Skip to content

එක්කෝටි හැටතුන් ලක්ෂයක් වියදම්කර ඉදි කෙරුණු පත්තු නොවන කලර් ලයිට්

ජයලත් දිසානායක - බදුල්ල

2021.08.06 වන දින වැඩ අවසන් කර මෙතෙක් ක්‍රියාත්මක නොවන බදුල්ල විහාරගොඩ මුතියංගණ විහාරස්ථානය ඉදිරිපිට ඇති රථවාහන ආලෝක සංඥා පුවරු වෙනුවෙන් දැරූ මුදල කිසිදු ප්‍රයෝජනයක් නොවන තත්වයකට පත්ව ඇති බව ජනතාව පෙන්වා දෙයි.

සවුදි/ඔපෙක් ආධාර යටතේ බදුල්ල චෙන්කලාඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව මෙම රථ වාහන ආලෝක සංඥා පුවරු ස්ථාපිත කෙරිණ. එය මාර්ග සංවර්ධන අධිකාරියේ මහනුවර පිහිටි නිර්මාණ කාර්යාලයෙන් සැලසුම් කර ඇති අතර ICC සමාගම හරහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව (SD&CC) මගින් මෙහි ඉදිකිරීම් සිදු කර ඇත.

ඒ වෙනුවෙන් රුපියල් එක් කෝටි හැටතුන් ලක්ෂ තිස් දහස් තුන්සිය පනස් දෙකයි ශත තිස් හයක (16,330,352.36) මුදලක් වැයව ඇති බැව් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ප්‍රකාරව මාර්ග සංවර්ධන අධිකාරියේ තොරතුරු නිළධාරියා විසින් RDA/BCRIP/PE-2/PD/16 අංක යටතේ නිකුත් කෙරුණු ලිපියෙන් අනාවරණය වී තිබේ.

මීටර් 4ක් උස සංඥා කුලුණු 12ක් සහ මීටර් 7ක් උස සංඥා කුළුණු 7ක් ඉදිකිරීම වෙනුවෙන් මෙම මුදල වැයව තිබේ. එහි බිල්පත් වලට අනුව අවසාන ගෙවීම ICC සමාගම මගින් SD&CC සමාගම වෙත 2022.03.01 වන දින ගෙවා ඇති බවත් තොරතුරු නිළධාරියා විසින් නිකුත් කෙරුණු ලිපියේ සදහන්.

2021.08.06 වන දින වැඩ අවසන් කර අවසන් පරීක්ෂාවද සිදු කෙරුණු මෙම ආලෝක සංඥා පුවරු පළමු වරට ක්‍රියාත්මක කර ඇත්තේ 2022.01.07 වන දිනයි. එසේ ක්‍රියාත්මක කෙරුණු ආලෝක සංඥා පුවරු පසුදිනම තාවකාලිකව නවතා දැමීමට රථවාහන පොලීසිය කටයුතු කර ඇති බැව් මාර්ග සංවර්ධන අධිකාරියේ තොරතුරු නිළධාරියා විසින් නිකුත් කෙරුණු ලිපියේ සදහන් වෙයි.

මේ කලර් ලයිට් ක්‍රියාත්මක වුණ දවසේ මෙම ස්ථානයේ සිදුවුණු වාහන තදබදය මම කිසිදු දිනක දැක නැහැ. කිසිම වාහන තදබදයක් නොමැතිව නිදහසේ තිබුණු තැනක සිදු කෙරුණු අනවශ්‍ය දෙයක් කියලයි මම නම් කියන්නේ. මේ කලර් ලයිට් හදලා දැන් අවරුද්දකට වැඩියි. හැබැයි අද වෙනකම්ම ක්‍රියාත්මක කෙරෙන්නේ නම් නැහැ. මේ සදහා වැයවූ මුදල් අපරාදේ. වැඩකට නැති දෙයක් කරලා මහජන මුදල් විනාශ කලා කියලයි මට කියන්න තියෙන්නේ.

මේ කලර් ලයිට් එක දැම්ම දවසේ ඉදන් කහ පාට ලයිට් එක විතරක් නම් පත්තු වෙනවා. අපරාදේ ඒවට යන ලයිට් බිල.

