Skip to content

අපිට සිහිනයක් වූ නෝර්වේ ප්‍රජාතන්ත්‍රවාදය

democracy නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදය යන පදය නිර්මාණය වී ව්‍යවහාරයට එකතු වන්නේ  demos සහ kratos යන ග්‍රීක වචනයන්ගෙනි. demos යනු පුරවැසියා යන්න වන අතර  kratos යනු බලය නැතිනම් පාලනය යන්නය. ඒ අනුව democracy යනු පුරවැසියන්ගේ පාලනයයි. නැතිනම් පුරවැසියන්ගේ බලයයි.

යම්කිසි ජාතියක/ රටක ජීවත්වන පුරවැසියන්ට තමන් ජීවත්වන ජාතියේ/ රටේ නීති තීරණය කිරීමට බලය ඇති පාලන ක්‍රමයක් හඳුන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමයක් වශයෙනි. අතීතයේ ලෝකයේ බොහෝ රටවල ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වූව ද අද වන විට ක්‍රියාත්මක වන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයයි. එනම් පුරවැසියන්ට අදාළ තීන්දු තීරණ ගනු ලබන්නේ ජනතා ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයින් ය.

ඉදින් මේ ලෝකයේ රට රටවල ප්‍රජාතන්ත්‍රවාදය මැන බැලීම සිදුකරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයෙන් වන අතර ( democracy index ) එය සිදුකරණු ලබන්නෙ ඉකොනොමිස්ට්  බුද්ධි ඒකක විසිනි. ඔවුන් වාර්ෂික වාර්තාවක් ලෙස මෙය එළිදැක්වීමට ද කටයුතු කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී දර්ශක අගය 0 - 10 දක්වා පරාසයක විහිදෙන අතර දහයට ලංව අගයක් ලබා ගන්නා රටවල් සලකනු ලබන්නේ ඉහළම ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටවල් වශයෙනි. මෙම දර්ශකය සැකසීමේදී ඒ ඒ රටවල මැතිවරණ ක්‍රියාවලිය, බහුත්වවාදය, රජයේ ක්‍රියාකාරීත්වය, දේශපාලන සංස්කෘතිය සහ සිවිල් නිදහස ආදී නිර්ණායක 60 ක් පමණ කාණ්ඩ පහක් යටතේ යොදාගනු ලබයි. මෙසේ ලෝකයේ රටවල් 167 ක පමණ ඉකොනොමිස්ට් බුද්ධි ඒකකය විසින් ප්‍රජාතන්ත්‍රවාදය මැන බැලීමට කටයුතු කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයේ අගය 8.01 සහ 10 අතර පවතින රටවල් සාමාන්‍යයෙන් සළකුණු කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අතින් කිසිම ගැටළුවක් නැති රටවල් වශයෙන් වන අතර 8.01 කට පහළ අගයක් ගන්නා රටවල් ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටළු සහිත රටවල් ලෙස සළකුණු කරයි.

ඉකොනොමිස්ට් බුද්ධි ඒකකයේ වාර්තා වලට අනුව ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතුරින් අංක එකට පත්වන්නේ නෝර්වේ රාජ්‍ය වන අතර පිළිවෙලින් සෙසු ස්ථාන නවසීලන්තයට, ෆින්ලන්තයට, ස්වීඩනයට, අයිස්ලන්තයට සහ ඩෙන්මාර්කයට හිමිව ඇත. ශ්‍රී ලංකාවට හිමිව ඇති ස්ථානය 70 වන අතර අපගේ ප්‍රජාතන්ත්‍රවාදී දර්ශක අගය 6.1 ක් තරම් පහළ අගයකි.

නෝර්වේ රාජ්‍ය ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී බවින් අංක එක වූයේ ඇයි ?

