Skip to content

ඡන්ද කොල්ලයකින් පවුල්වාදය ඇරඹුණු වගයි

ලාංකේය දේශපාලනය පිළිබඳ සංවාදයක් ගොඩනැගීමේදී පවුල්වාදය යන සංකල්පය මගහැර යා නොහැකිය​. පවුල්වාදය යැයි කියූ පමණින්ම අපගේ පරම්පරාවට දෘශ්‍යමාන වන්නේ රාජපක්‍ෂ නම් බූවල්ලාය​. තම පවුලේ සාමාජිකයන් කොපමණ දැයි කියා ගණන් තැබීමට පවා අපහසු ආකාරයෙන් ඔවුන් රාජ්‍ය යාන්ත්‍රණයේ යම් යම් නිලයන් හෙබවීම සඳහා බලය පැවති සමයන්හි ස්ථානගත කර තිබිණි​. පවුල්වාදය නිසාවෙන් අප රටට සිදුවූ විනාශය මෙතෙකැයි කියා ලඝු කොට පැවසීමද සැබවින්ම අපහසුය​. මෙම සටහන තැබීමේ පරමාර්ථය වන්නේ පවුල්වාදයේ ආරම්භය පිළිබඳ පැහැදිලි අදහසක් ඔබ හමුවේ තැබීමය​. එයට අමතරව විශේෂයෙන්ම අවධාරණය කල යුතු තවත් එක් වැදගත් කරුණක් ආරම්භයේදීම දක්වා තැබීම පාඨක ඔබ සැමටත් මා හටත් පහසුවක් වනු ඇත​. රදළයන්, මුදලිවරුන් හෝ විවිධ කුල නියෝජනය කරන කිසිවෙකු හෝ කිසිදු පාර්ශවයක් විශේෂ කොට දැක්වීමට මා හට කිසිදු උවමනාවක් නැත​. අතීත සමාජ ක්‍රමයන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ සත්‍ය කරුණු ගෙනහැර දැක්වීමේ දී  එකී කුලයන්ගේ මැදිහත්වීම් සහ ක්‍රියාත්මක වීම් පිළිබඳ තොරතුරු සටහන් කල යුතු වන අතර, පසුගාමී බෙදා වෙන් කිරීමේ අදහස මා දැඩිව පිළිකුල් කරන්නක් බව ද​ දක්වනු කැමැත්තෙමි​.


1936 වර්ෂයේ පැවති රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය යනු පවුල්වාදය සඳහා මුල පිරීම වශයෙන් හැඳින්විය හැකිය​. ශ්‍රී ලංකාවට සර්ව ජන ඡන්ද බලය ලැබෙනුයේ 1931 දීය​. එම වසරේම රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයද පවත්වා ඇති අතර එහි දෙවැනි මැතිවරණය වන්නේ 1936දී පවත්වන ලද රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය ය​. ලංකාවේ පවුල්වාදය නම් පිළිලය රෝපණය වනුයේ මෙකී 1936 වර්‍ෂයේය​. 1931 මැතිවරණයෙන් ඩී එස් සේනානායක සහ ඔහුගේ ඥාති පුත්‍රයෙකු වන ජෝන් කොතලාවල, මන්ත්‍රීවරුන් ලෙස තේරී පත් වී ඇත​. 1936 වන විට ඩී එස් සේනානායකට උවමනා වී ඇත්තේ තම වැඩිමහල් පුත්‍රයා දේශපාලනයට අත්පොත් තැබීමට කැඳවාගෙන ඒමටය​.

නමුත් ඔහු 1931 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය සඳහා කැඳවාගෙන නාවේ මන්ද යැයි හැගීමක් ඔබට ජනිත වීමට පුළුවන​. එවකට ඔහු සිට ඇත්තේ එංගලන්තයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු වශයෙන් නීතිවේදය​ පිළිබඳ හදාරමින් ය​. ඩඩ්ලි සේනානායක සිය නීතිවේදී උපාධිය හදාරා අවසන් කර ලංකාවට පැමිණෙනුයේ 1936 මැතිවරණය පැවැත්වීමට මාස 06කට පෙරාතුවය​. දැදිගම ආසනයෙන් ඩඩ්ලිගේ දේශපාලන දිවියේ ආරම්භය සනිටුහන් කරවීම ඩී එස් සේනානායකගේ අරමුණ වී තිබී ඇත​. තමාගෙන් පසුව මෙම දේශපාලන තුලනයේ ඉදිරි භාරකාරයා වීම සඳහා ඩී එස් සේනානායක විසින් ඩඩ්ලි සේනානායකට මැතිවරණයට ඉදිරිපත් වන මෙන් යෝජනා කර ඇත​.

