරීමය. ස්කොට්ලන්තයේදී මොන්ටාගු සහ චාල්ස් හට සබ්මැරීනයක් මුණගැසෙන අතර එය ස්පාඤ්ඤයේ නිශ්චිත ස්ථානයකට විලියම් මාටින්ව ගෙන යෑම කරනු ඇත. ග්ලින්ඩ්වර් මයිකල් ගේ දේහය මේ සඳහාම නිර්මාණය කරන ලද විශේෂ කන්ටේනරයක තැන්පත් කර තිබුණි. එය වියළි අයිස්වලින් පිරුණු තුනී මිනී පෙට්ටියක් විය. මෙය ශරීරය සිසිල්ව තබා ගැනීමට සහ වියෝජන ක්‍රියාවලිය මන්දගාමී කිරීමට මෙන්ම එය රහසිගතව තබා ගැනීමට උපකාරී විය.

ජර්මානු ඔත්තුකරුවන් විසින් ඔවුන්ව දැකීමේ අවදානම මගහැරීම සඳහා එක රැයකින් ගමන් කිරීමට තීරණය කළ නමුත් ඒ වන විට එක්සත් රාජධානියේ රාත්‍රී කාලයේ ගමනා ගමනය දැඩි ලෙස අවහිර වී තිබුණි. සෑම රාත්‍රියකම නගර වල ආලෝකය නැති කෙරුවේ ජර්මානු බෝම්බකරුවන්ට අහසේ සිට එම නගර හඳුනා ගැනීම දුෂ්කර කිරීමට ය. මෙයින් අදහස් කළේ සියලුම වීදි ලාම්පු නිවා දමා තිබූ අතර සියලුම වාහන ප්‍රධාන ලාම්පු ආවරණය කළ යුතු බවයි.

කෙසේ වෙතත්, ජැක් හෝස්ෆෝල් දුර්වල ඇස් පෙනීමක් තිබූ පුද්ගලයෙකු වූ අතර කණ්නාඩි පැළඳීම ඔහු ප්‍රතික්ෂේප කළේය. ඔහු සෑම විටම ඉතා හොඳින් ඇඳ පැළඳ සිටි නිසා හෝර්ස්ෆෝල් කණ්නාඩි පැළඳ සිටියේ නැත. ඔහු මාටිනී කොක්ටේල් වලට කැමති වූ අතර ජේම්ස් බොන්ඩ් මෙන් ඇස්ටන් මාටින් හි රිය පැදවීමට ප්‍රසිද්ධ විය. ජේම්ස් බොන්ඩ් යනු ජැක් හෝස්ෆෝල් ඇතුළු ඉයන් ෆ්ලෙමින් දැන සිටි සැබෑ මිනිසුන් මත පදනම් වූ සංයුක්ත චරිතයකි. එංගලන්තයේ සිට ස්කොට්ලන්තය දක්වා එක රැයකින් ගමන් කළ ගමන පිස්සුවක් වූ අතර අනතුරුක් සිදු වීමට සමීප වූ අවස්ථා කිහිපයක් ඇතුළත් වූ නමුත් ඔවුන් නියමිත වේලාවට ස්කොට්ලන්තයට පැමිණියහ.

ජේම්ස් බොන්ඩ්

ස්කොට්ලන්තයේ දී ඔවුන් HMS Seraph සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය හමුවී දෘශ්‍ය උපකරණ (Optical Instruments) ලෙස ලේබල් කර තිබූ ඔවුන්ගේ සැක කටයුතු විශාල කන්ටේනරය සබ්මැරීනයට පැටවූහ. 1943 අප්‍රේල් 30 වැනි දින හිමිදිරි උදෑසන සබ්මැරීනය එහි ගමනාන්තයට ළඟා විය. HMS Seraph සබ්මැරීනයේ සිටි නිලධාරීන් ග්ලින්ඩ්වර් මයිකල් වෙනුවෙන් කෙටි අවමංගල්‍ය උත්සවයක් සිදු කළ අතර පසුව ඔහුගේ සිරුර බ්‍රීෆ්කේසය සමඟ වතුරට දැමූහ. එවිට සබ්මැරීයේ ප්‍රචාලක (Propellers) මගින් ශරීරය වෙරළ දෙසට ගෙන යා හැකි ආකාරයෙන් ස්ථානගත කර එන්ජිම ක්‍රියාත්මක කෙරූවේය.

