කොළඹ කොන්ක්‍රීට් කැලෑ ඇතුලෙ ජීවත්වෙන ගොඩක් අයගෙන් ඇහුවොත් තමන්ගෙ රිටයර් ප්ලෑන් එක මොකද්ද කියලා, ඈත කන්දක් පාමුල ගඟක් අයිනක ලෑලි ගෙයක් හදාගෙන නිදහසේ ජීවත්වීම, එහෙම නැත්නම් දුෂ්කර ගමක මැටි ගෙදරක නිදහසේ හුස්ම ගන්න එක කියන උත්තරය සැහෙන්න වතාවක් හම්බවෙයි.
හැබැයි පෝස්ට් මෝඩර්න් (postmodern) ස්මාට් ලෝකෙක හිරවෙලා, ෆෝන් එකේ ඩේටා ඉවර උනාම, කරන්ට් නැතිවුනාම, වියදමට අතේ සල්ලි නැති උනාම ඒ ෆීල් එක දරාගන්න බැරි කෙනෙක්ට පුලුවන්ද වයසට ගියහම ඒකෙන් ගැලවෙන්න. සල්ලි මූලික වෙච්ච ජීවිතේක, ගෙවල්වල ඉදන් ස්මාට් ෆෝන් එකක් තුලින් ලෝකෙට කනෙක්ට් වෙන හැමෝටම තියනවා නඩත්තු කල යුතු ජීවිතයක්.

ට්‍රැවලින් කියලා කන්දක් උඩට නැගලා ෆේස්බුක් ලයිව් එන, ට්‍රැවල් සම්බන්ධ හෑෂ් ටැග් දාලා සමාජ ජාල ඇතුලෙ තමන්ගෙ ප්‍රතිරුප නඩත්තු කරන කාට හරි පුලුවන්ද ඇත්තටම සමාජීය බැදීම් අතෑරල නිදහසේ සතියක් කැලේක ජීවත්වෙන්න. ඒවගේම ලිබරල් ධනවාදයට විරුද්ධව සටන්වදින එක මනුස්සයෙක්ට පුලුවන්ද සල්ලි කියන දේ පුච්චන්න.
බැඳීම්, නඩත්තු කිරීම්, ආශාවන්, මුදල්, යාන වාහන විතරක් නෙවෙයි, තමන්ගෙ අනන්‍යතාව පවා අයින්කරගෙන, ජීවත්වෙන්න අතයවශයම දේවල් ටිකක් විතරක් මල්ලක දාගෙන ජීවිතේ ගැන අලුත් අත්දැකීම් හොයාගෙන යන්න කාටහරි පුලුවන්ද?
ඇලෙක්ස් යනවා අන්න ඒ විදිහට ලොකූ ජර්නි එකක් ඇලෙස්කාවට. අපේ විශන් එකට අනුව අපි දකින බැදීම්, ආශාවල් සේරම එක ක්ෂණයකින් ඇලෙක්ස් අත ඇරලා දාන විදිහ හිතන්නවත් බැරුව අපිට ඔහු යන ඒ ගමන දිහා කට ඇරන් බලන් ඉන්න වෙනවා.

මං ඒ වැඩේට මාර ලව්. හිත යටින් අපි කැමති ලව්, රිලේශන්ශිප්, ආශාවල්, හැපි එන්ඩින් මේ කිසිදෙයක් "Into the Wild" ෆිල්ම් එක ඇතුලෙ වෙන්නෙ නෑ. ෆිලිම් එක අවසානෙ, ඇලෙක්ස් තරුණ වයසෙදිම තට්ට තනියම ඇලෙස්කාවෙ කැලයක් ඇතුලේ මැරිලා යද්දි ෆිල්ම් එක බලන ඒ වයිබ් එකේ නැති ඕනිම කෙනෙකුට හිතෙන්නේ, අපරාදෙ පිස්සෙක් නිරපරාදෙ ජීවිතේ නාස්තිකරගත්තා කියලා.
හැබැයි මම කියනවා, අපිට වැරදුනෙත් එතන. තනියම උනත් ඇලෙක්ස් ජීවිතේ හොයාගත්තා. ඒකත් එක්ක බලද්දි උපදින දවසෙ ඉදල, අපිවම නඩත්තු කරන්න සල්ලි, බලය පොදි ගහගෙන දවසක මැරිලා යන අපි, ඇත්තටම ජීවිතේ හොයාගෙනද.

