නීට්ෂේගේ දර්ශනවාදය පිළිබඳව සාකච්ඡා කරන ලද ලිපි මාලාවේ එක් තැනක අප ශුන්‍යවාදය පිළිබඳව ලිපියක් ඔස්සේ සාකච්ඡා කරණු ඇතැයි කීවා සමහරවිට ඔබට අමතක වී තිබෙන්නට පුළුවන. කෙසේ නමුත් එය එසේ නම් මතකය නැවත අලුත් කරගනිමින් ලිපියට යන්නේ නම්
ඉතා සරලම තැනකින් සිතන්නේ නම් මිනිසුන්ට ජීවිතයේ අරමුණක් සහ ඉලක්කයක් නොමැති විටදී දැනෙන හැඟීම, අත්දැකීම ශුන්‍යවාදය ( Nihilism ) යනුවෙන් සරලවම හඳුනාගත හැකිය. එය ඔබ මම කොතැනක හෝ අත් විඳ ඇති කාරණයක් ද වේ. කෙසේ නමුත් මෙයට ප්‍රධාන හේතුව නම් මිනිසුන් ඔවුන්ට ඇති වටිනාකම් හඳුනා නොගැනීම බව පොදුවේ විද්වතුන් පිළිගන්නා කරුණකි.

ශුන්‍යවාදය ( Nihilism ) පිළිබඳව පුළුල් ලෙස ඉතිහාසයේ මුල්වරට ලියන ලද්දේ ලේඛක ඉවාන් තුර්ගේනිව් විසින් වන අතර එක් අතකට ලේඛක දොස්තොයෙව්ස්කිගේ නවකතා ද ශුන්‍යවාදය පිළිබඳව දාර්ශනික විශ්ලේෂණයක් ලෙස ද සැලකේ. කෙසේ නමුත් ශුන්‍යවාදය යන පදය ඉතිහාසයේ මුල්වරට දාර්ශනික ක්ෂේත්‍රය තුළ භාවිත කරන ලද්දේ 18 වන ශත්වර්ෂයේදී ෆෙඩ්‍රික් ජැකොබ් විසින් වන අතර ඊට අමතරව අපණ්නක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විසින් ශුන්‍යවාදී දෘෂ්ඨිය මිච්ඡාදිට්ඨියක් ලෙසට විස්තරකොට තිබෙනු ද හඳුනාගත හැකිය.
අර්ථයක් නොමැතිකමේ අත්දැකීම නිසා පුද්ගලයෙකුට ශුන්‍යතාවක් අත් විඳීමට මඟ පාදන අතර ශුන්‍යවාදය මඟින් මානව වටිනාකම් පදනම් විරහිත බව, ජීවිතය අර්ථ විරහිත බව පවසන අතර පොදුවේ ශුන්‍යවාදීන්ට අනුව ජීවිතය ආවේණික වටිනාකමක්, අර්ථයක් හෝ අරමුණක් නොමැතිව පවතී. මේ පිළිබඳව තව දුරටත් විමසා බලන්නේ නම් ශුන්‍යවාදය මිනිසුන්, වස්තූන් සහ ජීවිතය කෙරෙහි සමාජය තබන වටිනාකම් සහ අර්ථය ප්‍රතික්ෂේප කරන අතර පුද්ගලයාගේ ආත්මීය අත්දැකීමෙන් ඔබ්බට කිසිවක් දැනගැනීමට හෝ සන්නිවේදනය කිරීමට නොහැකිය.

කෙසේ නමුත් ශුන්‍යවාදයේ මූලික වශයෙන් ඇත්තේ සදාකාලික සත්‍යයන් නොමැති බවත් සදාකාලික අරමුණක් නොමැති බවත් මානව පැවැත්මට අවසාන අර්ථයක් හෝ වැදගත්කමක් නොමැති බවත්ය. මෙය යම් යම් අවස්ථාවලදී අශුභවාදය, නරුමවාදය, උදාසීනත්වය යන නම් වලින් ද හඳුන්වනු අපට හඳුනාගත හැකි අතර අප ලිපි තුනක් ඔස්සේ සාකච්ඡා කළ ෆෙඩ්‍රික් විල්හෙල්ම් නීට්ෂේට අනුවනම් ශුන්‍යවාදය යනු ජීවිතය තහවුරු කිරීමට මිනිසා සීමා කරන සංකල්පයකි.
