Skip to content

ඔබ අයත් වන්නේ කුමන කුළකයටද.?

අපේ රටේ ඡන්ද බලය හිමි වන්නේ වයස අවුරුදු 18 සම්පූර්ණ වීමෙන් අනතුරුවය.ඡන්දය හීමි වීමෙන් පස්සේ බොහෝ දෙනෙකු සිතන්නේ දැන් ඉතිං සියල්ල හරි කියාය.තමන්ට දැන් යමක් කරන්නට හැකි බවය.ඊට හේතුව වන්නේ රට කරවන ඇත්තන්ගේ සිට ගම කරවන ඇත්තන්ද පත් වන්නේ මහජන ඡන්දයෙන් වන නිසාය.

නමුත් අපේ රටේ සිටින ඡන්ද දායකයින් කොටස් 08 කට අයත් වන බව ශ්‍රී ලංකා පරිපාලන ආයතනයේ හිටපු ජේෂ්ඨ උපදේශක මහාචාර්ය ශාන්ත ජයරත්න මහත සදහන් කරයි.

මේ මහාචාර්ය ශාන්ත ජයරත්න මහතා ඡන්ද දායකයින් සම්බන්ධයෙන් අප සමග කළ විග්‍රහයකි.

අපේ රටේ ඡන්ද දායකයින් මතු සඳහන් වන පරිදි වර්ග කළ හැකිය. ඔබ අයත්වන්නේ කුමන වර්ගයටදැයි මෙය විමසිල්ලෙන් කියවා බලා සිතා බලන්න.

1. බලු

2.බළල්

3. කපුටු

4. ගෝත්‍රික

5. රූකඩ

6. මන්දබුද්ධික

7. නරුමවාදී

8. මානව හිතවාදී

අපි දැන් මේවා එකින් එක විග්‍රහ කර ගනිමු.‍

1. බලු ඡන්ද දායකයා

අපි බලමු බල්ලාගේ ගති පැවතුම් කොහොමද  කියල. බල්ලා ආදරය කරන්නේ උගේ හාම්පුතාටය. පදිංචි නිවසට උගේ ඇල්මක් නැත. හාම්පුතා තමා පදිංචි නිවස අතහැර වෙනත් නිවසක පදිංචියට ගිය හොත් බල්ලා ද තම ස්වාමියා සමග අළුත් නිවසට කැමැත්තෙන්ම යයි.  අලුත් නිවස කොහේ ගුබ්බෑයමක තිබුනත් ඌට එය අදාල නැත. බලු ඡන්ද දායකයාට ද එම බලු ගතිය පිහිටා තිබේ. තම නායකයා පක්ෂය අතහැර වෙනත් පක්ෂයකට බැඳුනොත් බලු ඡන්ද දායකයා ද එම පක්ෂය අතහැර නායකයා සමග අළුත් පක්ෂයට යයි. එම පක්ෂයේ ප්‍රතිපත්ති සහ පරමාර්ථ ඔහුට අදාල නැත. ඔහු ඇල්ම දක්වන්නේ තම නායකයාටය.

2. බළල් ඡන්ද දායකයා

බළලාගේ ගති පැවතුම් බල්ලාට වඩා හාත්පසින්ම වෙනස්ය. බළලා ඇල්ම දක්වන්නේ හාම්පුතාට නොව පදිංචි නිවසටය. හාම්පුතා එම නිවස අතහැර වෙනත් නිවසක පදිංචියට ගිය ද බළලා ඔහු සමග අලුත් නිවසට යාමට සූදානම් නැත. වෙනත් පවුලක් එම නිවසේ පදිංචියට පැමිණියහොත් ඔවුන් සමග පැරණි නිවසේම බළලා වාසය කරයි. බළල් ඡන්ද දායකයා ද ආදරය කරන්නේ තම නායකයාට නොව පක්ෂයටය. නායකයා පක්ෂය හැර ගිය පළියට ඔහු පක්ෂය හැර යන්නේ නැත. එය බළල් ඡන්ද දායකයාගේ බළල් ගතියයි.

