Skip to content

නාසා ආයතනයත් සොයන 'චිචියාන් 1'

ඉන්දියාව අභ්‍යාවකාස ඉතිහාසයේ නව පිටුවක් පෙරළන්නට පසුගියදා සමත් විය‍. ඒ "චන්ද්‍රයාන් 3" යානය චන්ද්‍රයාගේ (සදේ) දක්ෂිණ කොටසට ගොඩ බැස්සවීමය. අපේ අසල්වැසි රටක් වන ඉන්දියාවේ එම ක්‍රියාව රටක් ජාතියක් ලෙස අපි ආඩම්බර විය යුතුව ඇත.මන්ද ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාවද ආසියාණු රටක් වන නිසාය.

ගෙවී ගිය සතිය තුළ බොහෝ දෙනෙකු කථා කළේ ඉන්දියාව චන්ද්‍රයා මතට යැවූ චන්ද්‍රයාන් 3 යානාව සම්බන්ධයෙන් නොවේ.ඔවුන් කථා කළේ අප් රට විසින් කක්ෂ ගත කළ බව කියන "සුප්‍රීම්සැට් 1" චන්ද්‍රිකාව පිළිබදවය.

මීට වසර 11 කට පෙර "සුප්‍රීම්සැට් 1" නම්වූ එම චන්ද්‍රිකාව වර්තමානයේ හදුන්වන්නේ "චිචියාන් 1" යනුවෙන් බව ශ්‍රී ලංකා පරිපාලන අභ්‍යාස ආයතනයේ හිටපු ජේෂ්ඨ උපදේශකයෙකු වන මහාචාර්ය ශාන්ත ජයරත්න මහතා සදහන් කරයි.

මේ මහාචාර්ය ශාන්ත ජයරත්න මහතා "චිචියාන් 1" චන්ද්‍රිකාව සම්බන්ධයෙන් කියන කථාවක්.

2012 නොවැම්බර් 27වන දින ලංකාවට ඓතිහාසික දිනයකි. එදින 15.43 පැයට චීනයේ සීචැන්ග් (Xichang Space Center in Sichuan Province ) අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් කක්ෂගත කරන්නේ ලංකාවේ ප්‍රථම සහ එකම සන්නිවේදන චන්ද්‍රිකාවයි. එය "සුප්‍රීම්සැට් 1" හැටියට නම් කොට තිබුණි. එහෙත්  මේ දිනවල  සමහරුන් මෙය හඳුන්වන්නේ "චිචියාන් 1" ලෙසයි. මෙම සැටලයිට් ව්‍යාපෘතිය සඳහා චීන එක්සිම් බැංකුවෙන් ලබාගත් වාණිජ ණයක්වු ඩොලර් මිලියන 360 ක් වියදම් කොට ඇති බව වාර්තා වී ඇත.

ඉන්දියාව පසුගිය දා "චන්ද්‍රයාන් 3" නමින් මිනිසුන් රහිත රොකට්ටුවක් සඳමත ගොඩ බෑවේය. මීට පෙර චන්ද්‍රයාන් 1 (2008) සහ 2 (2019) අසාර්ථක වුවත් චන්ද්‍රයාන් 3 (2023) ඉතා ඉහළ සාර්ථකවයක් ලබමින් සඳමත ගොඩ බැසීමෙන් පසු මේ දිනවල පර්යේෂණ කරමින් සිටී. චන්ද්‍රයාන් 1,2, සහ 3 සඳහා කළ  සම්පූර්ණ වියදම ඩොලර් මිලියන 263 කි. ඉන් අඩුම වියදමක් දැරූ චන්ද්‍රයාන් 3 සඳහා වැය වී ඇත්තේ ඩොලර් මිලියන 75ක් වැනි ඉතා අඩු පිරිවැයකි.

සැටලයිටයක් සඳහා යන වියදමට වඩා ඉතා වැඩි වියදමක් රොකට්ටුවක් සඳහා වැය වන බව අමුතුවෙන් කිව යුතු නැත. කෙසේ වෙතත් මේ දිනවල ලංකාවේ පවතින සාකච්ඡාව නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුතා, රෝහිත රාජපක්ෂගේ සුප්‍රීම්සැට් 1 සැටලයිට් ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 360 ක් වියදම් වූයේ කෙසේද යන්නයි.

