Skip to content

ඕමානය සහ සෞදි අරාබිය හවුති කැරලිකරුවන් සමඟ සාම සාකච්ඡා පැවැත්වීම සඳහා යේමනයේ අගනුවර කරා පැමිණෙයි

යේමනයේ අට වසරක යුද්ධය අවසන් කිරීම සඳහා සෞදි අරාබියේ නියෝජිත පිරිසක් යේමනයේ අගනුවර වන සානා වෙත පැමිණ තිබේ. ඕමානය විසින් මේ ස්ථිර සටන් විරාමය පිළිබඳ සාකච්ඡාව මෙහෙය වීම සිදු කරයි. මෙම නියෝජිත පිරිස හවුති සංවිධානයේ නියෝජිතයන් සමඟ රැස්වීම් පැවැත්වීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙයි.

චීනය විසින් මැදිහත් වූ ගනුදෙනුවක කොටසක් ලෙස සෞදි අරාබිය සහ ඉරානය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට එකඟ වීමෙන් පසුව මෙම සාම සාකච්ඡා පිළිබඳ කතිකාවත නිර්මාණය වී ඇත. සෙනසුරාදා යේමනයේ හවුති කැරලිකරුවන් සහ සෞදි අරාබිය සිරකරුවන් හුවමාරු කර ගැනීමක් පවා සිදු විය. එක් සෞදි සිරකරුවෙකු වෙනුවට හවුති රැඳවියන් 13 දෙනෙකු මෙම හුවමාරුවෙන් ලබා දී ඇත.

දෙපාර්ශවය අතර ඇති වූ ගැටුමෙන් 400000 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති අතර තවත් මිලියන ගණනක් අවතැන් වී ඇත.

2011 දී යේමනයේ ජනාධිපති අලි අබ්දුල්ලා සාලේ නියෝජ්‍ය නායකයා හට තම බලය ලබා දුන් පසු නැගී ආ අස්ථාවරත්වය සහ දේශපාලන බෙදීම් වලින් පසුව හවුති කැරලිකරුවන් විසින් 2014 දී සානා අගනුවර අල්ලා ගෙන නව රජයක් ඉල්ලීම සිදු විය. සෞදි අරාබිය විසින් ජාත්‍යන්තරය පිළිගත් යේමන රජයට සහාය දැක්වීම සඳහා 2016 දී හවුති සංවිධානයට එරෙහිව හමුදා මෙහෙයුමක් දියත් කිරීම සිදු කර ඇත.

යේමන රජය සහ කැරලිකරුවන් අතර එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයෙන් සාකච්ඡා කුවේටයේ දී ආරම්භ වූ නමුත් එයින් ඔවුන් අතර සටන නතර වූයේ නැත.ඉන් පසුව 2017 හවුති කැරලිකරුවන් විසින් ඉරානයේ සහාය ඇති බවට විශ්වාස කරන ලද හිටපු ජනාධිපති අලි අබ්දුල්ලා සාලේ තම කණ්ඩායම සමඟ සබඳතා බිඳ දැමීමෙන් පසුව මරා දැමීම සිදු විය. වසරකට පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කෙරූ සාකච්ඡා වල ප්‍රගතිය හේතුවෙන් දෙපාර්ශවය අතර සටන් විරාමයක් ඇති වුනත් එය තිබුණේ මාස හයකට ආසන්න කාලයක් පමණි.

Latest