3. කපුටු ඡන්ද දායකයා

කපුටාට හාම්පුතෙක් හෝ නිශ්චිත නිවසක් නැත. කෑම කොතැන ද ඌ එතැනය. කොතැනකට හෝ ගොස් කාගෙන් හෝ බඩ ගෝස්තරය සොයා ගැනීම උගේ ගතියයි. කපුටු ඡන්ද දායකයාට ද නිශ්චිත පක්ෂයක් හෝ නායකයෙක් නැත. ඔහු බලන්නේ තමන්ගේ වාසිය පමණි. අරක්කු කාලකට බත් පැකට් එකකට උදළු තලයකට ටකරමකට ඔහු යටවෙයි. රටට අනාගත පරම්පරාවට හෙන ගැහුවත් ඔහුට කම් නැත.

4. ගෝත්‍රික ඡන්ද දායකයා

මෙම වර්ගයට අයත් ඡන්ද දායකයින් ඡන්දය පාවිච්චි කිරීමේදී පෙරට ගන්නේ ජාතිය ආගම, කුලය, ගමේ කම, නෑදෑකම, ආදී කාරණාය.

අපේ එකෙක් ඉහළට යන්න ඕනෑ කියා ඔහු සිතයි.

තාත්තාගෙන් පුතාට,සැමියාගෙන් බිරිඳට, අයියාගෙන් මල්ලීට, නායකත්වය යා යුතුයැයි සිතීමද ගෝත්‍රික සංකල්පයකි. ඉන්දියාව ද ගාන්දියාවක් වූයේද එම රටේ ද ගෝත්‍රික ගති පැවතුම් ඇති බහුතරයක් සිටීම නිසාය.

5. රූකඩ ඡන්ද දායකයා

අපේ රටේ බොහෝමයක් දෙනාට තමන් ඡන්දය දැමිය යුත්තේ කවරෙකුට ද?, කවර පක්ෂයකට ද යන්න ගැන ස්වාධීන මතයක් නැත. ඔවුන් කවරෙකුගේ හෝ බලපෑමකට යටවෙයි. බොහෝ දුරට මෙම තත්වයට පත්වී සිටින්නේ කාන්තාවන්ය. ඔවුන්ට දේශපාලනය ගැන උනන්දුවක් නැත. පත්තරයක් අතට ගත්තත් ඔවුන් තෝරා ගන්නේ කාන්තා තීරුවය. ඔවුන්ගේ  අවධානය යොමුවෙන්නේ හැට්ට පතොරමක් හෝ ඇඳුම් මෝස්තරයක් වෙතය. අවිවාහක කාන්තාවක් නම් ඡන්දය පාවිච්චි කරන්නේ තාත්තා කියන හැටියටය. විවාහක කාන්තාවක් නම් ස්වාමිපුරුෂයා කියන හැටියටය. වියපත් අම්මලා  ඡන්දෙ දමන්නේ දරුවන්ගේ මතයටය. මා මැතිවරණ රාජකාරියේ යෙදී සිටි ඡන්ද පොළකදී සිදුවීමක් මගේ මතකයට නැගෙයි. එම ඡන්ද පොළට පැමිණි  එක්තරා වැඩිහිටි කාන්තාවක් මහත්තයෝ මගේ අත වෙවුලනවා.මේකෙ කතිරෙ ගහල දෙන්නැයි මගෙන් ඉල්ලා සිටියාය. එවිට පිරිමි පෝලිමේ සිටි වැඩිහිටි පිරිමියෙක්  මහත්තයෝ ඔය මගේ පවුල. අහවලාට කතිරෙ ගහන්නැයි හඬනගා කීවේය. ඔහු ඡන්දය දැම්මාට පසු ඡන්ද පොළෙන් පිටතට යවා අර වැඩිහිටි කාන්තාවට ලං වී කතිරය ගහන්නට ඕනෑ කාටදැයි රහසින් ඇසුවෙමි. ඇය බොහෝම රහසින්  ඒ නම කීවාය. ඇයට කතිරය ගැසීමට වුවමනා වී තිබුනේ අහවලාට නොව අහවලීටය. සමහරු ආගමික නායකයින්ගේ රූකඩ බවට පත්වී සිටිති. තවත් සමහරු ප්‍රභූවරුන්ගේ රූකඩ බවට පත්වී සිටිති.