එවකට 2010-2015 රාජපක්ෂ රජයේ විද්‍යා හා තාක්ෂණ ඇමතිවරයා වූ වත්මන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පසුගියදා පාර්ලිමේන්තුවේ අසන ලද  ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  ප්‍රකාශ කලේ ඔහු මෙවැනි සැටලයිටයක් පිළිබඳව තමන් දැන නොසිටි බව යි.

https://www.dailymirror.lk/breaking-news/SL-s-SupremeSAT-costed-USD-320mn-when-India-spent-USD-263mn-for-Chandrayaan-3-Sajith/108-265952

2012 සුප්‍රීම්සැට් 1 සැටලයිටය කක්ෂගත කිරීමත් සමග ලෝකයේ සන්නිවේදන චන්ද්‍රිකාවක් සතු 45 වන රට බවට ලංකාව පත් විය.මීට පෙර ඉන්දියාව, සහ පකිස්තානය පමණක් මෙවැනි සැටලයිට් කක්ෂ ගත කොට තිබුණි. අද බංකොලොත් වුවත් චන්ද්‍රිකාවක් හිමි දකුණු ආසියාවේ තුන් වන රට ලංකාව වීම සතුටට කරුණකි. එහෙත්, පුදුමය වන්නේ සුප්‍රීම්සැට් 1 චන්ද්‍රිකාව කක්ෂයේ රඳවා තිබෙන ස්ථානය නිවැරැදිව සොයා ගැනීමට අමෙරිකාවේ  නාසා (NASA) ආයතනයටද මෙතෙක් නොහැකි වී තිබීමය.

සුප්‍රීම්සැට් 1 චන්ද්‍රිකාව යැවීමෙන් එවකට රජය බලාපොරොත්තු වූයේ බ්‍රෝඩ් බෑන්ඩ් ඉන්ටර්නෙට්, දුරකථන සේවා පහසුකම් ඇතුළුව විවිධ වූ සන්නිවේදන සේවාවන් අඩු පිරිවැයකට ලංකාවේ මාගම් පත්තූව ඇතුළු සතර දිග් භාගයේ ජීවත් වන හුදී  ජනයාට ලබා දී ඔවුන් ජාත්‍යන්තරය සමග සම්මුඛ කිරීමටය. ඒ වගේම මෙම සේවාවන් මැද- පෙරදිග , දකුණු සහ මධ්‍යම ආසියාණු කලාපයේ රටවල් සහ ඕස්ට්‍රේලියාවටද ලබා දීමට හැකියාව ලැබෙන බව මෙම ව්‍යාපෘතියේ ප්‍රධානීන් ප්‍රකාශ කොට තිබුණි.

https://www.deccanherald.com/world/china-launches-sri-lankas-first-2375161

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාලම පුතා රෝහිත රාජපක්ෂ නොහොත් "චිචී" මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරුවා වන අතර ඔහු එතෙක් මෙතෙක් බිහිවූ ලාබාලම  සහ ලංකාවේ එකම චන්ද්‍රිකා විද්‍යාඥයා බව ඔහු විසින්ම මාධ්‍යට ප්‍රකාශ කොට තිබුනේ මෙසේය. " I had a vision from my childhood... I talked to SupremeSAT regarding this programme as I wanted to take the name of Sri Lanka to space."

මෙහි සරල සිංහල තේරුම "මට ළමා කාලයේ සිටම සිහිනයක් තිබුණා. මම ඒ සම්බන්ධව සුප්‍රීම් සැට් සමාගමට කිව්වා. මට ඕනේ වුනා ලංකාවේ නම අභ්‍යවකාශයට ගෙනයන්න."

https://www.lankanstuff.blogspot.com

ඔහු ලංකාවේ නම අභ්‍යවකාශයට ගෙන යැම අපිට ප්‍රශ්නයක් නැත. ඒත් අපිට ඇති ප්‍රශ්නය ඒ සඳහා ලංකාවේ මිලියන 22ක ජනයා උකසට තබා චීන එක්සිම් බැංකුවෙන් (Exim Bank) ලබා ගත් ඩොලර් මිලියන 360 ක ණය ගෙවන්නේ මේ රටේ අහිංසක ජනතාව වන අප නිසාය.

