Skip to content

නුවරඑළියේ අවසර නැතිව කදු නගින්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා - දිසාපති

නුවරඑළිය ප්‍රදේශයේ කදු නැගීම සහ සංචාරය කරන පිරිස් ඒ සදහා පොලීසියෙන් මෙන්ම වන ජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු වලින්ද අවසර ලබා ගැනීම අනිවාර්ය කිරීමට තීරණය කර ඇත.

නුවරඑළිය දිසා ලේකම් නන්දන ගලබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.පසුගියදා නුවරඑළිය දිසා ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට පොලිස්,වන ජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු වල නිලධාරීන්ද එක්ව සිටියේය.

තලවාකැලේ ග්රේට් වෙස්ටන් වතු යායේ තිබී අභිරහස් ලෙස මිය ගිය කාන්තාවක්ගේ මල සිරුරක් පසුගියදා හමු විය.එම කාන්තාව කව්රුන්ද යන්න හෝ මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති පසුබිමක නව තීරණය ගැනීමට දිසා ලේකම්වරයා ඇතුළු නිලධාරීන් කටයුතු කර ඇත.

ඒ අනුව මින් ඉදිරියට නුවරඑළිය ප්‍රදේශයේ කදු නගින්නන් සහ සංචරය කරන පිරිස් ඒ සදහා වන අවසරය අනිවාර්යෙන් ලබා ගත යුතුව ඇත.සංචාරය කරන්නට අදහස් කරන්නන් ඒ සදහා පොලීසියෙන් මෙන්ම වන ජීවී සහ වන සංරක්ෂණ දෙපර්තමේන්තුවෙන්ද තමන්ට අවශ්‍ය අවසරය ලබා ගැනීමට හැකියාව ඇත.එමෙන්ම තම සංචාරය අවසන් කිරීමෙන් අනතුරුව සංචාරකයින් ඒ බව අවසර ලබා ගත් ආයතන වෙත ආපසු දැණුම් දීමද අනිවාර්යෙන් කළ යුතුව ඇත.

අවසර ලබා ගැනීමකින් තොරව කදු නැගීම හෝ සංචාරයක කිරීමට කිසියම් අයෙකු හෝ කණ්ඩායමක් කටයුතු කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙසද දිසා ලේකම්වරයා අදාල නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දී ඇත.

Latest