කලාපයට පතිත වූ අධික වර්ෂාව හේතුවෙන් ඊසානදිග ඉන්දියාවේ මිලියන භාගයකට ආසන්න ජනතාවක් දැඩි පීඩාවකට ලක්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටියි. වර්ෂාව හේතුවෙන් මාර්ග සහ ගම්මානයන් බොහොමයක් ජලයෙන් යටවී ඇති බවට ද එම වාර්තා වල වැඩිදුරටත් දැක්වේ. එරට ආපදා කළමනාකරණ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් දක්වා සිටියේ ඇසෑම් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 22ක් පුරා විසිරී සිටින පුද්ගලයින් 495,000කට අධික පිරිසක් මෙම ගංවතුර ආපදා තත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි.
ධාරානිපාත වර්ෂාපතනය හේතුකොට ඇසෑම් හරහා ගලා බසින බෙකී ගංගාව පිටාර ගැලීම මෙම තත්වය වඩා උග්‍ර අතට හැරීමට හේතුවී ඇත. 14,000 ක් පමණ ජනතාව සහන කඳවුරු වෙත ඉවත් කරන ලද අතර, ප්‍රාන්ත බලධාරීන් සදහන් කර සිටිනුයේ එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි. මිලියන 31 කට වැඩි ජනගහනයක් සිටින ඇසෑම් ප්‍රාන්තය අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා පැවතිය හැකි ඉන්දියාවේ නොනවතින මෝසම් සමයේදී අධික වර්‍ෂාව සහ ගංවතුර තත්වයන්ට මුහුණ දෙනු ලබයි. පසුගිය වසරේ ප්‍රාන්තය පුරා ඇති වූ අධික ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය කරුණු දක්වා සිටියි.
මෙම වසරේ ගංවතුර තත්වය පැමිණෙනු ලබන්නේ නිවර්තන කලාපීය බීපාර්ජෝයි සුළි කුණාටුව ඉන්දියාවේ බටහිර වෙරළ තීරයට දැඩි බලපෑමක් එල්ල කිරීමෙන් සතියකට පසුවය. ඒ අතරම, රටේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්ත දෙක වන උත්තර් ප්‍රදේශ් සහ බිහාර් හි උෂ්ණත්වය අඛණ්ඩව ඉහළ යමින් පවතින බැවින් උතුරු ඉන්දියාවේ සමහර ප්‍රදේශ නොසන්සුන් තාප තරංගයක් අත්විඳිමින් සිටී. එම ප්‍රදේශයන් වල අධික උෂ්ණත්වය ඉදිරි සතිය දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර, අධික උණුසුම ආශ්‍රිත සෞඛ්‍ය ගැටලුවලින් ඇති වන අවදානම් අවම කිරීම සදහා සෞඛ්‍ය බලධාරීන් විසින් අනතුරු ඇඟවීම් මෙන්ම සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බව ද සදහන් වේ.