රෝහිත රාජපක්ෂ  ප්‍රකාශ කරන අන්දමට  මෙම ව්‍යාපෘතිය කොටස් දෙකකි. එක් කොටසක් වන්නේ චන්ද්‍රිකාව නිර්මාණය කිරීමයි. ඒ සඳහා වියදම ඩොලර් මිලියන 320 කි. දෙවැන්න නුවර, පල්ලෙකැලේ  ප්‍රදේශයේ ඉදි කරණු ලබන චන්ද්‍රිකා පුහුණු මධ්‍යස්ථානය යි. එයට තවත් ඩොලර් මිලියන 40ක් වැය වෙයි. ඒ අනුව ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම ඩොලර් මිලියන 360කි. මෙම ව්‍යාපෘතිය 2015 අවසන් වීමට නියමිතව තිබුණි.

https://archives.sundayobserver.lk/2012/10/21/fin01.asp

ලෝකයේ පිළිගත් ඔබ්සර්වර් පර්යේෂණ පදනම (Observer  Research Foundation (ORF)) 2018 ජුනි මස නිකුත් කල වාර්තාවක පිටු අංක 07 සිට 10 දක්වා මෙම "SupremeSAT 1" ව්‍යාපෘතියේ සියළු තොරතුරු අනාවරණය කොට ඇත.

https://www.orfonline.org/wp-content/uploads/2018/07/ORF_SpecialReport_70_China_SatCom.pdf

මෙම චන්ද්‍රිකාව යැවීමේ කටයුත්තේ අතරමැදියන් හැටියට කටයුතු කොට තිබෙන්නේ කුප්‍රකට ඩීල් කරුවකු වන මනිවානන්ට අයත් සමාගමකි. මෙම ORF පර්යේෂණ වාර්තාවට අනුව මනිවානන්ගේ සමාගම  චීනයේ ඉවත් කළ චන්ද්‍රිකාවක් කුලියට ගෙන එය  සුප්‍රීම් සැට් (SupremeSat 1) හැටියට නම් කළ බවත්, මෙම ව්‍යාපෘතිය සඳහා රෝහිත රාජපක්ෂ මැදිහත් වී චීන එග්සිම් බැංකුවෙන් ණයක් ලබා ගෙන ඇති බවත් පෙන්වා දී ඇත.

මේ සියළු කරුණු විශ්ලේෂණය කිරීමේදී ඔබට පෙනී යන්නේ කුමක්ද ?

ලංකාවේ පාලකයන් සහ ඔවුන්ගේ පවුලේ අයවලුන්ගේ සුඛවිහරණය සඳහා රටේ ජනයා උකසට තබා විදේශීය ණය ලබා ගෙන ඒවා කාබාසිනියා කොට ඇති අන්දම මේවායින් ඔබට පැහැදිලි වනු ඇත.

අද පවතින විනිමය අනුපාතයට අනුව ඩොලරය රුපියල් 320 ක් ලෙස සැලකුව හොත් ලබා ගෙන තිබෙන සම්පූර්ණ ණය මුදල රුපියල් බිලියන 115.20 ක් පමණ වෙයි. (360,000,000X320=115,200,000,000) මෙම මුදල රටේ සංවර්ධන කටයුත්තක් සඳහා ජනාධිපති රාජපක්ෂ යෙදවූයේ නම්  ලබා ගත හැකිව තිබූ ප්‍රතිලාභ කොපමණ ඇත්ද? උදාහරණයක් හැටියට අප මෙසේ බලමු.

1) රෝහලකට රුපියල් මිලියන 200 බැගින් වැයකොට ඇඳන් 200 ග්‍රාමීය රෝහල් රෝහල් 575ක් රට වටේ ගොඩනැගීමට හැකියාව තිබුණි. රටේ දිස්ත්‍රික්ක 25 පුරාම එක දිස්ත්‍රික්කයකට රෝහල් 23 -25 අතර රෝහල් ප්‍රමාණයක්  ගොඩ නගා ග්‍රාමීය සෞඛ්‍ය පද්ධතිය සංවර්ධනය කිරීමට අවස්ථාව තිබුණි.