ඩඩ්ලිට අමතරව තමන්ගේ තවත් ඥාතියෙකුද දේශපාලනයට කැඳවා ගෙන ඒමේ උවමනාවක් ඩී එස් සේනානායක සතු විය​. ඔහු නමින් සිරිපාල සමරක්කොඩි වූ අතර ඥාතීත්වය පිළිබඳ සලකා බැලුවහොත් ඩී එස් ගේ සහෝදරයෙකු වූ එෆ් ආර් සේනානායකගේ භාර්‍යාවගේ සහෝදරයාගේ පුත්‍රයාය​. මේ සහෝදරයා එඩ්මන්ඩ් සමරක්කොඩි වන අතර, ඔහු ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනය තුල ඉතාමත් කීර්තිමත් චරිතයක්ව සිට ඇත​. මොවුහු දේශපාලනය ආරම්භ කිරීම සඳහා තෝරාගන්නා ලද මැතිවරණ කොට්ඨාස/ආසන සහ ඒවායේ තරග කිරීම සඳහා ඔවුනට තිබූ සුදුසුකම් පිළිබඳව ද පිරික්සා බැලීම වටී.

අතීතයට දිවගිය​ විට ඩී එස් සේනානායක තරග කොට ඇත්තේ මිනුවන්ගොඩ ආසනය සඳහාය​​. එහි යම් සාධාරණත්වයක් ඇතැයි පෙනී යන්නේ ඔහු පදිංචිව සිට ඇති බෝතලේ ගම්මානය මෙකී ඡන්ද කොට්ඨාසයට අයත් වීම නිසාය​​. නමුත් ජෝන් කොතලාවල මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්ව ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩන්ගස්ලන්දෙන් ය​. දොඩන්ගස්ලන්ද සහ ජෝන් කොතලාවල අතර තිබූ සම්බන්ධය කුමක් වන්නට ඇත් ද​? සේනානායක සහ කොතලාවල පවුල්වලට අයත්ව තිබූ මිණිරන් පතල් පිහිටා තිබුණේ මෙම ප්‍රදේශයේය​. තතු දත්තවුන් සඳහන් කර ඇති ආකාරයට දවටගහ පතල ඇතුළු මිනිරන් පතල් සමූහයක් මෙම ප්‍රදේශයේ පිහිටා තිබී ඇත​. එනයින්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ බොහොමයක් දෙනාට මෙම පතල් ආශ්‍රිතව රැකියාවන් හිමිව තිබී ඇත​. ජෝන් කොතලාවල සිය දේශපාලන පදනම කර ගත්තේ මොවුන්වය.

සිරිපාල සමරක්කොඩි නාරම්මල ආසනයට ඉදිරිපත්ව ඇති අතර ​සේනානායක පරම්පරාව සතුව තිබූ විශාල වතුයායක් නාරම්මල මැතිවරණ කොට්ඨාසය තුල පිහිටා තිබී ඇත​. සිරිපාල සමරක්කොඩි සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවා ඇතැයි සැලකෙන්නේ මෙකී වතු යායේ සිට බව තතු දත්තෝ පවසති. ඩඩ්ලි සේනානායක තරග කරන ලද දැදිගම ආසනය වෙනුවෙන් ද ඔවුනට තිබී ඇති සම්බන්ධය වී ඇත්තේ සේනානායකලාට අයත්ව තිබූ අති විශාල වතුයායක් දැදිගම ආසනය තුල පිහිටා තිබීමය​. 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ සුවිශේෂීත්වය වී ඇත්තේ 1931 වසරට සාපේක්‍ෂව ලංකාවේ ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව ඉතා විශාල ලෙස වැඩිවී තිබීමය​. එම වැඩිවීම කොතෙක්දැයි කිවහොත් මොරවක වැනි ආසනවල ඡන්ද දායකයින්ගේ වැඩිවීමේ ප්‍රතිශතය 137% කින් 1936 වකවානුව වන විට පෙන්නුම් කර ඇත. මුළු ඡන්ද සංඛ්‍යාව 100% ප්‍රතිශතය ඉක්මවා ගිය ආසන ගණනාවක්ම එවකට තිබී ඇත​.

