Skip to content

ජාතික වනජීවී පර්යේෂණ හා පුහුණු කේන්ද්‍රය නවීකරණයට


ශ්‍රී ලංකාවේ තිරසර වනජීවී සංරක්ෂණය උදෙසා මානව සම්පත සංවර්ධනය කිරිම පිණිස ගිරිතලේ පිහිටි ජාතික වනජීවී පර්යේෂණ හා පුහුණු කේන්ද්‍රය නවීකරණය කිරීමට පියවර ගෙන තිබෙනවා.

නවීකරණය කරන ලද දේශනාගාර සංකිර්ණය, නව තාක්ෂණ පහසුකම් සහිත දේශනාගාර 05කින් සමන්විත වන අතර එහි එකවර 200 දෙනෙකුට පමණ දේශන වලට සහභාගි වීමේ පහසුකම් පවතිනවා.


ඊට අමතරව 40 දෙනෙකුට පමණ එකවර සහභාගි විය හැකි නවීන ශ්‍රවණාගාරයක්ද අළුතින් එක්කර තිබෙනවා.


නවීන පහසුකම් වලින් යුත් පර්යේෂණාගාර සංකීර්ණය, උද්භිද විද්‍යාගාරයකින්, සත්ව විද්‍යාගාරයකින්, සහ වෝහාරික විද්‍යාගාරයක් ඇතුළු පර්යේෂණාගාර රැසකින් සමන්විත වනවා.

පර්යේෂකයින් සඳහා අවශ්‍ය පර්යේෂණ කාමර ඇතුළු පහසුකම් රැසක්ද ස්ථාපිත කර ඇති අතර සියළු පහසුකම් වලින් සමන්විත නේවාසිකාගාරයේ සිසුන් 80 දෙනෙකුට පමණ නවාතැන්ගත හැකි පරිදි සකසා තිබෙනවා.



ජාතික වනජීවී පර්යේෂණ  හා පුහුණු කේන්ද්‍රය නවීකරණය කිරීමෙන් අනතුරුව අද (මැයි 04) විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාවේ වනජීවී සම්පත් රැක ගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වඩාත් කාර්යක්ෂම කාර්ය මණ්ඩලයක් බිහිකිරිමේ අරමුණ ඇතිව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු සංවිධානයේ (USAID) මුල්‍ය ආධාර පදනම් කරගෙන මහවැලි පරිසර ව්‍යාපෘතිය මගින් ගිරිතලේ වැව ආශ්‍රිතව ඉතා මනස්කාන්ත පරිසරයක 1992 මාර්තු මාසයේදි ගිරිතලේ වනජීවී පුහුණු කේන්ද්‍රය ආරම්භ කරන ලදි.



මෙම ආයතනය මගින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මානව සම්පත් සංවර්ධනය අරමුණු කරගෙන වනජීවී ක්ෂේත්‍ර නිලධාරින්ගේ දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය උදෙසා පුහුණු වැඩසටහන් රැසක් වසර පුරා ක්‍රියාත්මක කරනු ලබනවා.

Latest