නෝර්වේ රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී බවින් අංක එක වීමට ප්‍රධාන හේතුව ලෙස විචාරකයින් දක්වන්නේ එරට පුරවැසියන් ප්‍රජාතන්ත්‍රවාදය යනු ජීවිතයේම කොටසක් ලෙස සැලකීම බවය. ( democracy is a life style ) ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීම සඳහා අවශ්‍ය ප්‍රධාන සාධක හතර එරට ඉතා  හොඳින් ශක්තිමත් වී ඇත. එනම්

විවිධ දේශපාලන පක්ෂවල සහයෝගීතාවයෙන් යුත් බහුත්වවාදී පද්ධතියක්, නිදහස් සහ සාධාරණ මැතිවරණ ක්‍රියාවලියකින් පසු තම නියෝජිතයින් තෝරා පත්කර ගැනීම සඳහා ජනතාවට අවස්ථාව, රජයේ ඇඟිලි ගැසීම්වලින්, බලපෑමෙන්, බියකින් තොරව නිදහසේ ක්‍රියාත්මක වන මාධ්‍යයක් සහ ජනතාවට වග කියන නියෝජිතයින් පිරිසක් ආදී යහපත් ලක්ෂණ මූලික වශයෙන් නොර්වේ රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ඇත.

නෝර්වීජියානු පුරවැසියන් විශ්වාස කරණු ලබන මූලිකම දෙයක් වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම ඉතාමත් වැදගත් වන බවය. එම නිසා ඔවුන් සිය රටේ සෑම මැතිවරණයකදීම 78% කට ඉහල ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කිරීමට සමත්ව ඇත. මැතිවරණ සඳහා ක්‍රියාත්මක වන ඉතා හොඳ යාන්ත්‍රණයක් ද එරටට පවතින අතර එම නිසා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ගැලවී සිටීමට කිසිවකු උත්සාහ නොකරන බව දේශපාලන  නිරීක්ෂකයින්ගේ මතය වේ.

විශේෂත්වය වන්නේ නෝර්වීජියානු පුරවැසියන් ඡන්දය ප්‍රකාශ කිරීමේදී මහා දේශපලන නායකයින්, දේශපාලන බලවතුන් හෝ මහා පෞරුෂයින් සොයනවා වෙනුවට ඔවුන් මූලිකවම සොයා බලන්නේ තමන් පත් කිරීමට සූදානම්වන නායකයින්‍ට අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකිද යන වගය.

ලෝකයේ කීර්තිමත් දේශපාලන උපදේශකයකු වන torkil vederhus පවසන්නේ නෝර්වේ ප්‍රජාතන්ත්‍රවාදී බවින් ලෝකයේ අංක එක වීමේ සාර්ථකත්වය පසුපස ඇති සැඟව ඇති ප්‍රධාන සාධකය නම් පුරවැසියන් සහ නීති සම්පාදකයින් අතර ඇති ඉතා හොඳ ශක්තිමත් සම්බන්ධතාවය බවය. ඔහු පවසන ආකාරයට " ඔවුන් තම දේශපාලඥයින් යම් ආකාරයක ප්‍රභූ පැලැන්තියේ කොටසක් නොවන බව හඳුනා ගනී. ඔවුන් සාමාන්‍ය මිනිසුන් පමණි "

වසර හතරෙන් හතරට පසු තම ජනතා නියෝජිතයින් තෝරාපත් කර ගැනීම සඳහා අවුරුදු 18 න් ඉහල සෑම නෝර්වීජියානු පුරවැසියෙකු හටම ඡන්දය ප්‍රකාශ කිරීම සිදුකළ හැකි අතර ඡන්ද විමසීම ද ඉතාමත් සාධාරණ සහ සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයින් සහතික කර ඇත. පක්ෂ අරමුදල් සම්බන්ධයෙන් ජනතාවගේ දැනුවත්බාවය සහතික කිරීම සඳහා දේශපාලන වෙළඳ දැන්වීම් එරට පුළුල් ලෙස නියාමනය කර ඇත.