1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයට නාම යෝජනා කැඳවන ලද අතර නාම යෝජනා භාරගන්නා ලද දිනය වී ඇත්තේ එම වසරේ ජනවාරි මස 15 වනදාය​. මේ වන තුරුම සේනානායක පවුල් ඛණ්ඩය සිතා ඇත්තේ නිතරගයෙන්ම ඩඩ්ලි සේනානායකට දැදිගම ආසනය ජයග්‍රහණය කල හැකි බවට​ය​. නමුත් එය එසේ සිදු නොවිණි. නාම යෝජනා දිනය වන විට තවත් අපේක්ෂකයන් හතර දෙනෙකු ඉදිරිපත්ව සිට ඇත​. මොවුන්ගෙන් තිදෙනෙකුගේ නම් පහත පරිදි ය​.

1. රිචඩ් නුගවෙල​
2. පී.බී. දැදිගම​
3. ජේ. ඩබ්ලිව්. උදලාගම​

මොවුන් තිදෙනාම රදළයන් නොහොත් වලව්කාරයන් ය​. මේත් සමගම ඩඩ්ලි සේනානායක නිතරගයෙන් මන්ත්‍රීවරයෙකු කල නොහැකි බව සේනානායකලා හට පසක් විය​. රදළ අපේක්‍ෂකයින්ගේ ඡන්ද ඉක්මවා යම් පමණකින් හෝ ඩඩ්ලිට ජයග්‍රහණය කල හැකි යැයි තබා ගත් අවසානාත්මක බලාපොරොත්තුව ද සුණු විසුණු වී යන්නේ මැතිවරණයට ඉදිරිපත්වූ අවසාන අපේක්‍ෂකයා නිසාවෙන් ය​. ඔහු එන්. එච්. කීර්තිරත්නය​.

එන්. එච්. කීර්තිරත්න

රඹුක්කන ප්‍රදේශයේ සිටි ඉඩම්හිමි වැවිළිකරුවෙකු වන එච්. එච් සයියාගේ පුත්‍රයා වන කීර්තිරත්න වැවිළිකරුවෙකු මෙන්ම සමාජ සේවකයෙකු වශයෙන්ද ප්‍රසිද්ධව සිට ඇත​. මේ හේතු සාධකයන් නිසාවෙන්ම දැදිගම ආසනය තුල යම් බලපෑමක් කිරීමේ හැකියාව ඔහුට තිබී ඇත​. සේනානායක පවුල බිය වූ තීරණාත්මකම සාධකය වූයේ දැදිගම ආසනයේ ඡන්ද පදනම පිළිබඳ ඔවුනට තිබූ අනෙක් අවබෝධය නිසාවෙන්‍ ය​. එවර මැතිවරණයේදී දැදිගම ආසනයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව වී ඇත්තේ 39,228කි. මෙයින් දාහතර දහසකට වැඩි ප්‍රමාණයක් තිබී ඇත්තේ කීර්තිරත්න නියෝජනය කර ඇති කුලයේ ඡන්දය​. ඒ නම් බත්ගම කුලයේ ඡන්දය​. ඒ හැරුණු විට වහුම්පුර ඇතුළු බත්ගම කුලය හා සමාන වෙනත් කුල කිහිපයක ඡන්ද ද පන්දහසකට වඩා වැඩි ප්‍රමාණයක් තිබී ඇත​. දැදිගම ආසනයේ වතු ආශ්‍රිත රැකියාවන්හි නියුතු කම්කරුවන්ගේ ඡන්ද තුන් දහසකට වඩා ද​ තිබී ඇත​.

