Skip to content

උතුරේ තරුණියන්ගේ දකුණේ ගාමන්ට් ජීවිතේ.

යුද්දය නිසා වසර 30 ක් අහිමිකල දේ අතරට මිලකල හැකි දේ මෙන්ම මිලකල නොහැකි දේද අහිමි වීය. ඒ අතරින් අධ්‍යාපනය ප්‍රමුඛ වෙයි. පෙරපාසල් දරුවාගේ සිට උසස්පෙළ දක්වා මෙන්ම සරසවි වරම් දක්වා බොහෝ දරුවන් පිරිසකට අතරමැදි අධ්‍යාපනය අහිමිව ඇත්තේ යුද්දය නිසා හෝ යුද මානසිකත්වයන් හේතුවෙනි.

කෙසේ හෝ කුරිරු යුද්දයනම් අවසන්ය. නමුත් යුද්දයට මැදිවූවන්ට ගෙවීමට ඇති ලොකුම යුද්දයනම් ආර්ථික යුද්දයයි. යුද්දයෙන් පසුව අනාථ කඳවුරු තුල සිටි ලක්ෂ 3 කට අධික උතුරේ වැසියන් 2011 වසරේ සිට ඔවුන්ගේ මුල්ගම්බිම්වල නැවත පදිංචි කිරීම ආරම්භ විය.

නමුත් නැවත පදිංචිවන වැසියන්ගේ හෙට දවස වෙනුවෙන් 90 % කට වැඩි පිරිසකට ආදායම් මාර්ගයක් තිබුනේ නැත එහෙයින් උතුරේ තරුණ තරුණියන් අතට මුදලක් සෙවීමට උත්සහ ගත්තේ තමන්ගේ අධ්‍යාපනය යුද්දයෙන් විනාශ වී ඇති හෙයින් අධ්‍යාපන සුදුසුකම් වෙනුවෙන් ලබාගතහැකි රැකියාවක් නොමැති නිසාය.

පවුල් බර පීඩනයත් සමගම උතුරේ බහුතර පවුල් ප්‍රමාණයක දරුවන් සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගය නොකරම විවිධ රැකියන්වන්හි නිරත වෙති. ඒ අතරින් කුලි රැකියාවල නිරතවන ළමුන්ද සිටිති.

මේ අතර ගැහැනු දරුවන් පමණක් සිටින උතුරේ නැවත පදිංචි වූ පවුල්හි ආර්ථික තත්වය දැඩි ලෙසින් අවධානම් විය පියා පමණක් කුලී වැඩක් හෝ සිදුකොට දවසේ බඩවියත රැකගැනීමට සිදු වුනා හැරෙන්නට ඔවුන්ට වෙනත් කිසිවක් කිරීමට තරම් ආර්ථිකයක් නොවීය. එයින්ද පියා නොමැතිව සිටින පවුල්හි තත්වය තවත් බරපතල විය.

මේ නිසාම උතුරේ තරුණ තරුණියන් දහස් ගණනක් මේ වනවිට පලාතෙන් පිටත පෞද්ගලික අංශයන්හි වවිධ රැකියාවන් සිදුකරමින් සිටිති. ඒ ඔවුන්ගේ පවුල් නඩත්තුව නිසාවෙන්ය. කෙසේ නමුත් නිවසින් බාහිරව රැකියා සොයා ගිය උතුරේ තරුණියන්ගේ දුක්බර පැතිකඩක් පිළිබඳව මේ වන විට කතාබහකට ලක්ව ඇත.

පසුගියදා අනාවරනය වූ නවතම පුවතක් වූවේ පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් උතුරේ තරුණියන් විශාල ප්‍රහාණයක් දකුණේ පෞද්ගලික අංශයන්හි රැකියාවන්හි නිරතවන අතරවාරයේදී සැලකිය යුතු පිරිසක් ගණිකා ජාවාරම්හීද නිරත වන බවටය.

උදාහරණයක් ලෙස පසුගියදා කොළඹ, මරදාන ප්‍රදේශයේදී ගණිකා වෘත්තියේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් කාන්තාවන් 19 දෙනාගෙන් 11 දෙනෙකුම මන්නාරම සහ වව්නියාව ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට අනාවරනය වී ඇත.

අත්අඩංගුවට ලත් මේ තරුණියන් පොලීසයට පවසා ඇත්තේ තමන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන නමුත් තමන්ගේ පවුල් රැකබලාගැනීමට මුදල් යැවීමට සහ තමන්ට ජීවත්වීමට තරම් වැටුපක් නොලැබීම හේතුවෙන් මෙලෙස ගණිකා වෘත්තියේ යෙදෙන බවටය.

එහි නියම සත්‍යතාවයක්ද නැතුවාම නොවේ එනම් මේ තරුණියන්ගේ ආර්ථික තත්වය.

නම ප්‍රකාශ කිරීමටද අකමැති වූ වව්නියාන ඕමන්ත ප්‍රදේශයේ තරුණියක් සිය ගාමන්ට් ජීවිතය ගැන පවසා සිටියේ මෙවැන්නකි.