මාධ්‍යය ද ප්‍රායෝගිකවම ස්වාධීන වන අතර සැලකියයුතු බහුවිධ මත නියෝජනය කරයි. ඩිජිටල් මාධ්‍ය සහ විශේෂයෙන් සමාජ මාධ්‍ය වේදිකා දේශපාලන අපේක්ෂකයින් ඇද බැඳ තබා ගැනීමට සමත්වන අතර දේශපාලන ප්‍රචාරණය බොහෝ විට සාම්ප්‍රදායික මාධ්‍යයෙන් ඈත්කර ඇති බවට වාර්තා වේ. සැලකියයුතු ලෙස මැතිවරණ වලදී ජනතාව බහු මතවාද පෙන්නුම්කරන බැවින් අපේක්ෂකයින් ද බොහෝවිට උත්සාහ කරණුයේ අනෙකුත් පක්ෂ සමග ඉතා සහයෝගයෙන් කටයුතු කිරීමටය.

අපේක්ෂකයින් සහ දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටිය ද නෝර්වේ රාජ්‍යයේ ඉතාම සාධාරණ බව සැලකෙන අතර එම ක්‍රියා පටිපාටිය කිසි විටෙකත් මහ ජනතාවගේ විවේචනයට භාජනය වී නැත. නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීම සඳහා විධිමත් අවශ්‍යතාවය වන්නේ පක්ෂයට නමක් සහ ඡන්ද අයිතිය ඇති පුද්ගලයින් 5000 කගේ සහාය පමණි. අප රටේ මෙන්ම ඡන්දයකදී තේරී පත් වූ මංත්‍රීවරයකු හට තම තනතුර අහිමි නොවී පක්ෂය මාරු කිරීමට ද අවස්ථාව හිමි වේ.

මැතිවරණයකදී දේශපාලන පක්ෂවල සහ අපේක්ෂකයින්ගේ දේශපාලන දැන්වීම් ලබා ගැනීමට මුද්‍රිත මාධ්‍යයට සහ සමාජ මාධ්‍යයට අවස්ථාව හිමිවන අතර දේශපාලන දැන්වීම් ගුවන් විදුලියේ සහ රූපවාහිනියේ ප්‍රකාශ කිරීමට අවසර හිමිවන්නේ නැත.

විශේෂයෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සීමා කිරීම පිටුපස ඇති ප්‍රධානතම හේතුව වන්නේ ප්‍රචාරණය පිටුපස ඇති මූලාශ්‍ර පිළිබඳව ඡන්ද දායකයින්ගේ දැනුවත් බව සහතික කිරීමය. රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය මැතිවරණයකදී දේශපාලන ප්‍රචාරණය සිදු නොකළ ද දේශපාලන විවාද සඳහා එරට සෑම පක්ෂයකටම සමාන අවස්ථා ලබා දීමට කටයුතු කරයි.

පෙර සඳහන් කළ පරිදි වයස අවුරුදු 18 හෝ ඊට වැඩි සෑම නෝර්වීජියානු පුරවැසියකු හටම පාර්ලිමේන්තු මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතිය හිමිවන අතර පලාත් පාලන මැතිවරණයකදී අවම වශයෙන් වසර තුනක් නෝර්වේ පදිංචි වයස අවුරුදු 18 ට වැඩි නෝර්වීජියානු නොවන පුද්ගලයින්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි වේ.

සෑම සුදුසුකම් ලත් පුරවැසියකු හටම තැපෑලෙන් එවන ලද ඡන්ද කාඩ් පතක් හිමි වේ. විදේශවල ජීවත්ව සිටින නෝර්වීජියානු පුරවැසියන්ට තම තානාපති කාර්යාල හරහා ද ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි වේ.
පවතින තවත් විශේෂත්වයක් වන්නේ පාසල් තුළ දරුවන් හට ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳව අධ්‍යාපනය පාසල් තුළ අධ්‍යාපනය ලබන අවධියේදීම ලබා දීමය. එමෙන්ම සමහර
මහ නගර සභා සහ පළාත් පාලන මැතිවරණ වලදී ඡන්දය ප්‍රකාශ කිරීම වයස අවුරුදු 16 දී ද අත්හදා බලා ඇත.