මේ තත්වය සේනානායක පිරිස තැතිගැන්වීමට සමත් වී ඇති අතර ඔවුන් කෝපයෙන් ඇවිලී ගොස් ඇත​. නිතරගයෙන් ඩඩ්ලි සේනානායක දිනවීමේ වෑයම මුල් අපේක්‍ෂකයන් තිදෙනා නිසා යම් ආකාරයකින් ඇහිරී යන අතර කීර්තිරත්න මැතිවරණයට ඉදිරිපත් වීම අරඹයා ඩඩ්ලි පැරදේවිද යන සැකයත් සේනානායකලා තුල ඉස්මතු වී ඇත​. ලියාපදිංචි ඡන්ද තිස්නව දහසක වැනි ප්‍රමාණයකින් ඡන්ද දාහතර දහසක් පමණ නියෝජනය කරනු ලබන අපේක්‍ෂකයෙකු ඉදිරිපත් වූ විට ඔහු පිළිබඳව යම් බලාපොරොත්තුවක් ඇතිවීම ස්වාභාවිකය​. නාමයෝජනා භාරගන්නා ලද 1936 ජනවාරි මස 15 වනදා කෑගල්ල කච්චේරියේ කතාබහ තිබී ඇත්තේ ද මේ මැතිවරණයෙන් කීර්තිරත්න කිසි ලෙසකින් වත් පරාජය කල නොහැකි බවටය​​. බත්ගම කුලයේ සහ ඒ හා සමාන කුලයන්හි ඡන්ද කීර්තිරත්නට ලැබෙනා බව සක් සුදක් සේ පැහැදිළිව පෙනෙන්නට විය​.

සේනානායක පවුල් ඛණ්ඩය නියෝජනය කරනු ලබන ගොවිගම කුලයේ ඡන්ද ද ඩඩ්ලිට ලැබේවිද යන ප්‍රශ්නාර්ථය මතුව තිබී ඇත​. මක් නිසාද යත් ඉහත නම් සඳහන් කරන ලද රදළ අපේක්‍ෂකයන් තිදෙනා ද මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටි නිසාවෙන් ය​. තත්වය එලෙස පැවතියද කෙසේ හෝ ඩඩ්ලි දිනවීමේ උවමනාව සහ ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීමට සේනානායක පරම්පරාව තීරණය කොට ඇත​. එහි ප්‍රතිඵලයක් වශයෙන් නාමයෝජනා භාර දී දින තුනකට පසුව කෑගල්ල ප්‍රදේශයේ එක්තරා ස්ථානයක ඔවුන් විසින් සාකච්ඡාවක් පවත්වා ඇත​. මූලාශ්‍ර වල සඳහන් වන ආකාරයට සාකච්ඡාව පවත්වා ඇත්තේ එවකට  ෙජ්‍යෂ්ඨ නීතීඥයෙකු වූ වික්‍රමසිංහ නම් අයෙකුගේ නිවසේදීය.

එහිදී ඇති කරගන්නා ලද එකගතාවයකට අනුව ඉහතින් නම් සඳහන් කරන ලද පී.බී. දැදිගම නම් අපේක්‍ෂකයා මැතිවරණයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත​. එහිම​ දිගුවක් වශයෙන් මැතිවරණයේදී ඩඩ්ලි සේනානායකට සහය පළ කිරීමට ද ඔහු විසින් එකග වී ඇත​. නමුත් අපේක්‍ෂක කීර්තිරත්නගේ ප්‍රශ්ණය එලෙසින්ම පැවති අතර ඔවුන් සමග සාකච්ඡා කිරීමටද සේනානායකලා උනන්දු වී නැත. මක් නිසාද යත් සාකච්ඡා කිරීමට තරම් කීර්තිරත්නලා සම මට්ටමක නොවන බවට සේනානායකලා සිතා සිටීමය​. සඳහන් වන ආකාරයට වයස අවුරුදු 24 ඉක්මවා මාස කිහිපයක් ගතවූ බොහොම ලැජ්ජාශීලී තරුණයෙකු වශයෙන් එවකට ඩඩ්ලි සේනානායක හඳුන්වා දීමට පුළුවන​.

