Skip to content

"කැබිනට් මණ්ඩලයට හෝ කිසිදු ඇමතිවරයෙකුට රටේ නීතිය අභිබවා යන්න බෑ". පරිසර යුක්ති කේන්ද්‍රය කියයි.

ගම්පහ - දාරළුව ප්‍රදේශයේ තිබූ දුර්ලභ "පඩු කරද" ශාකය ඉවත් කිරීම කැබිනට් මණ්ඩලයේ සහ තමන්ගේ අනුමැතිය ඇතිව සිදුවූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණි.

ඇමතිවරය විසින් කර ඇති මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය තම අසතුට පළ කරමින් අද(12) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.

එම නිව්දනයේ මෙසේ සදහන් වේ.

ආන්දෝලනයට තුඩු දුන් crudia zeylanica හෙවත් පඩු කරද ශාකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කර ඇති කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම ශාකය ඉවත් කළේ තමන්ගේ අනුමැතියෙන් බවත්, ඒ සදහා කැබිනට් අනුමැතියක් ලබා ගෙන ඇති බවද පවසා ඇත.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 42 වන වගන්තිය යටතේ විශේෂයන් සදහන් කර ඇති ශාකයක් ඉවත් කිරීමට හෝ එවන් ඉවත් කිරීමක් සදහා නියෝග ලබා දීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට හෝ කැබිනට් මණ්ඩලයට නීතියෙන් බලයක් පවරා නැත.එම නිසා මෙම අවස්ථාවේදී බන්දුල ගුණවර්ධන ඇමතිවරයා විසින් පිළි ගෙන ඇති පරිදි එවන් තීරණයක් ගැනීමෙන් කැබිනට් මණ්ඩලය සිදු කර ඇත්තේ සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවකි.මෙම නියෝගය ලබා දුන් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සහ එයට අනුබල සහ අනුමැතිය ලබා දුන් සමස්ථ කැබිනට් මණ්ඩලයම වසර 2 සිට 5 දක්වා බන්ධනාගාර ගත කිරීම සහ රුපියල් 10,000 සිට රුපියල් 20,000 දක්වා දඩයකට යටත් කළ හැකි ආකාරයේ නීතිමය වරදක් සිදු කර ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති ජේෂ්ඨ නීතිඥ ආචර්ය රවිද්‍රනාත් දාබරේ මහතා සදහන් කරයි.

ජනතාව නීතිය අතට ගැනීමේ භයානක කම පිළිබදව බලවත් සංවාදයක් සමාජය තුළ මතුව ඇති මෙවන් අවස්ථවක කැබිනට් මණ්ඩලය හෝ කැබිනට් ඇමතිවරයෙකු විසින් නීතිය සියතට ගෙන මෙසේ අත්තනෝමතික කටයුතු වල යෙදීම අතීශය කනගාටු දායක තත්ත්වයක් වන අතර,එය පැහැදිලි ලෙස ජනතාවගේ පාරිසරික අයිතිවාසිකම් දරුණූ ලෙස උල්ලංඝනය කිරීමකි.

"කෘඩියා සෙලනිකා"  හෙවත් පඩු කරද ශාකය සම්බන්ධයෙන් ඇති සමාජ කථිකාවන්ගේ ස්වභාවය හෝ දිශානතිය කුමක් වුවත්,මෙවැනි අනීතික මැදිහත් වීම් නීතියේ ආදිපත්‍ය සුරැකීමට එරෙහිව බලවත් තර්ජනයක් ඇති කරයි.

කුමන තත්ත්වයක් යටතේ හෝ කිසිදු ඇමතිවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයට රටේ නීතිය අභිබවා කටයුතු කිරීමට ව්‍යවස්ථාපිත බලයක් නොමැති බව පරිසර යුක්ති කේන්ද්‍රය අවධාරණය කරයි.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති ප්‍රවෘත්ති නිවේදනය පහතින්.

Latest