විශේෂයෙන් 19 වැනි සියවසේ යුරෝපයේ සහ ඉන් ඔබ්බෙහි මතු වූ දර්ශනවාදයේ පුළුල් සංකල්පයක් වන ශුන්‍යවාදය / නිහාල්වාදය සම්බන්ධයෙන් සාකච්ඡා කරන සෑම තැනකදීම ප්‍රමුඛව කියැවෙන නාමයක් වන්නේ ෆෙඩ්‍රික් විල්හෙල්ම් නීට්ෂේ ය. දාර්ශනිකයන් ශුන්‍යවාදය හැදෑරීමේදී එය ප්‍රධාන අධ්‍යයන ක්ෂේත්‍ර පහකට බෙදා දක්වන අතර ඉන් Existential Nihilism නැතිනම් පැවැත්මේ ශුන්‍යවාදී අධ්‍යයන ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන්නේ ද නීට්ෂේය.

විද්වතුන් පවසන පරිදි නීට්ෂේ තම ජීවිතයෙන් සැලකිය යුතු කොටසක් වැය කරන ලද්දේ මිනිසාට අර්ථයක් ආරෝපණය කිරීමට උත්සාහ කිරීම සඳහා ය. ඔහුගේ දර්ශනය බොහෝ විට ශුන්‍යවාදය සහ පැවැත්මවාදය යන දෙකටම සම්බන්ධ වන අතර ශුන්‍යවාදය විසින් සියළු විශ්වාසයන් සහ පාරිශුද්ධ අදහස් මිත්‍යාවක රෝග ලක්ෂණ ලෙස හෙලිදරව් කරන බව ඔහු කීවේය.
විද්වතුන් පවසන්නේ නීට්ෂේගේ සන්දර්භය තුළ ක්‍රිස්තියානි ධර්මය ශුන්‍යවාදයේ මූලාශ්‍රවලින් එකක් වන බවය. ඔහු එම අදහසට හේතු ලෙස දක්වා ඇත්තේ එය මගින් ප්‍රජනනය, ලිංගිකත්වය, මහිමයට ඇති ආශාව සහ බලයට ඇති ආශාව වැනි ජීවිතයේ අත්‍යාවශ්‍ය අංග අධෛර්යමත් කිරීම ය. කෙසේ නමුත් නීට්ෂේ තම ග්‍රන්ථ තුළ ලියා ඇති ආකාරයට අශුභවාදය යනු ශුන්‍යවාදයේ මූලික ආකාරයකි. අශුභවාදය යනු ජීවිතයේ සියළු අර්ථ විරහිතබාවය පිළිබඳ සවිඥාණික හැඟීමකි.
" ශුන්‍යවාදය වනාහී වටිනාකම, අර්ථය සහ යෝග්‍යතාවය පිළිබඳව රැඩිකල් ප්‍රතික්ෂේප කිරීමක් වේ ". ( නීට්ෂේ )
කෙසේ නමුත් ශුන්‍යවාදය යනු නොවැලැක්විය හැකි දෙයක් වන අතර නීට්ෂේ තව දුරටත් ශුන්‍යවාදය සලකන්නේ රෝගයක් ලෙසය. එය ව්‍යාධික වන අතර කල හැක්කේ ඉන් මිදීමට උත්සාහ කිරීමය. ශුන්‍යවාදය ආරම්භ වන්නේ ලෝකය අර්ථයක් හෝ අරමුණක් නොමැති බව යන සංකල්පයෙන් වන අතර මේ අනුව පැවැත්මේ සියලු ක්‍රියාවන්, දුක් වේදනා සහ හැඟීම් අවසානයේ තේරුමක් නැති සහ හිස් බවින් පිරී පවතී. අප මිත්‍යාවන් අත්හරින විට සැබවින්ම ජීවිතයේ කිසිවක් නැති බව හෙලිවන බව ශුන්‍යවාදය පිළිබඳ අදහස් දක්වන විද්වතුන් කියා සිටී.