දේශපාලනය පිළිබඳ කිසිදු උනන්දුවක් නොතිබූ ඔහු වඩා ප්‍රිය කොට ඇත්තේ කෙළිදෙළෙන් කාලය ගත කිරීමටය​. විවිධ වූ සංචාරයන්හි නිරත වීමත් ඡායාරූපකරණයත් ඔහුගේ විනෝදාංශයන් බවට පත්ව​ වී තිබී ඇත​. නමුත් සිය පියාගේ නියෝගය නිසාවෙන්ම එවකට අත්විඳිමින් තිබූ නිදහස පසෙකින් තබා ඔහුට දේශපාලනයට පිය නැගීමට සිදු විය​. පිරිසක් ඉදිරියට ගොස් ආකර්ශණීය ලෙස ඔවුන්ව ආමන්ත්‍රණය කිරීම සඳහා ඔහුට මුල් කාලීනව හැකියාවක් තිබී නැත​. නමුදු ඩී එස් සේනානායක ඒ වන විටත් ඩඩ්ලිට අවශ්‍ය කරන දේශපාලනික පදනම සහ වටපිටාව නිර්මාණය කර තිබූ නිසාවෙන් ඔහුට ඒ සඳහා අමුතුවෙන් වෙහෙස වීමට අවශ්‍ය වූයේ ද​ නැත​. මෙම මැතිවරණය අවසානයේ සම්පූර්ණයෙන්ම ගොවිගම සහ බත්ගම​ වශයෙන් කුල ගැටුමක් බවට පත්වී ඇත​.

ඡන්ද මධ්‍යස්ථාන එකොළහකදී දැදිගම ආසනයේ ඡන්ද විමසීම් සිදුව ඇති අතර; දොරව සහ දමුණුපොළ නම් මෙම එකොළහට අයත් ඡන්ද මධ්‍යස්ථාන දෙකක් පිහිටා තිබී ඇත්තේ බත්ගම කුලයේ බහුතරයක් පදිංචිව සිටි ගම් දෙකක් මධ්‍ය කොට ගෙනය​​. අනෙක් ඡන්ද මධ්‍යස්ථාන පිහිටා තිබී ඇති බවට සඳහන් වන්නේ තරමක් ඈතින් ය​. එබැවින් මෙම ඡන්ද මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම සඳහා බත්ගම කුලයේ පිරිසට ගොවිගම බහුතරයක් වෙසෙන ගම්මාන මැදින් යොමුවීමට සිදුවී ඇත​. දැදිගම ආසනය තුළ තත්වය එසේ තිබියදී ඩඩ්ලිගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම සඳහා භාර දී ඇත්තේ ජෝන් කොතලාවලටය​.

තතු දන්නෝ සඳහන් කරන පරිදි නම් ඔහු චණ්ඩියෙක් ය​. ඔහුගේ පියාටද මෙම චණ්ඩිකම ඈඳී ඇත​. ජෝන් කොතලාවල විසින් තමන්ට පැවරුණ කාර්යය අකුරටම සිදු කිරීම සඳහා වග බලා ඇති අතර සැබවින්ම ඩඩ්ලි මෙම මැතිවරණ ව්‍යාපාරයේ දැවැන්ත කාර්යභාරයක් සිදු කොට නැත​. ඩඩ්ලි විසින් සිදු කරන ලද්දේ රැස්වීම් සංවිධානය කල විට එම ස්ථාන වලට ගොස් කතා පැවැත්වීම පමණක් ය​. ඩඩ්ලිගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා තම දොඩන්ගස්ලන්දේ පිහිටි මිනිරන් පතල් වල සේවය කල මැරයන් ගෙන්වීමට ජෝන් කොතලාවල වග බලා ගත්තේය​. ඔවුහු ඩඩ්ලිගේ මැතිවරණයට සහයෝගය පිණිස දැදිගම ආසනය පුරා තැන තැන ඒකරාශී වී සිට ඇත​.

මැතිවරණය 1936 පෙබරවාරි 22 වනදා සිට මාර්තු මස 07 වනදා දක්වා පැවැත්විණ​. ඩඩ්ලි සේනානායකගේ ඡන්ද ව්‍යාපාරය නියමාකාර ලෙස ආරම්භ වූවේ මැතිවරණය ආරම්භ වීමට පෙර දින, එනම් පෙබරවාරි මස 21 වනදාය​. එදින දොඩන්ගස්ලන්දෙන් ගෙන්වා සිටි මැරයන් බත්ගම කුලයේ බහුතරයක් විසූ ගම්මාන වලට ගොස් චණ්ඩිකම් පෙන්වා ඇත​. ඔවුහු ගම්මාන වල සිට ඡන්ද මධ්‍යස්ථාන දක්වා පැමිණීමට තිබූ මාර්ග අවහිර කර ඇත​. තතු දත් පිරිස සඳහන් කරන ආකාරයට ඔවුන් විසින් ඒදඩු (එවකට පාලම් බහුල වශයෙන් තිබී නැත​) කඩා බිඳ දමන ලද අතර ඡන්දය දැමීම සඳහා පැමිණියහොත් "මරණවා", "ගෙවල් ගිණි තබනවා" යනුවෙන් ද​ ගෙවල් වලට වැදී තර්ජනය කොට ඇති බව සඳහන් ය​.