HMS Seraph 

ඔවුන්ගේ අවසන් කාර්ය වූයේ සිරුර ගෙන ආ කන්ටේනරය ගිල්වා දැමීම වූ අතර මෙය මින්ස්මීට් මෙහෙයුම මුහුණ දුන් විශාලතම බාධාව බවට පත් විය. විශේෂ කන්ටේනරයේ සිසිලන පද්ධතියේ කොටසකට වායු සාක්කු (Air Pockets) ඇතුළත් වූ අතර එම නිසා එය ජලයේ තැබූ විට පාවී ගියේය. ඔවුන් එයට වෙඩි තැබීමට උත්සාහ කළ නමුත් එය ගිලුනේ නැත. ඔවුන්ට එය ගිල්වීමට නොහැකි නම් මෙය විශාල ප්‍රශ්නයක් වනු ඇත. මේජර් විලියම් මාටින්ගේ සිරුර වෙරළට ආ පසු වෙඩි උණ්ඩවලින් පිරුණු අමුතු මිනී පෙට්ටියක් වෙරළට පැමිණීම ගැන සිතන්න. එමගින් ස්පාඤ්ඤ ජාතිකයන්ගේ සැකය අවුස්සනු ඇත. ඒ නිසා Seraph කණ්ඩායම එය පුපුරවා හැරීමට තීරණය කළහ. පිපිරුම ඝෝෂාකාරී වූ නමුත් අවසානයේ කන්ටේනරය ගිලී ගිය අතර මේජර් මාටින්ගේ සිරුර වෙරළට පැමිණියේය.

1943 අප්‍රේල් 30 වැනි දින උදෑසන 9.30 ට පමණ ස්පාඤ්ඤයේ වෙල්වා හි ධීවරයෙකු විසින් රාජකීය නාවික හමුදාවේ මේජර් විලියම් මාටින්ගේ දේහය සොයා ගන්නා ලදී. මෙම ප්‍රදේශය ඔවුන් තෝරා ගත්තේ එය ඇඩොල්ෆ් ක්ලවුස්ගේ (Adolf Klaus) නිවසට ආසන්න වූ නිසාය. ක්ලවුස් යනු කුප්‍රකට ජර්මානු ඔත්තුකරුවෙකු වූ අතර ඔහු ව්‍යාජ ලේඛන ජර්මානුවන් විසින් දැක ඇති බවට වග බලා ගැනීම සඳහා අත්‍යවශ්‍ය චරිතයක් විය. මෘත දේහය සොයාගත් ධීවරයා ස්පාඤ්ඤ බලධාරීන් මගින් ස්පාඤ්ඤයේ බ්‍රිතාන්‍ය කොන්සල් කාර්යාලයට දැන්වීම සිදු කර සියුම් රාජ්‍යතාන්ත්‍රික නර්තනයක් (Diplomatic Dance) ආරම්භ කළේය.