අප මින් පෙර ලිපියක දැක් වූ පරිදි ෆෙඩ්‍රික් විල්හෙල්ම් නීට්ෂේ යනු බුදුදහම පිළිබඳව අධ්‍යයනය කළ බටහිර විද්වතුන්ගේ ප්‍රධාන අයෙකි. ඒ අනුව ඔහු පවසන්නේ බුදු දහමේ පෙන්වන පරිදි දුක් වේදනා අවම කිරීම සඳහා තණ්හාවෙන් සහ ආශාවන්ගෙන් ඉවත් වීම ශුන්‍යතාවට ඇති කැමැත්ත වන බවය. ලෝකයේ ඇති සියලුම වටිනාකම් ඉවත් කිරීම ශුන්‍යවාදියාගේ ලක්ෂණයක් වන අතර නීට්ෂේට අනුව සංස්කෘතියකට සමෘද්ධිමත් වීමට හැක්කේ ශුන්‍යවාදය ජයගත් විට පමණි.
ශුන්‍යවාදය පිළිබඳ කතිකාවතට නීට්ෂේ විසින් ප්ලේටෝව ද කැඳවාගෙන එන අතර ඔහු පෙන්වා දෙන්නේ ප්ලේටෝගේ දර්ශනයෙන් මතුවන දුක් වේදනා ශුන්‍යවාදයට මඟ පාදන බවය. නූතන මිනිසාට සැබවින්ම අවශ්‍ය වන්නේ ශුන්‍යවාදය ජය ගැනීම සඳහා ලෝක දැක්මක් වන බව ද කියන නීට්ෂේ ඒ සඳහා උපායමාර්ග සාකච්ඡා කිරීමට ද අමතකකොට නැත. ඒ සඳහා ප්‍රධාන වශයෙන් ම සිදුකළ යුත්තේ නව පුද්ගලවාදී සදාචාර පද්ධතියක් නිර්මාණය කිරීමය.
විද්වතුන් ශුන්‍යවාදය කරදරකාරී ගැටළුවක් ලෙස සලකන අතර ඔවුන් ප්‍රකාශ කරන්නේ බටහිර චින්තනයට ශුන්‍යවාදය ආවේණික බවත්, ඒ සමගම ශුන්‍යවාදය අතීතයේ, වර්තමානයේ සහ අනාගතයේ කොන්දේසියක් බවත් ය. ශුන්‍යවාදය යනු බටහිර සංස්කෘතියේ පරිහානිය පිළිබඳ රෝග විනිශ්චයක් ද වන අතර විද්වතුන් පොදුවේ ශුන්‍යවාදය නිර්වචනය කරන්නේ ජීවිතය තේරුමක් නොමැති සහ අර්ථ විරහිත යැයි විශ්වාස කරමින් සියලු ආගම් සහ සදාචාරාත්මක මූළධර්ම ප්‍රතික්ෂේප කිරීමක් ලෙසය. සාම්ප්‍රදායික සාරධර්ම සහ විශ්වාසයන් ප්‍රතික්ෂේප කිරීම සහ ජීවිතයේ අරුත සහ අරමුණු ප්‍රතික්ෂේප කිරීම නව වටිනාකම් සහ විශ්වාසයන් නිර්මාණය කිරීමට හේතු විය හැකි බව ද විද්වතුන්ගේ අදහසයි.
ශුන්‍යවාදය පිළිබඳව සාකච්ඡාවට සඳහා නැවත වරක් නීට්ෂේ කැඳවාගෙන එන්නේ නම් ඔහු ශුන්‍යවාදයේ ප්‍රධාන වර්ග දෙකක් පිළිබඳව පවසයි. එනම් ක්‍රියාකාරී ශුන්‍යවාදය සහ නිෂ්ක්‍රීය ශුන්‍යවාදයයි. නීට්ෂේ නිෂ්ක්‍රීය ශුන්‍යවාදය තපස් පරමාදර්ශය සහ ඒ මත ගොඩනගා ඇති ක්‍රිස්තියානි සහ බෞද්ධ චින්තන පද්ධති සමග සම්බන්ධ කරන අතර නිෂ්ක්‍රීය ශුන්‍යවාදය ලෙස හඳුන්වන්නේ අර්ථය සෙවීමේ අවසාන ලක්ෂ්‍යය ලෙස ශුන්‍යවාදය පිළිගන්නා දර්ශනයකි. නිෂ්ක්‍රීය ශුන්‍යවාදීන්ට ඔවුන්ගේම වටිනාකම් සහ අර්ථයන්හී නිර්මාතෲ වරුන් වීමට ශක්තියක් නැත.
