Skip to content

නේවාසිකව මානසික ප්‍රතිකාර ලබන රෝගීන් අනාරක්ෂිතයි. ශ්‍රී ලංකාවේ ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරන සංවිධාන කියයි.

ශ්‍රී ලංකාවේ ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරන සංවිධාන සහ නියෝජිතයන් විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත  අද (29)ලිපියක් යොමු  කර තිබේ.

ඒ නේවාසික  මානසික සෞඛ්‍යය ප්‍රතිකාරයේ දී පුද්ගලයන්ගේ ආරක්ෂාව සහ මානව හිමිකම් සහතික කිරීම සඳහා වන හදිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ඉල්ලා සිටිමිනි.
ඔවුන් එලෙස ඉල්ලීම් කර ඇත්තේ, 2023 ජූලි මස 25 වන දින ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු පහරදීමක් හේතුවෙන් මිය යාමට අදාල සිද්දිය පාදක කර ගනිමින් ය.

ලංකාවේ නේවාසික මානසික සෞඛ්‍ය සේවා සපයන ප්‍රධානතම ආයතනය සහ රෝගියාගේ කැමැත්තෙන් තොරව රඳවා තබාගෙන ප්‍රතිකාර කිරීම සඳහා බලයක් ඇති එකම ආයතනය වශයෙන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය බැදී සිටී. එහි ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන  රෝගීන්ගේ ආරක්ෂාව සහතික කිරීම ද එම ආයතනය සතු වගකීමකි.

මේ තත්ත්වය තුල  මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂතුමිය  විසින්  (අද 29 ) මාධ්‍ය සාකච්ඡාවක් සිදු කරම්න් කරන ලද ප්‍රකාශය අනුව අදාළ ඝාතනය ආයතනයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුගේ හුදෙකලා ක්‍රියාවක් ලෙස සාධාරණීකරණය කිරීම තම  අප්‍රසාදයට ලක්ව ඇති බව ඔවුන් නිකුත් කල මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

එම සිදුවීමේ සත්‍ය තත්ත්වය නොසගවා මරණ පරීක්ෂණය සිදුකළ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්න පෙරේරා මහතාට සහ මෙම ඝාතනය හෙළිදරව් කල අනෙකුත් සියලු අංශයන් වලට ස්තූතිය පල කර ඇත.

ශ්‍රී ලංකාවේ අබාධ සහිත ප්‍රජාව නියෝජනය කරන සංවිධාන සහ නියෝජිතයන් ඉල්ලා සිටින්නේ මෙවැනි ඛේදජනක සිදුවීම් නේවාසිකව ප්‍රතිකාර ලබන මානසික රෝගීන්ට අත්විදීමට  සිදුවන බවට වන තොරතුරු රැසක්  තම සංගමය වෙත වාර්තා වී ඇති බැවින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඒ පිළිබඳව ලිපියක් මගින් දැනුම් දී ඇති බව ය.

තවද එම මාධ්‍ය නිවේදනය මගින් දක්වන ආකාරයට රෝගීන් සම්බන්ධ හිංසනයට පත් කිරීම් වලට චෝදනා ලබන පුද්ගලයන් සහ ආයතන පරිපාලනය විසින් ආරක්ෂා කිරීමෙන් සහ එවැනි හිංසනයන් රෝගීන්ගේ ඥාතීන්ගෙන් වසන් කිරීමෙන් වළකින ලෙසත් කණිෂ්ඨ කාර්යය මණ්ඩල සාමාජිකයන් මෙන්ම වගකීම් පැහැර හරින ලද නිලධාරීන් සම්බන්ධව ද  විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, හිංසනයට  ලක් වන මානසික රෝගීන් ට ඒ පිළිබඳව ස්වාධීන  ආයතනකට පැමිණිලි කිරිම සදහා වන සරල ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවය.

Latest