අනිත් එක තමයි මෙම මංසන්ධියෙන් ප්‍රධාන පාරක් කියලා යන වාහන ඇත්තේ පස්සර පාරට විතරයි. අනෙක් පාරවල් තුනම නගරයට සම්බන්ධ පාරවල්. ඉතින් මෙවැනි තැන් වලට මේ වගේ කලර් ලයිට් ගොඩාක් දාන්න ඕනිද. ගම්වලින් එන සමහර පුද්ගලයින් මේ කලර් ලයිට් දැක්කම බය වෙනවා. සමහර අය ලයිට් පත්තු වෙනකම් කියලා වාහනය නවත්වාගෙනත් ඉන්නවා. මේවා විහිලු සපයන වැඩ. එම ස්ථානයේ ව්‍යාපාරික පුද්ගලයෙකු දැක්වූයේ එවන් අදහසක්.

එම දැල්වෙන කහ පැහැති විදුලි පහන් වෙනුවෙන් මේ වන විට රුපියල් 27,419.90ක මුදලක් වැයවී ඇත.

රථවාහන කමිටුවට වෙළද සංගම් නිළධාරීන් සම්බන්ධවූ බවත් නව රථවාහන සැලසුම පිළිබදව දැනුවත් කිරීම රථවාහන පොලීසිය මගින් සිදු කර ඇති බවත් ආලෝක සංඥා පුවරු සවිකිරීමේ කටයුතු පූර්ව සැලසුම් අනුව අදාල දත්ත තොරතුරු පදනම් කර ගනිමින් සිදුකර ඇති බවත් මෙම ස්ථානය සදහා ආලෝක සංඥා යෙදීමේදී පැවති ඉඩකඩ සීමිත වූ බැවින් වටරවුම මතින් එක් වරකට එක් දිශාවකට පමණක් වාහන ගමන් කිරීමට ඉඩකඩ ලබාදී ඇති අතර එමගින් තත්පර 110කට ආසන්න කාලයක් එක් වටයක් සදහා ගතවනු ඇති බවත්

තොරතුරු නිළධාරියා විසින් නිකුත් කෙරුණු ලිපියට අත්සන් තබන ව්‍යපෘති ඉංජිනේරු ජී.ඒ.ඩී.අයි. විමලධර්ම මහතා පෙන්වා දෙයි.

තවද ආලෝක සංඥා ආරම්භ කල සැනින් රියදුරන් ඒ සම්බන්ධයෙන් ක්ෂණිකව හුරුවීමක් නොපෙන්වන අතර අප විසින් අවස්ථා කිහිපයකදී පරික්සුම් වට කිහිපයක් පවත්වා සුදුසු පරිදි කාලය හා සංඥා වල පිළිවෙල වෙනස් කරනු ලැබීමෙන් පසුව ආලෝක සංඥා ක්‍රියාත්මක කෙරුණු බවත් රියදුරන්ට ඒ සදහා අනුවර්ථනය වීමට යම් කාලයක් අවශ්‍ය නමුත් මුල්ම දිනයේ පැන නැගුණු ප්‍රතිවිරෝධය මත රථ වාහන පොලීසිය මගින් තාවකාලිකව සංඥා පුවරු විසන්ධි කෙරුණු බවත් විමලධර්ම මහතා අවධාරණය කරයි.

කෙසේ වෙතත් ඉදිකිරීම් අවසන්ව වසරක් ඉක්මවා ඇති මොහොතක කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දමා ඇති මෙම ආලෝක සංඥා පවරු වෙනුවෙන් වැයවූ රුපියල් අප ජනතාවගේම බදු මුදල් බව අමතක කල හැකිද. ජනතාව පවසන පරිදි කිසිදු වාහන තදබදයක් නොතිබුණු මෙම ස්ථානයේ ආලෝක සංඥා ඉදිකෙරුණේ කුමන අරමුණක් ඇතිවද. යන ප්‍රශ්නය පමණක් ඉතිරිව තිබේ.

Latest