"ආයෙමත් ඔයාගේ තුරුලට ආවොත්.., ඒත්, දැන් මං ඒකට හොඳටම ප්‍රමාද වැඩියි අම්මේ..
ඉමක් කොණක් නොපෙනෙනා නිදහස...
දුරකථන නෑ, රංචු ගැහෙන්න කල්ලි නෑ, හුරතලේට ඇතිකරන සත්තු නෑ, සිගරට් නෑ, ඉතිං මේ කිසිවක්ම නෑ..
මහමඟ තමන්ගේ නිවහන කරගත්තු අන්තවාදියෙක්, ලෝකයේ සුන්දරත්වය හොයා යන මගියෙක්..
ඉතිං අදින් තවත් වසර දෙකකින් මේ ගමන් මඟේ අතිශ්‍රේෂ්ඨතම අවසානය ළඟාවේවි..
ලෑල්ලක් පිහිතුඩකින් පසාරු කරමින් සටහනක් තබන ඇලෙක්සැන්ඩර් සුපර්ට්‍රැම්ප්, ඔහු ගැනම කියන්නේ එලෙසිනුයි..

Into The Wild සිනමාපටයට පදනම්වී තිබෙන්නේ Chris McCandless සත්‍ය ජීවිත කතාව හා ජෝන් කොවූර් විසින් රචිත ‘Into the Wild" කෘතියයි. Emile Hirsch, Marcia Gay Harden, William Hurt හා Jena Malone මෙහි ප්‍රධාන චරිත නිරූපණයේ යෙදෙනවා. "Into The Wild", Sean Penn ගේ අධ්‍යක්ෂණයක්. 2007 සැප්තැම්බර් මස එළිදැක්වූ මේ සිනමාපටය ඩො. මි. 56.3ක පමණ ආදායම් වාර්තාවක් තබලා තියනවා.
ඒ වගේම,
- 65th Golden Globe Awards - Best - - Original Song – Motion Picture ("Guaranteed")
- Gotham Awards - Best Feature Film
- Mill Valley Film Festival
- Palm Springs International Film Festival
- National Board of Review
- Rome Film Festival
- USC Scripter Award
වැනි සම්මාන උළෙලවල් රැසකදී සම්මාන රැසක් දිනා ගන්න මේ නිර්මාණයට හැකියාව ලැබිලා තියනවා.
ලියෝ තෝල්ස්තෝයිගේ "Family Happiness and Other Stories" බොරිස් පැස්ටර්නැක්ගේ "Doctor Zhivago" පොත්වල වචන කියවන ඇලෙක්ස්, නැත්නම් සැබෑ කතාවේ චරිතය වන ක්‍රිස් ඇලස්කාවේ වන වදුළු අතර තනිවෙනවා. මේ කාලේදී ඔහු සිය නිවහන කරගන්නේ කැලෑවේ අතහැර ගිහිං තිබුණු පුංචි බස් රථයක්.

"සතුට හැබෑවක් බවට පත්වෙන්නේ එය බෙදාහදාගත්විට පමණයි"
නොදැනුවත්කමින් උග්‍ර විෂ සහිත පැළෑටියක් කෑමට ගෙන ඒ විෂෙන් පීඩා විඳින සිටින ක්‍රිස් "Doctor Zhivago" කෘතියේ මුද්‍රිත පේළි අතර සටහනක් තබනවා.

අවසානයේ ඒ විෂ නිසාම ජිවිතයෙන් සමුගත්ත ක්‍රිස්ටෝපර් මැක්කැන්ඩ්ලස්ගේ දිරාපත් වූ සිරුර 1992 සැප්තැම්බර් 6 වන දින, ඩෙනාලි ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ තිබී දඩයම්කරුවන් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා.