නෝර්වේ දේශපාලන පක්ෂවලට මූලික වශයෙන් අරමුදල් සපයනු ලබන්නේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පක්ෂයක් ලැබූ ඡන්ද සංක්‍යාවට සමානුපාතිකව මහජන ආධාර මගිනි. සාමාජික ගාස්තු පක්ෂ සඳහා වැදගත් නොවන අතර විවිධ පක්ෂ සඳහා විවිධ පුද්ගලයින්ගෙන් පුද්ගලික ආධාර ලැබෙන බව ද වාර්තා වේ.

1998 සිට නෝර්වේ දේශපාලන පක්ෂ ඔවුන්ගේ ආදායම් මූලාශ්‍ර පිළිබඳව දළ විශ්ලේෂණයක් ප්‍රකාශයට පත් කිරීමට බැඳී සිටී. කෙසේ වෙතත් 2005 සිට සවිස්තර වාර්තාවක් මේ සම්බන්ධයෙන් අවශ්‍ය වන අතර ඒ සඳහා සියළුම දේශපාලන පක්ෂ ස්වේච්ඡාවෙන් කටයුතු කිරීමට ද අමතක කරන්නේ නැත.

මෙලෙස සඳහන් කරන ලද්දේ කිසියම් රටක ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීම සඳහා බලපාන මැතිවරණ ක්‍රියාදමය සම්බන්ධයෙන් නෝර්වේ රාජ්‍ය පෙන්නුම් කර ඇති සාර්ථකත්වය වන අතර ඉන් පසුව පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නෝර්වේ දක්වන මැදිහත්වීම පිළිබඳව සොයා බැලිය යුතුය.

නීතියේ ආධිපත්‍ය අංක එකෙහි තබා ගනිමින් රටෙහි සියළුම පුරවැසියන්ගේ පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ද නෝර්වේ රාජ්‍ය කටයුතු කරයි. රජයේ සියළුම ආයතන සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ එම අයිතිවාසිකම්වලට ගරු කිරීම වැදගත්කොට සලකයි.

එහිදී නෝර්වේ පුරවැසියකු විධිමත් චෝදනාවකින් තොරව පැය 24 කට වඩා රඳවා තබාගත නොහැක. විමර්ෂනයක් අතරතුරදී සැකකරුවකු සිරගත කිරීමටනම් අධිකරණ තීන්දුවක් අවශ්‍යම වේ. එය වෙනත් බොහෝ රටවලට වඩා නෝර්වේ ඉතා බරපතල ලෙස සලකනු ලබන බව ලෝක සිවිල් ක්‍රියාකාරීන්ගේ නිරීක්ෂණය වී ඇත.

උසාවි වෙත ප්‍රවේශ වීම ද සාමාන්‍ය මහ ජනතාවට ඉතාමත් පහසුවන අතර එරට පුරවැසියන් අධිකරණ පද්ධතිය ඉතාමත් කාර්යක්ෂම සහ සාධාරණ ලෙස සලකයි. යමෙකු අධිකරණයට ඉදිරිපත් කළ නඩුවක් පැරදුණහොත් අනෙක් පාර්ශවයට වැය වූ නඩු ගාස්තු ගෙවීමට ද අවදානමක් පවතී. විශේෂයෙන් මෙම පියවර ගෙන ඇත්තේ නීතිඥයින්ගේ අගය කිරීමකින් තොරව විවිධ පුද්ගලයින් උසාවියට ගෙන එනු ලබන අනවශ්‍ය නඩු කටයුතු වැලක්වීම සඳහා ය.

මෙය අපට තේරෙම්ගත හැකි ආකාරයට පවසන්නේ නම් මෙම පියවර ගෙන ඇත්තේ අප රටේ විවිධ පුද්ගලයින් අධිකරණයට රැගෙන යන ICCPR වැනි නඩු කටයුතු වැලක්වීම සඳහාය. මන්ද එයින් සිදුවන්නේ අධිකරණයේ මෙන්ම පුරවැසියන්ගේ මුදල් සහ කාලය නාස්ති වීමක් වන බැවිනි. අතිශයින් අඩු ආදයම් ඇති පුද්ගලයින් සඳහා අධිකරණ කටයුතු වලදී අරමුදල් සම්පාදනය කිරීම සඳහා රාජ්‍ය වැඩසටහන් ද ඇත.