මගේ ඡන්ද මෙච්චරක් තියෙනවා ඒ ඔක්කෝම අහවලාට කියමින් සමහරු කටමැත දොඩවන්නේ නිකන්ම නොවේ.

6. මන්දබුද්ධික ඡන්දදායකයා‍

මෙම වර්ගයට අයත් ඡන්ද දායකයින්ගේ  ලක්ෂණ හඳුනා ගැනීම පහසුය. ගායක ගායිකාවන් නළු නිළියන්, ක්‍රීඩකයින්  ඉහළින්ම මනාප ලබා තේරී පත්වෙන්නේ මෙම වර්ගයට අයත් ඡන්ද දායිකයින්ගේ පිහිටෙනි. සමහරු ඡන්දය දැමිය යුතු අපේක්ෂකයා තෝරා ගැනීමේදී සැළකිල්ලට ගන්නා කරුණු වනුයේ ගංවතුර ආධාර බෙදීම, පවුලේ එකෙකුට රක්ෂාවක් ලබා දීම දුවගෙ කොටහළු මගුළට පැමිණීම.අවමගුළට පැමිණීම වැනි දේවල්ය.

7.නරුමවාදී ඡන්ද දායකයා

මෙම වර්ගයට අයත් ඡන්ද දායකයින් සිටින්නේ ප්‍රකාශිත නෙවූ  ඡන්ද සංඛ්‍යාවෙහි සහ නරක් වූ ඡන්ද සංඛ්‍යාවෙහිය. ඔවුහු ඡන්ද පොළට යාමට මැළිකමක් දක්වති. ගියත් ඡන්ද පත්‍රිකාව කටුගා දමති. එහි කුණු හරුප ලියති. "අපට දේශපාලනෙන් වැඩක් නෑ. අපි හම්බකර ගත්තොත් තමයි අපි කන්නේ. ඔතෙන්ට ගිහිල්ලා පෝලින්වල රස්තියාදු වෙනවට වැඩිය  හෙඳයි ඒ කාලෙ වත්තෙ මයියොක්කා දණ්ඩක් හිටව ගන්නෙක. ඔවුන් එල්බගෙන සිටින්නේ එවැනි ආකල්ප වලය. අපේ සෑම දෙයක්ම තීරණය කරන්නේ දේශපාලකයා බව ඔවුන්ට දැනෙන්නේ නැත. අපේ ගෙදර ලයිට් කීයක් පත්තු කරනවද? අපි උයන්නෙ දරවලින් ද? ගෑස්වලින්ද? කරන්ට් එකෙන්ද?   යන්න තීරණය කරන්නේ දේශපලකයාය. කොටින්ම කියනවා නම් අප තව දුරටත් මේ රටේ ඉන්නවාදැයි තීරණය කරන්නේ ද දේශපාලකයාය. ඡන්ද දායකයින් අතුරෙන් නරකම වර්ගයේ ඡන්ද දායකයින්   මොවුන්ය.‍

8. මානවහිතවාදී ඡන්ද දායකයා

අද අපේ රට අගාධයට වැටී තිබෙන්නේ මෙම වර්ගයට අයත් ඡන්ද දායකයින්ගේ හිගකම නිසාය. රට ගැන අනාගත පරම්පරාව ගැන සිතා ඡන්දය පාවිච්චි කරන්නේ මොවුන්ය.

Latest