වයඹ පළාතේ පාසල් වෙනුවෙන් විදුහල්පති හා ගුරු පුරප්පාඩු 5,795 ක් පවතින බව අනාවරණය වේ. මෙය විදුහල්පති පුරප්පාඩු 697 ක් සහ ගුරු පුරප්පාඩු 5,098 ක් ලෙස වෙන්කොට හදුනාගෙන ඇත.
2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ට අදාලව සිදුකරන ලද විමසීමකට අනුව වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව තහවුරු කර තිබේ.
වයඹ පළාතේ කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්ක දෙකෙහි අධ්‍යාපන කලාප 8ක හා කොට්ඨාස 31 ක මෙම පුරප්පාඩු විසිරී පවතී.
මෙම කොට්ඨාස වල විදුහල්පති පුරප්පාඩු ලෙස මහව-121 ක්, නිකවැරටිය -75ක්, කුරුණෑගල-44ක්, ඉබ්බාගමුව -55ක්, ගිරිඋල්ල - 39ක්, කුලියාපිටිය-36ක්, හලාවත 139ක් සහ පුත්තලම 188ක් ලෙස පුරප්පාඩු 697 බෙදී ගොස් තිබේ.
පළාත් මට්ටමින් ඉල්ලුම් කරනු ලබන විදුහල්පති පුරපාඩු පිරවීම සඳහා 2018 / 2019 වසරවල සුදුසුකම් සපුරා සිටි අයවලුන් බඳවා ගැනීමෙන් පසුව මේවන විට වසර තුනක කාලයක් ගතව ඇතත් අදාල තරග විභාග පවත්වා බඳවා ගැනීම් සිදුකර නොමැති බවත් අනාවරණය වේ.
මේ හේතුවෙන් ග්‍රාමීය පාසල් පාසල් පවත්වාගෙන යාම දී වැඩබලන විදුහල්පතිවරුන්ට දුෂ්කරතාවයන් රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි ද කියයි. මෙම ගුරු පුරප්පඩුව අධ්‍යාපන කළාප වශයෙන් බෙදූ කල නිකවැරටියට ගුරුවරුන් 420ක් මහවට 417ක්, ඉබ්බාගමුවට -534ක්, කුලියාපිටියට 560ක්, ගිරිඋල්ලට 380ක්, කුරුණෑගලට -436ක්, හලාවතට -1273ක් සහ පුත්තලමට 1078 ක් ලෙසින් වර්ගී කරනයට ලක් කොට ඇත.
"මෙම ගුරු පුරප්පාඩු පිරවීම සඳහා කවදත් විද්‍යාපීඨ ගුරුවරුන් ප්‍රමාණවත් වුණේ නෑ. උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමට තරග විභාග මේ වන තුරුත් පවත්වා නෑ. පළාත පුරා දුෂ්කර කාලය සම්පුර්ණ කළ ගුරුවරු මේ තත්ත්වය නිසා බරපතළ අර්බුදයකට මැදිව සිටිනවා. ගුරු පුරප්පාඩු පිර වෙන්නේ නැතිතාක් මේ ගැටළු පවතිනවා.ගුරුවරු ස්ථාන මාරු ඉල්ලූවත් අනුප්‍රාප්තිකයකු සහිතව තමයි ඔවුන්ට අත්සන් කරන්නේ. ඒ නිසා අනුප්‍රාප්තිකයකු ලබාදීමට නොහැකි වීම මත ඔවුන්ට ස්ථාන මාරුව යාමට හැකියාවක් නැතැ"යි අප මේ සම්බන්දයෙන් කල විමසුමකට පිළිතුරු දෙමින් ගුරු සේවා සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්ෂ මහතා කීය.