ඇඩොල්ෆ් ක්ලවුස්

මේජර් විලියම් මාටින්ගේ මරණය පිළිබඳ පුවත නිල බ්‍රිතාන්‍ය නාලිකා හරහා ගමන් කිරීමට ප්‍රමාණවත් කාලයක් ගත වූ පසු බ්‍රිතාන්‍යය මාටින්ගේ බෑගය ඉල්ලීම සිදු කරන ලදී. බ්‍රීෆ්කේසය ආපසු ලබා දෙන ලෙස ඉල්ලීමෙන් එය ස්පාඤ්ඤ ජාතිකයන් සහ ජර්මානුවන් හට මෙහි යමක් ඇති බවට සංඥාවක් ලබා දෙයි. නමුත් ජර්මානුවන්ට ලබා ගැනීමට පෙර ස්පාඤ්ඤ ජාතිකයින් බ්‍රීෆ්කේසය ආපසු ලබා දිය හැකි තැනට ඔවුන්ව දැඩි ලෙස තල්ලු කිරීමද සිදු කළ නොහැකිය.

ග්ලින්ඩ්වර් මයිකල් ඇත්ත වශයෙන්ම දියේ ගිලීමෙන් හෝ කම්පනයකින් හෝ තුවාල වීමෙන් හෝ නිරාවරණයකින් මිය ගොස් නැත. ඔහු මිය ගියේ මී වස ශරීරගත වීමෙන්ය. සවිස්තරාත්මක මරණ පරීක්ෂණයකින් යම් දෙයක් සිදු වී ඇති බව නිසැකවම හෙළි වනු ඇත. නමුත් මේ වන විට සිරුරේ දුර්ගන්ධය කෙතරම් වැඩි ද යත්, මින්ස්මීට් මෙහෙයුම ගැන දැන සිටි බ්‍රිතාන්‍ය උප කොන්සල්වරයාට මරණ පරීක්ෂණය කෙටියෙන් ඉවර කර ගැනීමට හැකි විය. දින කිහිපයකට පසු මේජර් විලියම් මාටින්ගේ අවමංගල්‍ය උත්සවයක් පැවැත්විණි. ඔහුව සම්පූර්ණ හමුදා ගෞරව සහිතව ස්පාඤ්ඤයේ මිහිදන් කරන ලදී. මෙම අවමංගල්‍ය උත්සවයේ සිටි ශෝකයට පත් වූ පිරිස අතර ජර්මානු ඔත්තුකරු ඇඩොල්ෆ් ක්ලවුස් ද විය.

විලියම් මාටින්ගේ සොහොන් කොත

මේජර් විලියම් මාටින්ගේ ශරීරය ස්පාඤ්ඤයට පැමිණීම ගැන ඇඩොල්ෆ් දැන සිටි අතර ඒ වන විටත් ලේඛනවල පිටපතක් ලබා ගැනීමට ඔහු කටයුතු කරමින් සිටියේය. එය සදහා සති එකහමාරක් ගත වූ නමුත් අවසානයේ ලේඛන ජර්මානුවන් අතට පත් විය. ලියුම් කවරයෙන් ලිපිය ලබා ගැනීම සඳහා ජර්මානුවන් තුනී කම්බියක් ඇතුළු කර ලිපිය තදින් අකුළන ලදී. ලියුම් කවරයේ කුඩා නැමීමකින් පරිස්සමෙන් එය ඉවතට ගන්නා ලදී. එය වේලා, පිටපත් කර, නැවතත් වයර් එක වටේ කරකවා, ඉටි සීල් එක නොකැඩෙන ලෙස ලියුම ආපසු කවරයට දැමීය. පසුව එය මුහුදු ජලයේ පොඟවා ආපසු ලබා දෙන ලදී. ඉන්පසු ඔවුන් ව්‍යාජ ලියකියවිලි වල තොරතුරු හිට්ලර් වෙත ලබා දුන්නේය.

