Skip to content

ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවවේදී අංශය අක්‍රීය වෙලා - මසකට රු. ලක්ෂ 300ක පමණ පරීක්ෂණ පෞද්ගලික අංශයට!

කොළඹ ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවවේදී අංශය මාස දෙකක පමණ සිට වසා දමා තිබීම හේතුවෙන් සේවා ලබා ගැනීමට පැමිණෙන රෝගී ජනතාව මහත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අනාවරණය කරයි.

එහි සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ රෝහලේ අදාළ අංශය අක්‍රීය වීම නිසා මසකට රුපියල් ලක්ෂ 300 ක පමණ පරීක්ෂණ, පෞද්ගලික රසායනාගාර වෙත යැවීමට සිදුව ඇති බවයි.

ඒ අනුව පෞද්ගලික රසායනාගාර වලින් 20%ත් 30%ත් අතර කොමිස් ලැබෙනවාදැයි සැකයක් පවතින බවයි ඔහු කියාසිටින්නේ.

දිනකට මූත්‍රා පරීක්ෂණ (Urine Culture) පමණක් 200ක් පමණ පෞද්ගලික අංශයෙන් කර ගැනීමට රෝගීන්ට සිදුව ඇති බවත් මූත්‍රා පරීක්ෂණ, සෙම පිළිබඳ ක්ෂුද්‍රජීවවේදී පරීක්ෂණ, ප්‍රතීජීවක ඖෂධ සංවේදීතාවය පිළිබඳ පරීක්ෂණ, ප්‍රතිජීවක ප්‍රතිවීරෝධතා පරීක්ෂණ ඇතුළු මසකට පෞද්ගලික රසායනාගාරවලට හරවා යවන පරීක්ෂණ ප්‍රමාණය දස දහසක් පමණ වෙන බව සඳහන්.

ජාතික රෝහල අවට රසායනාගාරයකින් මෙම පරීක්ෂාවක් සිදු කර ගැනීමට අවම වශයෙන් රු 3000 පමණ මුදලක් වැය කිරීමට සිදුවන අතර, බොහෝ රෝගීන් මුදල් නොමැතිකම හේතුවෙන් මෙම පරීක්ෂණ සිදු නොකිරීම හේතුවෙන් රෝග තත්වයන්  උත්සන්න වී රෝහල් ගත කිරීමට පවා සිදුව ඇති බව කුමුදේශ් මහතා පවසයි.

එහිදී ඇතිවන සංකූලතාවයන් පාලනය කිරීමට මුඛයෙන් ලබා දිය හැකි ප්‍රති ජීවක (Oral Antibiotics) වෙනුවට, රුධිර නාල හරහා (Intra Venus) ප්‍රතිජීවක ලබා දීමට සිදු වීම හරහා අනවශ්‍ය ලෙස විශාල මුදලක් වැය කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුව ඇත.

''තවද ප්‍රතිජීවක සංවේදීතාවය පිළිබඳ පරීක්ෂණ සිදු කර ගැනීමට නොහැකි වීම හේතුවෙන්, ඇතැම් වෛද්‍යවරුන් අනුමාන ප්‍රතිජීවක ලබා දීමට පෙළඹවීම හරහා රට තුල ප්‍රතිජීවක ප්‍රතිවිරෝධාවය පිළිබඳව විශාල අවධානමක්ද ඇතිව තිබෙනවා. මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනතුරු හඟවා තිබෙන අතර, එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා රජයේ වියදමින් පුහුණු වූ සහ එහි ආදිනව පිළිබඳව රටටම පාඩම් කියාදෙන ක්ෂුද්‍රජීවවේද විශේෂඥවරිය මෙම රසායනාගාරයෙහි ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් සිටියදී, මෙවන් තත්ත්වයක් ඇති වී තිබීම වඩාත් කණගාටුදායකයි.

සජීවී ක්ෂුද්‍රජීව පටල නිසි ජීවාණුහරිත තත්ත්වයෙන් තොරව ඉවත දැමීම හේතුවෙන්, සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ කිහිප දෙනෙකු ‘මිලියඩෝසිස්’ නම් අතිශය දුර්ලභ රෝගී තත්වයකට ගොදුරු වූයේද මෙම රසායනාගාරයේ සේවය කරමින් සිටියදී වන අතර, ඒ පිළිබඳවද සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් කිසිදු විමර්ශනයක් පවත්වා නැහැ.''

එසේම වෛද්‍ය පරීක්ෂණ පෞද්ගලික අංශයට යොමු කිරීමේදී, පෞද්ගලික රසායනාගාර විසින් යොමුකරනු  ලබන නිලධාරියාට 20%ත් 40%ත් අතර කොමිස් මුදලක් ලබා දෙන බව ප්‍රකට රහසක් වන අතර, මසකට රුපියල් ලක්ෂ තුන්සියයක පමණ පරීක්ෂණ මේ හරහා පෞද්ගලික රසායනාගාර වෙත යොමු කෙරෙන බැවින්, මෙම තත්ත්වයන් නිවැරදි නොකර පවත්වා ගනිමින් තිබීමට එයද හේතුවක් විය හැකි බවට සැක මතුවන බවයි කුමුදේශ් මහතා වැඩිදුරටත් පවසන්නේ.

Latest