Skip to content

නියම මැණික්වලට ව්‍යාජ මැණික් මාරු කරමින් රට පුරා සිදු කළ ජාවාරම නීතියේ රැහැනට

මැණික් මිල දී ගන්නා මුවාවෙන් මහනුවර සහ කොළඹ මැණික් හා ස්වාර්ණාභරණ වෙළෙඳ සැල් තුනකට ගොස් රුපියල් ලක්ෂ 85 ක් පමණ  වටිනා නිල් මැණික් තුනක් සොරාගත් පුද්ගලයින් දෙදෙනෙකු මහනුවර පොලීසියේ අපරාධ විමර්ශන අංශය මගින් මැණික් ගල් තුනද සමඟ   අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සැකකරුවන් වෙළෙඳ සැල් වල විකිණීමට තිබූ නිල් මැණික් වල පෙනුමට සමාන ලෙස වීදුරු වලින් සකස් කළ ව්‍යාජ මැණික් ගල් තුනක් රැගෙන ගොස් ඉතා සූක්ෂම ලෙස ඒවා නියම මැණික් වලට මාරුකර තිබෙන බව පොලීස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

මහනුවර පේරාදෙණිය පාරේ පිහිටි මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සැලක හිමිකරු මැණික් මිලට ගැනීමට පැමිණි පුද්ගලයින් සම්බන්ධයෙන් මතුවූ සැකයක් මත විකිණීමට තිබූ නිල් මැණික් ගල් යළි පරීක්ෂා කිරීමේ දී එක් නිල් මැණිකක් මාරුකර තිබෙන බව දැන ඒ සම්බන්ධයෙන් මහනුවර පොලීසියට පැමිණිලි කර තිබේ.

ඉන් පසු අනෙක් වෙළෙඳ සැල් දෙකේ හිමිකරුවන් ද එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇත.

සැකකරුවන් අදාළ වෙළෙඳ සැල් වලට කතා කර මැණික් පිළිබඳ විස්තර විමසා ඔන්ලයින් මාර්ගයෙන් ඒවාහි ඡායාරූප ගෙන්වා ගෙන තිබේ. එම ඡායාරූප උපයෝගි කරගෙන වීදුරු වලින් ව්‍යාජ මැණික් ගල් තුනක් සකස් කර තිබෙන සැකකරුවන් මැණික් මිලට ගන්නා මුවාවෙන් අදාළ වෙළෙඳ සැල් වලට ගොස් මැණක් ගල් පරීක්ෂා කරමින් සිටින අතරතුර ඒවා ව්‍යාජ ගල් වලට මාරුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

සැකකරුවන් පැමිණි වාහනය පිළිබඳව සී.සී.ටී.වී දර්ශන ඔස්සේ තොරතුරු අනාවරණය කරගත් පොලීසිය එහි රියදුරු ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළිව ඇත්තේ සැකකරුවන් කුලී පදනම මත එම වාහනය රැගෙන පැමිණ තිබෙන බවයි.

රියදුරු ලබාදුන් තොරතුරු ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලීසිය කොළඹ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම අවස්ථාවේ ඔවුන් සතුව තිබී එක් මැණික් ගලක් පොලීසිය සොයාගෙන තිබේ. මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූ ඔවුන් කොළඹ හා මාතර ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

සොරාගත් මැණික් ගල් දෙකෙන් එකක් ඇහැලියගොඩ ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ 05 කට ද රත්නපුර ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ 2 1/2 කට ද අළෙවි කර තිබූ බව පොලීසිය පවසයි.

සොයාගත් නිල් මැණික් ගල් තුන පිළිවෙළින් රුපියල් ලක්ෂ 35 ක් 26 ක් හා 25 ක් වටිනා බව හෙළිව තිබේ. මෙම සැකකරුවෝ මාතර ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක මේ ආකාරයෙන් මැණික් ගල් වංචාවේ නිරත වූවන් බව හෙළිව ඇති අතර ප්‍රධාන සැකකරු යුද හමුදාවෙන් ඉවත් වූ අයෙක් බවත් දෙදෙනාම මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ වයස අවුරුදු 32 හා 33 හි පසුවන්නන් බවත් පොලිසිය කියයි.

මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලීන් බැද්දවත්තගේ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවෝ  අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතය.

Latest