ඇඩොල්ෆ් හිට්ලර් 

1943 ජුලි 9 වන දින, ඔපරේෂන් හස්කි ලෙස සංකේත නාමයෙන් හඳුන්වන ලද ඒකාබද්ධ ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ආක්‍රමණය සිසිලියේදී ආරම්භ විය. මිත්‍ර පාක්ෂික හමුදා හට කුණාටු සහිත කාලගුණයකට මුහුණ දීමට සිදු වූ නමුත් ඔවුන්ට මුහුණ දීමට සිදු වූ ජර්මානු ප්‍රහාරය ඉතා අඩු විය. ග්‍රීසිය ආක්‍රමණය කිරීමට පැමිණෙන හමුදා සදහා මුහුණ දීමට ජර්මානුවන් ඉතා කාර්යබහුලව සුදානම් වී සිටියේය. හිට්ලර් මින්ස්මීට් මෙහෙයුම සම්පූර්ණයෙන්ම විශ්වාස කර තිබුණි. සටනේ පළමු සතිය තුළ බ්‍රිතාන්‍යයන් දස දහසක් මිය යෑම හෝ තුවාල වීම සිදු වනු ඇතැයි අපේක්ෂා කළ නමුත් මියගියේ 1400 ක් පමණි. මෙම මෙහෙයුමේදී නැව් 300 අහිමිවනු ඇතැයි නාවික හමුදාව අපේක්ෂා කළ නමුත් ඔවුන්ට අහිමි වූයේ නැව් 12 ක් පමණි. මෙහෙයුම අවසන් වන දිනය ලෙස දින 90ක් පුරෝකථනය කළද මෙහෙයුම දින 37 කින් අවසන් විය.

ඔපරේෂන් හස්කි

මින්ස්මීට් මෙහෙයුම දැන් ඉතිහාසයේ යුධ කාලීන රැවටීමේ ශ්‍රේෂ්ඨතම කථාංගයක් ලෙස සලකනු ලබන අතර දෙවන ලෝක යුද්ධයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස පුළුල් ලෙස ගෞරවයට පාත්‍ර වේ. නමුත් මෙම සාර්ථක මෙහෙයුම නිසා අඳුරු අතුරු ආබාධයක් ඇති විය. එය ඔත්තු බැලීමේ නව යුගයක් ආරම්භ කළේය. එය රැවටීම කෙරෙහි අවධානය යොමු කළ බුද්ධි මෙහෙයුම්වල පැන්ඩෝරා පෙට්ටියක් විවෘත කළේය. එහෙත් රැවටීමේ ඉලක්ක තවදුරටත් සතුරු හමුදා නොවීය. ඉලක්කය දැන් සිවිල් වැසියන් විය. 1942 දී ඇමරිකානු එක්සත් ජනපද හමුදාව OSS ආයතනය නිර්මාණය කළේය.

උපාය මාර්ගික සේවා කාර්යාලය ලාංජනය

"උපාය මාර්ගික සේවා කාර්යාලය (The Office Of Strategic Services)"

මෙය MI6 අනුකරණය කරන ලද බුද්ධි ආයතනයකි. යුද්ධයෙන් පසු OSS ආයතනය විසුරුවා හරින ලදී. නමුත් 1947 දී ඇමරිකානු එක්සත් ජනපදය නව බුද්ධි ඒජන්සියක් නිර්මාණය කරන ලදී.

"CIA"

CIA ලාංජනය

තාක්‍ෂණිකව ගත් කල CIA යනු ලොව පුරා ජාතික ආරක්‍ෂක තොරතුරු එක්රැස් කිරීම, සැකසීම සහ විශ්ලේෂණය කිරීම භාර සිවිල් ආයතනයකි. නමුත් CIA මෙහෙයුම් සරල බුද්ධි රැස්කිරීම් වලට වඩා නිර්මාණාත්මක සහ වංචනික ඒවා විය. 1953 දී AJAX මෙහෙයුම හරහා ඉරාන රජය පෙරලා දැමීමට CIA සංවිධානය උදව් විය. 1954 දී PB මෙහෙයුමේ සාර්ථකත්වය ගෝතමාලාවේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපති බලයෙන් පහ කළේය. සිරියාව, ඉන්දුනීසියාව, බ්‍රසීලය, නිකරගුවාව, හයිටි, උරුගුවේ, පැනමාව සහ තවත් බොහෝ රටවල් වල CIA සංවිධානය විසින් කුමන්ත්‍රණ කිරීමට උත්සාහ කළහ. එම රටවල් වල තේරී පත් වූ නායකයින් ඉවත් කිරීමටත්, ඇතැම් අවස්ථාවල එම නායකයින් ඝාතනය කිරීමටත් ඔවුන් උත්සහ කරන ලදී.