බියට පත් බොහෝ ඡන්ද දායකයන් මේ නිසා ඡන්දය භාවිතයෙන් වැළකී සිට ඇත​.​ මෙය විශ්වාස කිරීමට ද තරමක් අපහසු කාරණයක් යැයි ඔබට හැගුන ද එකල දේවාලේගම වැනි ගම්වල මෙම මැරයන් විසින් මහ පාරේ නිර්වස්ත්‍රව අසෝභන ලෙස හැසිරී ඇති අතර එම ක්‍රියා තුලින් ඔවුන් අපේක්‍ෂා කර ඇත්තේ කාන්තාවන් ඡන්දය දැමීම සඳහා පැමිණීම වැළැක්වීමය​. බත්ගම කුලයේ බොහෝ ගම්මාන වල මෙලෙසින් පැතිර ගිය භීෂණය නිසාවෙන් බොහෝ දෙනෙකු සිය ඡන්දය භාවිතා කිරීම සඳහා පැමිණ තිබුණේ නැත​.

මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ ඒ නොපැමිණි පිරිසගේ ඡන්ද ඩඩ්ලි සේනානායකගේ මැතිවරණ පෙට්ටිය වෙත වැටීමය​​. එකල පැවති මැතිවරණයන් වල දේශපාලන පක්‍ෂ හෝ ලාංඡන ඡන්දය භාවිත කරන අවස්ථාවේ තිබී නැති අතර ඒ ඒ අපේක්‍ෂකයා හට වෙනම ඡන්ද පෙට්ටියකුත් ඔවුනට වෙන්වූ යම් වර්ණයකුත් තිබී ඇත​. ඡන්ද දායකයා හට සුදු කඩදාසියක් හිමිවන අතර තමන් කැමති අපේක්‍ෂකයාගේ වර්ණය සහිත පෙට්ටියට එම කඩදාසිය දැමීමෙන් මනාපය යොමු කල හැකිව තිබිණ​. ඉදින් ඔබට සිතාගත හැකිද​? මෙලෙසින් ඩඩ්ලි සේනානායකගේ ඡන්ද පෙට්ටියේ ඡන්ද සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවී ඇති අතර සිදු විය යුතු පරිදිම අවසානයේදී මැතිවරණයෙන් ඩඩ්ලි සේනානායක ජයග්‍රහණය කොට ඇත​. ඒ අනුව ඡන්ද ප්‍රතිඵල සඳහන් වී ඇත්තේ පහත පරිදිය​.

ඉහතදී සඳහන් කළ​ දොරව සහ දමුණුපොළ ඡන්ද මධ්‍යස්ථානයන්ගෙන් කීරිතිරත්නට වැඩිම මනාප ප්‍රමාණයක් ලැබී ඇති අතර, මැතිවරණය පවත්වා තිබූ දූෂිත ආකාරය නිසාම මෙම ප්‍රතිඵලය පිළිබඳව කිසිවෙකුත් පුදුම වී නැත​. කීර්තිරත්න විසින් අනතුරුව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කොට ඇති අතර නීතිමය ගැටළුවක් මත එම පෙත්සම නිශ්ප්‍රභ වී තිබේ​. සැබෑ ලෙසම සිදුවී ඇතැයි සැලකෙන්නේ මෙම මැතිවරණ ව්‍යාපාරය තුළ ඩඩ්ලි අපේක්‍ෂකයා වශයෙන් රූකඩයක් ලෙස හැසිරීම පමණක් වන අතර සියල්ල ඩී එස් ගේ සහ ජෝන් කොතලාවලගේ අවශ්‍යතාවය සහ මෙහෙයවීම මත සිදුව ඇත​. මෙලෙසින් ඩඩ්ලි සේනානායකගේ දේශපාලන දිවිය ආරම්භ කිරීමට ඩී එස් විසින් මංපෙත් විවර කර දී ඇති අතර, ක්‍රමයෙන් ඩී එස් ගේ ස්ථානයට ඩඩ්ලි පැමිණි ආකාරය ඔබ සැම දන්නා කරුණකි. ඩී එස් මිය යාමට ප්‍රථම තම පුත්‍රයාට අගමැතිකම ලබා දෙන මෙන් ඔහු විසින් ආණ්ඩුකාරවරයාගෙන් එවකට​ ඉල්ලීමක් කර ඇත​.

