මෙක්සිකෝවට මේ වන විට බලපා ඇති අධික වියළි කාලගුණික තත්වය හේතුවෙන් ඔවුන් ගේ අස්වැන්න විශාල ලෙස අඩුවීම, ඒ නිසාම ආහාර වල මිල ගණන් දැරිය නොහැකි මට්ටමකින් ඉහළ යාම සහ ජලය හිඟවීම යන ගැටලු ගණනාවකට මුහුණ පෑමට සිදුවී තිබේ. මෙම ගැටලු වලට පිළියමක් වශයෙන් එරට රජය විසින් මතභේදාත්මක තාක්‍ෂණික ක්‍රමවේදයක් උපයෝගී කරගනිමින් ඔවුන්ට අවශ්‍ය වර්ෂාව ගෙන ඒම සඳහා උත්සාහයක නිරතව ඇති බවට විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. මෙම තාක්‍ෂණය හඳුන්වනු ලබන්නේ Cloud Seeding වශයෙනුයි.

වර්ෂාපතනය කෘතිමව ඇති කිරීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘතියේ නවතම අදියර ඔවුන් විසින් ජූලි මාසයේදී රට තුළ ආරම්භ කරන ලදී. මෙම කටයුත්ත මෙක්සිකෝවේ උතුරු සහ ඊසානදිග නගර 62ක් ඉලක්ක කර ගනිමින් සිදු කිරීමට බලාපොරොත්තු වන අතරම, මේ හරහා සිදු වන්නේ වළාකුලු තුලට ජලධර නැවත ආරෝපණය කිරීමට අවශ්‍ය දායකත්වය මිනිසා විසින් ලබා දීමයි. එරට කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් නිවේදනයක් හරහා ද මේ බව දැනුවත් කිරීමට කටයුතු කර තිබිණි.
මෙම Cloud Seeding තාක්‍ෂණය පිළිබඳව මුල්ම ගවේෂණ කටයුතු සිදු වන්නේ 1940 පමණ වකවානුවේදීය. එතැන් සිට, එය එක්සත් ජනපදය හා චීනය ඇතුළු රටවල් 50 ක පමණ භාවිතා කර ඇත. මෙක්සිකෝව ගත්කල කාලගුණ වෙනස් කිරීම් පිළිබඳ ඔවුන් ගේ අත්හදා බැලීම්, දශක හතකට වැඩි කාලයක් පුරා දිව යන්නකි.
කෙසේ වෙතත්, සමහර විද්‍යාඥයින් cloud seeding සම්බන්ධයෙන් ඉතා සුපරීක්‍ෂාකාරීව පසු වන අතරම, ඔවුන්ගේ අදහස වී ඇත්තේ එය නියඟයට විසඳුමක් නොවන බවටයි. මේ සඳහා මතභේදාත්මක ඉතිහාසයක් ඇති බවත්, මෙමගින් ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් ඔප්පු කිරීම ඉතා අපහසු කටයුත්තක් බවත් එක්සත් ජනපදයේ වායුගෝලීය පර්යේෂණ සඳහා වූ ජාතික මධ්යස්ථානයේ කාලගුණ වෙනස් කිරීම් පිළිබඳව කටයුතු කරන විදයාඥ Roelef Bruintjes මහතා විදෙස් මාධ්‍ය වෙත කරුණු අනාවරණය කර තිබේ.
Cloud Seeding සඳහා මුලින්ම වලාකුළක් අවශ්‍ය වන අතර ගුවන් යානා හෝ ඩ්‍රෝන යානා විසින් ජල බිඳිති ආකර්‍ෂණය කර ගැනීම සඳහා වලාකුළට අංශු එන්නත් කිරීම (silver iodide particles) සිදු කරනු ලබයි. ආකර්ෂණය වන ජල බිඳිති ඒ වටා ඇති වීමත් සමග වර්ෂාපතනය හෝ හිම පතනය වීමේ අවස්ථාව වැඩි වීම මෙමගින් සිදුවේ.