AJAX මෙහෙයුම

1962 දී සිදු වූ කියුබානු මිසයිල අර්බුදය සෑම ඇමරිකානු පාසලකම උගන්වනු ලැබේ. එය සෝවියට් ආක්‍රමණය සහ ජනාධිපති JFK ගේ නිර්භීතකම පිළිබඳ කතාවකි. නමුත් උගන්වා නැති දෙය නම් මෙම අර්බුදයට පෙර වසරවලදී CIA සංවිධානය විසින් මියාමි හි මෙහෙයුම් කාර්යාලයක් ස්ථාපිත කළ බවයි. මියාමි සිට JM මෙහෙයුම දියත් කරන ලදී. කියුබානු පිටුවහල් කරන්නන් CIA සංවිධානය විසින් නියෝජිතයන් ලෙස ක්‍රියා කිරීම සඳහා බඳවාගෙන පුහුණු කරන ලදී. එම නියෝජිතයන් වසර ගණනාවක් ආර්ථික හා සිවිල් ඉලක්ක මත ත්‍රස්තවාදයේ පුළුල් ව්‍යාපාරයක නිරත විය. සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් මිය ගිය අතර කියුබාවේ මිසයිල තැබීමට සෝවියට් සංගමය තීරණය කිරීමට මෙය ප්‍රධාන සාධකයක් විය. මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය වසර ගණනාවක් පැවතුනි. 1976 දී කියුබානා 455 ගුවන් යානය බෝම්බයකින් විනාශ වූ අතර එහි සිටි 73 දෙනාම මිය ගියහ. මේ පිළිබදව CIA සංවිධානය පිළිබඳ වහාම සැක කළ නමුත් ස්වාභාවිකවම ඔවුන් එය ප්‍රතික්ෂේප කළේය. නමුත් 2007 දී ස්වාධීන පර්යේෂණයකින් මෙම බෝම්බ හෙලීමට CIA සංවිධානය සම්බන්ධ බව තහවුරු කළේය.

කියුබානු මිසයිල අර්බුදය 

වියට්නාම් යුද්ධයේදී CIA සංවිධානය ෆීනික්ස් වැඩසටහන දියත් කළේය. ‍මෙම වැඩසටහන සැලසුම් කර ඇත්තේ වියට් කොන්ග් කණ්ඩායම ඇතුල්වීම, ඝාතනය කිරීම, ත්‍රස්තවාදය සහ වධහිංසා පැමිණවීම් මගින් හඳුනාගෙන විනාශ කිරීමටය. අපයෝජනයට ලක් වූ වධහිංසා සහ මිනීමැරුම් හෙළිදරව් වීමෙන් පසුව ෆීනික්ස් වැඩසටහන වසා දමන ලදී.

ෆීනික්ස් වැඩසටහන

කොන්ඩෝර් මෙහෙයුම වසර 20 කට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ අතර එය දකුණු ඇමරිකාවේ සෑම සමාජවාදී නායකයකුගේම ඝාතනය සහ පෙරලා දැමීම අරමුණ කරගත් වැඩසටහනකි. එල් සැල්වදෝරයේ ඝාතන කණ්ඩායම් සංවිධානය කිරීමට, පුහුණු කිරීමට සහ අරමුදල් සැපයීමට වසර 30 කට වැඩි කාලයක් CIA උදව් කළ බව පෙන්වීමට බලගතු සාක්ෂි ඇත.

කොන්ඩෝර් මෙහෙයුම

MK Ultra යනු නීති විරෝධී මානව අත්හදා බැලීමේ වැඩසටහනකි. මේ ගැන වැඩිපුර කියවන්න මෙම ලිපියට යන්න.