"ගෙවී ගිය වසර 20 තුළදී ලංකාවේ සිදුවූ බිහිසුණුම සහ ප්‍රචණ්ඩම මැතිවරණ ව්‍යාපාරය වශයෙන් 1936 ඩඩ්ලි සේනානායකගේ මැතිවරණ ව්‍යාපාරය හැඳින්විය හැක​." මේ ලේඛකයෙකු විසින් වසර 20කට පසුව තබා තිබූ සටහනකි. ජේ ආර් චරිතය කෘතිය රචනා කරන ලද මාහාචාර්‍ය කේ එම් දි සිල්වා සහ Howard Wriggins යන ලේඛකයන් දෙදෙනා ද ඒ පිළිබඳව සටහනකින් සිය අප්‍රසාදය පළ කර ඇත​. පහතින් දැක්වෙන්නේ ධර්ම ශ්‍රී කාරියවසම් මහතා හරහා උපුටා ගන්නා ලද එම සටහනේ පළ කිරීමක් ය​.

ලංකාවට සර්ව ජන ඡන්ද බලය ලැබීමෙන් පසු පැවැත්වූ දෙවැනි මැතිවරණයේ සිට ආරම්භ වූ ප්‍රචණ්ඩ ක්‍රියාවන් ලාංකේය දේශපාලනයේ මුල් බැස ගන්නට සමත් වී ඇත​. සමස්ථ ඡන්ද ව්‍යාපාරය​ සාමකාමී එකක් ලෙස පෙණුන ද දැදිගම ආසනයේ සිදුව ඇතැයි සඳහන් වන සිදුවීම් කිසිලෙසකින් වත් අනුමත කල නොහැකි ඒවාය​. මීට අමතරව මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන ලද දිනයේ මාතලේ කච්චේරියේ විශේෂ සිදුවීමක් ද සිදුව ඇත​. මාතලේ එවක මන්ත්‍රීවරයා වූ කරල්ලියද්දේ 1936 මැතිවරණයෙන් පරාජය වී ඇති අතර එවර ජයග්‍රහණය කොට ඇත්තේ බර්නාඩ් අලුවිහාරේ ය​. පරාජය උහුලාගත නොහැකිව වියරු වැටුණු කරල්ලියද්දේ මන්ත්‍රීවරයාගේ රියැදුරා විසින් (වෑගොඩපොල යැයි හඳුන්වන අයෙක්) මන්ත්‍රීවරයාගේ තුවක්කුව උදුරා ගෙන ගොස් කච්චේරිය පුරාවට වෙඩි තබා ඇත​. වෙඩි තැබීම නිසා පුද්ගලයන් හතර දෙනෙකු මියගොස් ඇති අතර බර්නාඩ් අලුවිහාරේ ද තුවාල ලබා ඇත​. පුත්‍රයාට වෙඩි වැදී ඇතැයි සැලවීමත් සමග පියා වූ ටී බී අළුවිහාරේ හදිසි හෘදයාබාධයකින් මිය ගොස් ඇත​. මෙයද 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ කළු අකුරින් ලියැවුණු සිදුවීමක් ලෙසට වාර්තා වී තිබේ​.

ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක ලෙස සිදු කරන ලද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වරින් වර සිදුව ඇති අතර එක්තරා කලකදී නම් මැතිවරණයක් පැවැත්වුවහොත් බලය තිබූ පක්‍ෂය හොඳින් හෝ නරකින් එම මැතිවරණ ජයග්‍රහණය කල කාලයක් අපගේ දෙමාපියන් අප හට පවසා ඇත​.

එවන් අඳුරු පරිච්ඡේදයන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ තුලත් ඇති නොවේයැයි කිසිවෙකුට​ සඳහන් කරනු හැකි වේද​?

මූලාශ්‍ර සපයා ගැනීම - ධර්ම ශ්‍රී කාරියවසම් මහතා

Latest