Skip to content

නිසිලෙස වැඩක් නොගන්නා බෝඹුරු ඇල්ල

ඌවපරණගම යැයි කියූ විට බොහෝ දෙනාගේ මතකයට නැගෙන්නේ බෝඹුරු ඇල්ලයි. නුවර එළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක මායිවලට සමීපව ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පේරවැල්ල ග්‍රාම නිළධාරී වසම තුළ පිහිටා ඇති බෝඹුරු ඇල්ල ශ්‍රී ලංකාවේ පළලම දිය ඇල්ලක් වශයෙන් සලකන අතර දිය ඇල්ල මෙන්ම ඒ වටා පිහිටි ප්‍රදේශය ද මනරම් ස්වභාවික සෞන්දර්යයකින් යුක්තය. වැලිමඩ නගරයේ සිට 15 km ක් පමණ දුරින් සීතා එළිය කඳපොළ රක්ෂිතයේ පිහිටා ඇති බෝඹුරු ඇල්ල මීටර් 50 ක් පමණ උසකින් සහ මීටර් 20 ක් පමණ පළලකින් යුක්ත වේ. මහවැලි ගංගාවේ ප්‍රධාන අතු ගංගාවක් වන දූල්වල ගඟ මීටර් 1842 ක් පමණ උස කොටකිතුල් කන්දේ බෑවුමක පිහිටි ගල් පර්වතයක් තුළින් කොටස් හතරකින් පමණ වෙන්ව බෝඹුරු ඇල්ල නිර්මාණය වී ඇත.

මෙසේ හඳුනාගත හැකි මෙම ඇල්ල වඩාත් සමීපකර ගත හැක්කේ සංචාරක කර්මාන්තය සඳහාය. ඊට අමතරව මෙමගින් ප්‍රදේශයේ මේ වන විට පානීය ජල අවශ්‍යතාවය ද සපුරාලනු ලබයි. ලෝකයේ සංචාරක කර්මාන්තයෙහි නූතන ප්‍රවණතා රාශියක් අපට හඳුනාගත හැකි අතර මේ වන විට බොහෝ සංචාරකයින් ස්වාභාව සෞන්දර්ය පමණක් අරමුණු නොකරයි. ඔවුන් බොහෝ විට අත්දැකීම සහ ප්‍රතිමෝදන කටයුතු සිය සංචාර තුළින් අරමුණුකරන අතර ඒ පාර්ශවයෙන් ගත්විට ශ්‍රී ලංකාව සිටිනුයේ පසුගාමී තැනකය. අප බොහෝ විට සිදුකරණුයේ ස්වාභාව සවුන්දර්යය සංචාරක කර්මාන්තයෙහි ප්‍රධාන සාධකය ලෙස යොදා ගැනීම වන අතර මෙහි ඇති කණගාටුවට කරුණ වන්නේ එසේ යොදාගත හැකි සම්පත් වූවද නිසිලෙස සංචාරක කර්මාන්තය සඳහා යොදා නොගැනීමය. බෝඹුරු ඇල්ලද එසේ නිසිලෙස යොදා නොගන්නා ස්වාභාවික සම්පතක් යැයි කිව හැකිය.

මෙම දිය ඇල්ලෙහි සංචාරක ආකර්ෂණය දිනා ඇත්තේ බොහෝ විට දේශීය සංචාරකයින් වන අතර විදේශීය සංචාරකයින් ආකර්ෂණ කර ගැනීම සඳහා ප්‍රදේශයේ නිසි වැඩපිළිවෙළක් නොවීම මෙයට බලපා ඇති ප්‍රධාන හේතුවයි. විශේෂයෙන් සංචාරකයකු හට  මාර්ග, ආහාර සහ නවාතැන් ආදී අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් ප්‍රවේශයන් බෝඹුරු ඇල්ල ආශ්‍රිතව නොවීම හේතුකොටගෙන විදේශීය සංචාරක ආකර්ෂණය ලැබී ඇත්තේ ඉතා අවම වශයෙනි.

බොඹුරු ඇල්ල වටා සංචාරක ආකර්ෂණය දිනා ඇති ස්ථාන කිහිපයක් අපට හඳුනාගත හැකිය. රේන්දපොළ, හක්ගල සහ නුවරඑළිය යන සංචාරක ස්ථානයන් ද බෝඹුරු ඇල්ලට ඉතා සමීපය. එමෙන්ම බණ්ඩාරවෙල , ඇල්ල, බදුල්ල, හපුතලේ සහ දියතලාව යන සංචාරක ප්‍රදේශයන් වල සිටද අවම කාලයකින්  බෝඹූරු ඇල්ලට ළඟා විය හැකිය. නමුත් ගැටළුව වන්නේ මෙම ස්ථාන සියල්ල තනි තනි ස්ථාන වශයෙන් හුදෙකලාව පැවතීමය. ස්ථාන සියල්ල එකට එකතුකර සංචාරක කලාපයක් වශයෙන් වැඩිදියුණු කිරීමට විශාල විභවතාවයක් සහ බෝඹුරු ඇල්ලද මේ සඳහා වැදගත් ස්ථානයක් වශයෙන් යොදා ගැනීමට හැකියාව පෙනෙන්නට තිබෙනමුත් තවදු එවැනි සැලසුම්සහගත වැඩපිළිවෙළක් ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන්නේ නැත.

ඇල්ලට පිවිසෙන මාර්ගය යම් ප්‍රමාණයකට සංවර්ධනය කිරීම, නාම පුවරු ප්‍රදර්ශනය කිරීම ආදී මූලික වැඩකටයුතු පමණක් සිදු වූවද විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමටත් සංචාරකයින් ප්‍රදේශය තුළ රඳවා ගැනීමටත් පවතින සම්පත් ප්‍රමාණවත් නොවන බව හඳුනාගත හැකිය. නමුත් සංචාරක කර්මාන්තය යනු ශ්‍රී ලංකාවට විදේශීය විනිමය උපයා දෙන ප්‍රධාන කර්මාන්තයක් බැවින් ජාතික වශයෙන් ද ප්‍රාදේශීය සංවර්ධනය අතින්ද ගත් විට බෝඹුරු ඇල්ල යනු පුළුල් ලෙස භාවිතයට ගත හැකි නමුත් භාවිතයට නොගන්නා සම්පතකි.

Latest