මනස පාලනය කරන ආකාරය සෙවූ CIA රහස් ව්‍යාපෘතිය... LSD සහ MK-Ultra
කොරියානු යුද්ධය අවසානයේදී, නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් කොමියුනිස්ට් මොළ සෝදන්නන් (Brainwashers) විසින් ආපසු පැමිණෙන ඇමරිකානු සොල්දා

1980 ගනන් සහ 1990 ගණන් වලදී CIA යනු ලොව විශාලතම නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණය කිරීම සිදු කෙරූ සංවිධානයක් විය. මෙය චෝදනාවක් පමණක් වුවද මෙහි සොයා බැලීමට කතාවක් ඇත.

මින්ස්මීට් මෙහෙයුම විශිෂ්ට සාර්ථකත්වයක් ලැබූ මෙහෙයුමක් ලෙස සැලකේ. දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර පාක්ෂික ජයග්‍රහණයට තුඩු දුන් ප්‍රධාන හේතුවක් විය. එය බොහෝ විට මිලියන ගණනකගේ ජීවිත බේරා ගත් අතර එය සත්‍යයක් බව මම විශ්වාස කරමි. නමුත් යුද්ධයේ අළුවලින් සහ OSS ආයතනයේ සාර්ථකත්වයෙන් ධෛර්යමත් වූ CIA සංවිධානය වෙනත් යථාර්ථයක් විය.

දැන් CIA සංවිධානය සහ එහි ආරක්ෂකයින් පවසනු ඇත්තේ "ඔව් වැරදි සිදු වූ නමුත් ඒජන්සියේ අවසාන ඉලක්කය වන්නේ ඇමරිකානු ජීවිත සහ විදේශයන්හි ඇමරිකාවේ උනන්දුව සහිත වත්කම් ආරක්ෂා කිරීම" වන අතර එය එක්සත් ජනපදය ලෝකයාට ඉගැන්වූ දෙයයි. සෑම චිත්‍රපටයකම CIA සංවිධානය පිළිබඳ අපට පෙන්වන්නේ එයයි. එම චිත්‍රපට ප්‍රචාරයට පෙර CIA සංවිධානය විසින් අනුමත කළ යුතුය. නමුත් CIA සංවිධානය නපුරු මෙවලමක් ලෙස සලකන මිනිසුන් ලොව පුරා සහ ඉතිහාසය පුරා සිටිති. CIA සංවිධානය යනු මිනිසා විසින් මෙතෙක් නිර්මාණය කෙරූ වඩාත්ම දුෂ්ට සංවිධානය බව දහස් ගණනක් සමහර විට මිලියන ගණනක් පවසනු ඇත.

CIA සංවිධානයේ අනුමැතිය ලැබූ චිත්‍රපට මාලාවක්

"ඒක එහෙමයි කියලා හරි, ඒක එහෙම නැහැ කියලා හරි මම කියන්නේ නැහැ. මම කියන්නේ හැම කතාවකම දෙපැත්තක් තියෙනවා කියලා විතරයි."

ඉතින් CIA කියන්නේ වීරයෙක්ද?

එහෙමත් නැතිනම් දුෂ්ටයෙක්ද?

හොඳයි, ඒ සියල්ල රඳා පවතින්නේ ඔබ වාඩි වී සිටින්නේ කුමන පැත්තේද යන්න මතය. CIA සංවිධානය සිදු කර ඇති බියකරු අපචාර, සාහසික ක්‍රියා සහ අද එම ආයතනය යොදා ගෙන කරන දේශපාලන අවිකරණය සැලකිල්ලට ගත් විට, අවම වශයෙන් CIA සංවිධානය ව්‍යුහගත වී ඇති ආකාරය යහපතට වඩා හානියක් කරන බව නොරහසකි.

Latest