‘‘මම දැන් මේ ගාමනට් රැකියාවට ගිහින් වැඩි කාලයක් නැහැ ඉතින් මට මාසයට රුපියල් 40,000 කට ලං වෙන්න ලැබෙනවා මුලු මාසයම වැඩකලොත් එක දවසක් හරි නොදන්වා වැඩට ගියේ නැත්තම් රුපියල් 5000 ක් පඩියෙන් කපනවා. ඉතිං මේ පඩිය වෙනුවෙන් අපි විඳින දුක් දන්නේ අපි විතරයි.

බෝඩිං ගාස්තුව 8000 ක් කියමුකො අඩුවෙන්ම, ඉතිං දවසකට එක වේලකට උයං කෑවත් කඩෙන් කෑවත් අපි රුපියල් 100 ක් දාමුකෝ දැන්නම් 100 කට බැහැ නමුත් අඩුවෙන්ම දැම්මොත් දවස් 30 ට 9000 ක් ඕනේ මට මේ මාසේ ඇතුලත වෙනත් කිසිම ගමනක් බිමනක් නොයා ඇඳුමක් පැලඳුමක් නොගෙන හිටියත් සබන් කෑල්ලේ සිට සීනි , තේකොළ දක්වා ගන්න ඕනනේ මේවා උපරිම පිරිමහ ගත්තොත් රුපියල් 5000 කින් බෙරෙන්න පුලුවන්. ගෙදර අම්මා, තාත්තා, නංගි මල්ලිගේ අවශ්‍යාතා වෙනුවෙන් උපරිම අඩුවෙන් 15,000 ක් දැම්මොත් එතනම රුපියල් 37,000 ක් වෙනවා. මොකද ගෙදර අය වෙනුවෙන්නෙ මම මේ දුක විඳින්නේ. අඩුම මට ආපහු නිවාඩුවකට ගෙදර යන්නවත් කඩෙකින් කිසිම දෙයක් ගන්නවත් මුදල් අතේ නැහැ. මේ සාමාන්‍ය ජීවිතේ. ඉතං අපිට මේ ගාමනට් රැකියාවට අමතරව මොනවම හරි දෙයක් කරන්න වෙනවනේ නමුත් අපිට තියන වෙන රැකියා මොනවද කියන එකයි ලොකුම ගැටලුව වුනේ.

මේ නිසාම අපේ බොහෝ තරුණියන් පිරිසක් මේ ගණිකා වෘත්තියේ නිරත වෙනවා. උදේ සිට සවස් වෙනකම් ගාමන්ට් එකේ හවස 6 ඉඳන් රෑ එක දෙක වෙනකම් අනිත් රැකියාවේ පහුවදා උදේ 4ට නැවතත් ගාමන්ට යන්න ඕන නිසා අවදිවෙනවා. මේ තමයි අපේ ජීවිතේ වෙන කරන්න දෙයක් නැහැ ගෙදරට සල්ලි දාන්න ඕන අපේ අවශ්‍යතා තියනවා ඒ වෙනුවෙන් මුදල් ඕන. අපිට කව්රුත් මුදල් නිකම් දෙන්නෙ නැහැනේ . ඒ නිසා කැමත්තක් නැතුව හෝ ඇතුව ඇඟ විකුනන්න වෙලා.

අත්අඩංගුවට පත්වුනත් උසාවියේ දඩය ගෙවලා පහුවදා ආපහු මේ රැකියාවම තමයි අපි කරන්නේ මොකද උසාවි ගියාට පස්සේ අපිට මුදල් නිකම් ලැබෙන්නැහැනේ අර රස්තියාදු වෙච්චි දවස්වලටත් එක්ක සමහර කෙල්ලෝ එලිවෙනකම් ඇඟ විකුණන එක තමයි කරන්නේ.

‘මේ ගැටලු අපේ පවුලේ අයට කියන්නත් බැහැඅනිත් එක අපි ගමෙන් ගොඩක් ඈත්වෙලා ඉන්න නිසා අපිගැන දන්න කව්රුත් නැහැනේ ඒ නිසා අපි මේ දේ කරනවා. දකුණේ තියෙන ගාමන්ට් වල උතුරේ කෙල්ලො වගේම දකුණේ කෙල්ලොත් බහුතරය මේ රැකියාව රහසක් විදිහට කරනවා ඒක තමයි ඇත්ත.

මේ අතර ඇතැම් තැරව්කරුවන්ද දකුණේ සිට උතුරු පලාතට පැමිණ පෞද්ගලික ආයතනයන්හි රැකියා ලබාදෙන බවට පවසා උතුරේ තරුණියන් රවටා දකුණු ප්‍රදේශයට රැගෙන ගොස් ඉතා සීමිත කලකින් ගණිකා වෘත්තියට යෙදවීමේ ජාවාරමක්ද ක්‍රියාත්මක කරන අතර අදාල තරුණියන් බොහෝ පිරිසක් ආර්ථික අපහසුතා හේතුවෙන් එය හෙලිකිරීමට නොහැකිව අසරණව සිටින බවටද උතුරේ කාන්තා සංවිධාන මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Latest