නිෂ්ක්‍රීය ශුන්‍යවාදීන් බොහෝ විට මහජන ව්‍යාපාරවලට සම්බන්ධ වන බව ද කියන නීට්ෂේ එසේ සම්බන්ධ වන්නේ දේශපාලන පක්ෂයකට හෝ නායකයකුට ඔවුන්ගේ ජීවිතයට අරුතක් ලබා දීමේ මාර්ගයක් ලෙසටය. මේ සම්බන්ධයෙන් විද්වතුන්ගේ අදහස වන්නේ මෙය අනුගාමිකයින්ට තවමත් ලෝකයේ යම් අධිකාරියක් ඇති බවට හැඟීමක් ලබා දෙන බවය.
ක්‍රියාකාරී ශුන්‍යවාදය දෙවියන්ගේ මරණය වැනි සියලු වටිනාකම් සහ අර්ථයන් විනාශ කිරීමට මුහුණ දීමෙන් පසු නව අර්ථයක් ගොඩ නැගීමට සම්බන්ධ වේ. නීට්ෂේ මෙය සලකන්නේ ශක්තියේ සළකුණක් ලෙසය. නිෂ්ක්‍රීය ශුන්‍යවාදියා මෙන් යටපත් වී ඉල්ලා අස්වීම වෙනුවට ක්‍රියාකාරී ශුන්‍යවාදියා පැරණි සාර්ධර්ම ප්‍රතිස්ථාපනය කර ශුන්‍යවාදයේ තත්වය ජය ගැනීමට උත්සාහ කරයි. ඔහු ස්වාධීන නිර්මාණකරුවකු ලෙස තමාගේ වටිනාකම් ඉදිරිපත් කරන ශක්තිමත් පුද්ගලයකු වන අතර ක්‍රියාකාරී ශුන්‍යවාදීන් වටිනාකම සහ අර්ථය විනාශ කිරීමෙන් නොනැවතී බලාපොරොත්තු සුන් වීම හෝ ඔවුන්ගේ බිය සමනය කර ගැනීම සඳහා මහජන ව්‍යාපාරයකට සම්බන්ධ වීම වෙනුවට එම ව්‍යාපාර ඔවුන්ම ගොඩ නගයි.
පුද්ගලයකු නිදහසේ තමන්ගේම වටිනාකම් සහ අර්ථයන් නිර්මාණය කිරීමෙන් ශුන්‍යවාදය ජය ගනී. ක්‍රියාකාරී ශුන්‍යවාදය යනු අවසානයක් නොව සාර්ධර්ම සහ අර්ථ සෙවීමේ ආරම්භයයි. වෙනත් ආකාරයකට පවසන්නේ නම් ක්‍රියාකාරී ශුන්‍යවාදීන් තමන් සිටින තත්වයට එරෙහිව කැරලි ගසති. ඔවුන්ගේ කැරැල්ලේදී ඔවුන් තමන්ගේම අර්ථයේ මූලාශ්‍රය වීමට ඉඩ සලසන නිර්මාණාත්මක බලය තුළ ශක්තිය සොයා ගනී. නීට්ෂේ පවසන්නේ මෙය වීර මාවතක් වන බවය.

අප මින් පෙර සාකච්ඡා කරන ලද නීට්ෂේගේ සුපිරි මිනිසා පිළිබඳ සංකලපයේදී ඔහු ප්‍රකාශ කරන්නේ සුපිරි මිනිසෙකු යනු ආගාධ දෙස බැලීමට බිය නොවන සහ ශුන්‍යවාදය හරහා ගොස් එය ජයගනිමින් ජීවිතය තහවුරු කරන අයෙකු වන බවය. ඔහුට ශුන්‍යවාදය යනු බියවිය යුතු දෙයක් නොව වැළඳ ගත යුතු අභියෝගයකි.
මිනිසුන්ට සැබවින්ම නිදහස් සහ නිර්මාණශීලී ජිීවීන් බවට පත්විය හැක්කේ ශුන්‍යවාදය නමැති අභියෝගය වැළඳ ගැනීමෙන් සහ එය ජයගැනීමෙන් බව පවසන නීට්ෂේ අවසාන වශයෙන් ශුන්‍යවාදය පිළිබඳව තම දාර්ශනික අදහස් වල සමස්ථ සාරයෙන් අපට ප්‍රකාශ කරන්නේ මේ ජීවිතය කෙරෙහි අපගේ අවධානය යොමුකර එතැන් සිට ජීවිතය ගොඩ නැගීම පටන්ගන්නා ලෙසය.