Skip to content

නිදොස් කොට නිදහස් වූ සම්මානනීය නවකතාකරුවා

ආරූරන් රාජ්‍ය සම්මාන ලබමින්.

2006 වසරේ කොළඹ පිත්තල හන්දිය ප්‍රදේශයේදී එවක ආරක්ෂක ලේකම් වු ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කර ගනිමින් එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට සැකපිට අත්අඩංගුවට ගත් සිවලිංගම් ආරූරන් , අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ(16) නියෝග කොට තිබිණ.

පිත්තල හන්දියේ බෝම්බ ප්‍රහාරයට චෝදනා ලබා සිට නිදහස ලැබු සිවලිංගම් ආරූරන් බොහෝ දෙනෙක් හදුනනු ලැබුවද, සිවලිංගම් ආරූරන් නොහොත් සිව ආරූරන් නමැති රාජ්‍ය සම්මාන ලාභි නවකතාකරු ගැන බොහෝ දෙනෙක් නොදන්නා බැව් නොරහසකි.

සිවලිංගම් ආරූරන් ඔහුගේ සම්පූර්ණ නම යි. යාපනයේ අල්වායි බටහිර නිලාවිල් ගම්මානය ඔහුගේ උපන් ගම වේ. ආරූරන් 2008 වසරේ සිට වසර 15ක් පුරා ඔහු කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියහ. මේ වන විට ඔහුගේ වයස අවුරුදු 41 කි.

ආරූරන් මොරටුව ඉංජිනේරු පීඨයේ උපාධිධාරියෙකි. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිය පශ්චාත් උපාධිය හදාරමින් සිටිය දී සොයිසාපුර නිවාස සංකීර්ණය අසළ දී 2008 වසරේ මාර් තු මස 24 වන දින අත්අඩංගුවට ගෙන තිබිණ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් ආරූරන්ට විරුද්ධව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ 2013 වසරේ දී නඩු පවරන ලදී.

ආරූරන් බෝම්බ සැකකරුවෙකු බවට චෝදනා ලැබ සිටියද, ආරූරන් විශිෂ්ට නවකතාකරුවෙක් සහ කෙටිකතාකරුවෙක් බව සඳහන් කළ යුතු ය.

ආරූරන්  මුද්‍රිත මාධ්‍යයේ පළ වූ ඔහුගේ පළමු කෙටි කතාව වන්නේ 'තායගම්' (මව්බිම) යන කෙටි කතාව යි. ඔහුව 2013 සැප්තැම්බර් 17 වන දින වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයට මාරු කිරීමෙන් පසුව ඔහු නවකතාවක් ලිවීම ආරම්භ කළේ ය.

ආරූරන්ව ලේඛනය සඳහා පොළඹවන ලද්දේ ඔහු සමඟ සිරගතව සිටි දේවදාසන් නම් සහෝදර දේශපාලන සිරකරුවා විසිනි. අත් අකුරෙන් ලියන ලද සිය නිර්මාණ ආරූරන් විසින් මුද්‍රණය සඳහා යවනු ලැබුවේ එම මුල් පිටපත් සම්බන්ධයෙන් දේවදාසන්ගේ ප්‍රතිචාර ලබා ගැනීමෙන් අනතුරුව ය. ආරූරන්ගේ නවකතා, කෙටිකතා හි සෝදුපත් කියවා මුද්‍රණය කිරීම සහ එළි දැක්වීම ආදී සියලු කටයුතු සිදු කරනු ලබන්නේ ආරූරන්ගේ පියා වන සිවලිංගම් විසිනි. ඔහු සිය පුත්‍රයාගේ සාහිත්‍ය දිවිය කෙරෙහි කැපවෙමින් ආරූරන් බැලීමට යන විට පොත්පත් රැගෙන යයි. ආරූරන් පවසන්නේ සිය පියා නොමැති වී නම් තමාට සාහිත්‍ය කටයුතු කරගෙන යා නොහැකි වනු ඇති බව යි.

2022 ඔක්තෝබර් 28 වන දින පැවති රාජ්‍ය සාහිත්‍ය උළෙලේ දී හොඳම දෙමළ නවකතාවට හිමි සම්මානය හිමි වූයේ ආරූරන් විසින් රචිත 'ආතූරසාලෛ' නම් නවකතාවට යි.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වීම සාහිත්‍යකරුවන්ට හිමිවන උසස් ගෞරවයක් බවට සළකනු ලබයි. සිව ආරූරන් මේ වනවිට පොත් 7ක් එළි දක්වා ඇති අතර ඉන් එකක් 'Innocent Victims'' නම් ඉංග්‍රීසි බසින් රචිත කෘතියකි. සාහිත්‍ය සම්මානයක් හිමි වූ ඔහුගේ පළවෙනි නව කතාව 'යාලිසෛ' නම් වේ. ඔහුගේ සාහිත්‍ය නිර්මාණ 7න් 4කට ම සාහිත්‍ය ඇගයුම් හිමි වී ඇත.

2022 රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වූ නව කතාව උතුරු පළාත් හොඳම නව කතාව ලෙස ද සම්මානයට පාත්‍ර විය.

හොඳම සාහිත්‍යකරුවාට පිරිනැමෙන උදයනන් සම්මානය ද ආරූරන්ට හිමි විය. 'යාවරුම් කෙලීර්', 'වලසෛප් පරවෛගල්' ' ඌමෛ මෝගම්' සහ 'පූමාංචෝලෛ' යන කෘති ඔහුගේ අනෙක් නිර්මාණ අතර වේ. ''ඌමෛ මෝගම්' යන නව කතාව 2020 රාජ්‍ය සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශ විය. එසේම එම කෘතියට උතුරු පළාතේ සංස්කෘතිය දෙපාර්තමේන්තුව විසින් හොඳම නව කතාවට හිමි සම්මානය පිරි නමන ලදී.

සිව ආරූරන් පමණක් නොව විවේකානන්දනූර් සතීෂ් ආදි සාහිත්‍යධරයන් කිහිප දෙනෙක්ම පසුගිය සමයේ රජය විසින් නිදහස් කරනු ලැබීය.

Latest