Skip to content

ස්පාඤ්ඤයේ මිලියනයක් Netflix අත්හරී

Netflix ආයතනය විසින් හදුන්වා දුන් නව මුරපද නීතිය මේ වන විට රටවල් කිහිපයක පමණක් ක්‍රියාත්මක වී තිබෙනවා. කැනඩාව, නවසීලන්තය,පෘතුගාලය,ස්පාඤ්ඤය හා ලතින් ඇමරිකානු රටවල් කිහිපයක් ඒ අතර වනවා. ඒ අනුව එකී රටවල පරිශීලකයින්ට තවදුරටත් තමාගේ නිවසේ පදිංචි නොවන පුද්ගලයන් සමග ගිනුම හුවමාරු කරගැනීමේදී යම් ගෙවීමක් කිරීමට සිදුවනවා.

පසුගිය පෙබරවාරි මාසයේදි ස්පාඤ්ඤයේ මෙම යාවත්කාලීනකිරීම සිදුකිරීමත් සමග පරිශීලකින් මිලියනයකට අධික ප්‍රමාණයක් Netflix අත්හැරදමා ඇති බවට වාර්තාවනවා. එය අත්හැරදැමීමකට වඩා අත්හැරදැමීමට සිදුවීමක් බව කිවහොත් නිවැරදියි. මෙම මිලියනයකට අධික පරිශීලකයින් අතර බොහෝ දෙනා, අනුන්ගෙ පහනින් එළිය බැලූවන් බව, එය ඒ අයුරින්ම කරන මමත්, බොහෝවිට ඔබත් දන්නා කරුණකි. එනම් මේ අතර බොහොමයක් දෙනා හිතවතෙකු විසින් මිලට ගත් ගිනුමකට ලොග් වී Netflix නැරඹූවන්ය.

මෙම සිදුවීම නිසා Netflix හි ආදායමට සෘජු බලපෑමක් සිදුනොවුණත් වක්‍රාකාරව යම් බලපෑමක් සිදුවනු ඇති. මෙම නීතිය ගෙන ඒමට පෙර, පරිශීලකයින් විසින් Netflix හි නැරඹූ චිත්‍රපට, කතා මාලාවන් පිළිබද සිදුකළ ගුණදොස් විවේචනයන්වල අඩුවීමක් පැහැදිලිවම දක්නට හැකි වේවි. ඒ අනුව Netflix සදහා වූ ස්වභාවික ප්‍රචාරණ මාධ්‍යයේ පහළ බැසීමක් අපේක්ෂා කළ හැකියි. ඒ බව ඔවුන්ගේ පළමු කාර්තුවේ ආදායම් වාර්තාව අධ්‍යනයෙන්ද පෙනී යනවා.

කෙසේනමුත්, මෙතෙක් කල් නොගෙවා Netflix නැරඹූ අයවලුන් ඒ සදහා ගෙවා ලියාපදිංචි වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා. කැනඩාව ඒ සදහා උදාහරණයක් බව ඔවුන් පෙන්වාදෙනවා. නව නීතියත් සමග කැනඩාවේ Netflix සදහා ගෙවීම් සිදුකරන පරිශීලකයින්ගේ වැඩිවීමක් සිදුවී ඇති බවත් එය ආදායමේ ඉහළ යාමට බලපෑ ඇති බවත් Netflix ආයතනය පවසනවා. නමුත් ගෝලීය වශයෙන් ගෙවීමක් සිදුනොකර Netflix නරඹන පුද්ගලයින් ගණන මිලියන 100 කට ත් අධික වන බව ඔවුන් සදහන් කරනවා.

වසරේ දෙවනි කාර්තුව වන විට මෙම තත්වය පාලනය කොට ශීඝ්‍ර ආදායම් වේගයක් අත්කරගැනීමට ඔවුන් අපේක්ෂාවෙන් සිටිනවා. ඒ මෙතෙක් කල් අපිට තිබුණු සහනය, දහනය කොටය.

Latest