Skip to content

අලුත් වූ මහ ලේකම් පුටුව

ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පාර්ලිමේන්තු මහ ලේකම් ධූරය සඳහා කුෂානි රෝහණධීර මහත්මිය පත් කර ඇත. ඒ අනුව 2023  මැයි මස 23 වනදා සිට නව පාර්ලිමේන්තු මහ ලේකම් වශයෙන් කටයුතු කරණුයේ එතුමිය වන අතර මේ වන විට ඇය පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් ලෙස සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටී. පාර්ලිමේන්තු සභාවේ එකඟත්වය අනුව ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත්තේ වත්මන් පාර්ලිමේන්තු මහ ලේකම් වන ධම්මික දසනායක මහතා විශ්‍රාම යෑම හේතුවෙනි.

පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පාර්ලිමේන්තුවේ ප්‍රධාන විධායක නිළධාරියා වන අතර මෙය ව්‍යවස්ථානුකූලව ආරක්ෂක තනතුරකි.  පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා සතු ප්‍රධාන කාර්යයක් නම් පාර්ලිමේන්තු පටිපාටිය, පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල භාවය ස්ථාවර නියෝග, වරප්‍රසාද සහ පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වයට අදාළ අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් කථානායකවරයාට සහ මූලාසනය දරන වෙනත් නිලධාරීන්ට උපදෙස් දීමය.

පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ වගකීම් ඉටු කිරීමේදී ඔහුට නියෝජ්‍ය පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ සහ සහකාර පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ සහාය ලැබෙන අතර  මහලේකම්වරයා පාර්ලිමේන්තුවේ ප්‍රධාන පරිපාලකයා මෙන්ම ගිණුම් නිලධාරියා ද වේ. එපමණක් නොව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාගේ කාර්ය මණ්ඩලය පත්කරනු ලබන්නේ කථානායකවරයාගේ අනුමැතිය ඇතිව මහලේකම්වරයා විසින් වන අතර මහලේකම්වරයා හෝ ඔහුගේ නාමිකයා, පාර්ලිමේන්තුව විසින් පිහිටුවනු ලැබ ඇති සියලුම කාරක සභාවල ලේකම්වරයා වශයෙන් ද කටයුතු කරයි.

මෙම ධූරය සඳහා පත් වූ දෙවන කාන්තාව කුෂානි රෝහණධීර මහත්මිය වන අතර මීට පෙර 2002 වසරේ සිට 2008 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු මහලේකම් ලෙස ප්‍රියානි විජේසේකර මහත්මිය කටයුතු කර ඇත.

Latest