Skip to content

යතුරු පැදි හොරකමේ ගිය "ලාරා" කොටුවෙයි.

මහ මග ගාල් කර ඇති යතුරු පැදි සොරා ගෙන ගොස් ඒවායේ චැසි සහ ඇන්ජින් අංකය වෙනස් කර අලවි කිරීමේ ජාවාරමක නිරත වූ සැකකරුවෙකුව මොරටුමුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරටුමුල්ල - මෝල්පේ පදිංචි 28 හැවිරිදි අයෙකුවය. සැකකරු මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ජාතික ජනබල වේගය පක්ෂයෙන් නාම යෝජනා පත්‍ර බාර දී තිබු අයෙකු බවටද හදුනා ගෙන ඇත. සැකකරු "ලාරා" නම් අන්වර්ථ නාමයකින් හදුන්වන අයෙකු බවද පොලීසිය කියයි..

චැසි සහ එන්ජින් අංක වෙනස් කර ඇති යතුරු පැදියක් භාවිතා කරමින් සිටින විට පොලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්ණ කිරීමේදී සිදු කර ඇති සොරකම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත.

පිළියන්දල, ගල්කිස්ස, රත්මලාන සහ සෙවනගල යන ප්‍රදේශ වලින් තමන් යතුරු පැදි සොරකම් කළ බව සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත. එසේ සොරකම් කර චැසි සහ එන්ජින් අංක වෙනස් කර අලවි කර තිබූ යතුරු පැදි 08 ක් සහ අමතර කොටස් කීපයක්ද පොලීසිය විසින් සොයා ගෙන ඇත.

මෙම යතුරු පැදි ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ ආරම්භ කර ඇති බව මොරටුමුල්ල පොලීසිය සදහන් කරයි.

Latest