Skip to content

රුසියාවෙන් සංචාරකයින් ලක්ෂයක් ඇවිත්.

රුසියාවේ මොස්කව් නුවර සිට ඍජු ගුවන් ගමන් මගින් එරටට අයත් ගුවන් සේවා තුනකින් ගෙවී ගිය මාස 09 ක කාලය තුලදී රුසියානු සංචාරකයන් ලක්ෂයක් පැමිණීම වෙනුවෙන් විශේෂ උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ දී සංවිධානය කොට තිබුණි.

2022 වසරේ ඔක්තෝබර් මස 02 දින සිට 2023 ජූලි මස 17 දින දක්වා මෙසේ රුසියානු සංචාරකයන් ලක්ෂයක පිරිසක් පැමිණ තිබුණු අතර එසේ ලක්ෂය වැනි සංචාරකයා රැගත් රුසියාවේ ජාතික ගුවන් සේවය වන එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ.- 288 දරන ගුවන් යානය රුසියාවේ මොස්කව් නුවර සිට 17 උදෑසන 10.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

පසුගිය වසරේ 2022 ඔක්තෝබර් මස 02 දින රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවය සහ එම වසරේ 2022 නොවැම්බර් මස අසූර් එයාර් ( Azur Air ) ගුවන් ගමන් සම්බන්ධතා කටුනායක ගුවන් තොටුපොළ සමග ආරම්භ කළ අතර පසුව  2022 දෙසැම්බර් මාසයේ රෙඩ් වින්ග්ස් (Red Wings) ගුවන් සේවය මත්තල ගුවන් තොටුපොළ සමග ගුවන් ගමන් ආරම්භ කරනු ලැබීය.

රුසියාවේ මොස්කව් නුවර සිට එරොෆ්ලොට් ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි රුසියානු සංචාරකයන් ලක්ෂයේ පිරිස පිළිගැනීම ගැනීම සදහා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් (Levan Dzhagaryan), සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා සංචාරක සම්මුති කාර්යාංශයේ සභාපති තිසුම් ජයසූරිය, ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් රයිසන් සමාගමේ සභාපති තිලක් වීරසිංහ , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ (මහජන සබඳතා) මධුභානී පෙරේරා , රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග, සංගීත ශිල්පි ඉරාජ් වීරරත්න ඇතුළු ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Latest