දේශපාලන නිදහස ද නෝර්වේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ නීතියෙන් ආරක්ෂා වී ඇත. 2004 දී ව්‍යවස්ථාමය සංශෝධානයක් හරහා නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ශක්තිමත් කර ඇත. භාෂණයේ නිදහසට ඇති සීමාවන් ( වෛරී ප්‍රකාශන සහ වෙනස්කොට සැලකීම වැනි ) එරට නීතිය මගින් නියාමනය කොට ඇත. සියළුම පුරවැසියන්ට නෝර්වේ ව්‍යවස්ථාදායක කටයුතු වලට යෝජනා ඉදිරිපත් කිරීමට ද අවස්ථාව සලසා දී ඇත.

ලෝකයේ මානව සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳව ඇති සියළුම ජාත්‍යන්තර සම්මුතීන් ද නෝර්වේ රාජ්‍ය අනුමත කර ඇත. එමෙන්ම මානව හිමිකම් පිළිබඳ යුරෝපීය සම්මුතිය ද සිය ජාතික නීතියට ඇතුළත්කොට ඇති අතර නිදහසේ නමස්කාර කිරීමට සහ සියළුම ආගම් නිදහසේ ඇදහීමට ඇති අයිතිය ද නෝර්වේ තහවුරු කර ඇත.

නෝර්වේ රාජ්‍ය ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතරින් අංක එක බවට පත් වීමට මෙයට වඩා තව ඕනෑතරම් හේතු සාධක පවතින බව ද මෙහිදී සිහිපත් කළ යුතුය. මේ ආකාරයට දක්වන ලද්දේ විශේෂයෙන් අප රටට වැදගත් වන කරුණු කිහිපයකි. මන්ද ශ්‍රී ලංකාව තුළ දැගත නොහැක්කේම යට දක්වන ලද කරුණුය.

නෝර්වේ රාජ්‍යය සලකුණු කරණු ලබන්නේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආදර්ශයක් වශයෙන් වන අතර ඉකොනොමිස්ට් බුද්ධි වාර්තා අනුව ඉහළම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් බොහොමයක් ස්ථානගත වී ඇත්තේ යුරෝපය තුළය.   සෑම දෙයකම පාහේ මෙන් ප්‍රජාතන්ත්‍රවාදී බවින් ද අඩුම රටවල් ව්‍යාප්තව ඇත්තේ මැදපෙරදිග , ආසියාව සහ අප්‍රිකාව තුළය.  සාමාන්‍යයෙන් ලෝකයේ රටවල් 23 ක් පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලෙස ද, රටවල් 52 ක් ප්‍රජාතන්ත්‍රවාදයේ දෝෂ සහිත රටවල් ලෙස ද රටවල් 57 ක් අධිකාරීවාදී රටවල් ලෙසද ඉකොනොමිස්ට් බුද්ධි ඒකකය වර්ග කර ඇත.

ඔවුන් වැඩිදුරටත් දක්වන්නේ ලෝකයේ ඕනෑම රටක් ප්‍රජාතන්ත්‍රවාදී වීමටනම් බහු පක්ෂ දේශපාලන පද්ධතියක් සහ තරඟකාරී පරිසරයක්, නිදහස් සහ සාධාරණ මැතිවරණ, නීතිවලට ගරු කරන විනිවිද පෙනෙන විවෘත රාජ්‍යයක්, සාමකාමී බල හුවමාරුවකට කැප වී සිටින රාජ්‍යයක්, රජයේ බලපෑමෙන් හෝ පාලනයෙන් තොර ස්වාධීන මාධ්‍යයක්, බහුතරයකගේ හෝ සුළුතරයකගේ කොටසක් නොවී සියළුම පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ විශේෂයෙන් නීතියේ ආධිපත්‍ය වැනි ලක්ෂණ පැවතිය යුතු බවය.

Latest