2) ලෝකයේ පරිඝණක ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පීන් සඳහා විශාල ඉල්ලුමක් ඇත. මෙම චන්ද්‍රිකාව සඳහා වියදම් කල මුදල යොදා ගෙන රුපියල් බිලියන 1 බැගින් වියදම් කලේ නම් පරිඝණක විද්‍යාව ඉගැන්වීම සඳහා උසස් තාක්ෂණික විද්‍යාල 115 ක් ගොඩනැගීමට පුළුවන් කම තිබුණි.

එසේ එක් ආයතනයකට වසරකට උපාධි හෝ උසස් ඩිප්ලෝමා සඳහා ළමුන් 1000 ක් බඳවා ගන්නේ නම් ළමුන් 115,000 ක් වසරක් තුල ශ්‍රම වෙඳපොළට සැපැයිය හැකිව තිබුණි. පහසුවෙන්ම වාර්ෂිකව ඩොලර් බිලියන 1ක් ආදායමක් උපයා ගැනීමටද පුළුවන් කම තිබුණි.

3) විශ්වවිද්‍යාලයකින් වෛද්‍යවරයකු බිහිකිරීමට රුපියල් මිලියන 5 ක් පමණ දළ වශයෙන් වැය කරයි (අවුරුදු 5 ක් සඳහා). සුප්‍රීම් සැට් 1 සඳහා වැය කල ඩොලර් මිලියන 360 විශ්වවිද්‍යාල වලට ලබා දී ලංකාවට අවශ්‍ය වෛද්‍යවරුන් 23,000 ක් බිහිකර ගැනීමට හැකියාව තිබුණි.

4) ලෝකයේ හෙදියන් සහ සාත්තු සේවකයින් සඳහා විශාල ඉල්ලුමක් ඇත. රුපියල් මිලියන 500 බැගින් වියදම් කොට හෙදි පුහුණු ආයතන ගොඩනැගුවේ නම් එවැනි පුහුණු පාසැල් 230 ක් රට පුරා සාදා දීමට හැකියාව තිබිණි. වසරකට හෙදියන් 10000 ක් පමණ විදේශ ශ්‍රම වෙළඳපොළට සපයා වසරකට ඩොලර් මිලියන 1,000-1,500 අතර ආදායමක් උපයා ගැනීමට පුළුවන් කම තිබුණි.

5) වර්ග අඩි 20,000 පාසැල් ගොඩනැගිලි එකක් රුපියල් මිලියන 100 බැගින් වියදම් කොට සාදා දුන්නේ නම් එවැනි ගොඩනැගිලි 1,150 ක් සාදා දීමට පුළුවන් කම තිබිණි.

මේවායින් එකක් හෝ කිහිපයක් කලේ නම් ලංකාවට මෙවැනි තත්ත්වයක් අද ඇති නොවී තිබීමට ඉඩ තිබුණි. ලංකාවේ මෙතෙක් සිටි පාලකයන් ගත් ණය ඵලදායි ලෙස  ආයෝජනය කලේ නම් මිලියන 22 ක් වැනි කුඩා ජනගහනයක් සිටින ලංකාව මේ වන විට ලෝකයේ සතුටින්ම සිටින ජනතාවක් ඇති පළමු රටවල් 10 ඇතුළත තිබෙන රටක් බවට පත්කල හැකිව තිබුණි. එහෙත් ඒ වෙනුවට සිදුවූයේ සතුටින්ම සිටින දේශපාලකයන් පිරිසකුත් ඔවුන්ට හිතවත් ඉතා සතුටින් සිටින කූඨ ජාවාරම් කරුවන් කිහිප දෙනෙකුත් ඉතාම අසතුටින් හා මරණ බියෙන් ජීවත් වන ජනතාවක් සිටින රටක් බවට ලංකාව පත් වීම පමණි. බංකොලොත් වී ඇති රටේ අදටත් සිදුවන්නේ එයමය.

රට මේ තත්ත්වයට පත්වීම සම්බන්ධව රටේ ජනයාටද වැඩි වගවීමක් පැවරෙන්නේය. මෙවැනි දූෂිත පාලකයන් බලයට ගෙන ඒමට වසර පහෙන් පහට රටේ බහුතර ජනයා වන ඔබ ඡන්දය ලබා දී ඇත. තවදුරටත් මේ දූෂිත පාලකයන් පසු පස යන පිරිස් සිටින බව පැහැදිලි ය. එය ඔවුන්ගේ වගේම රටේද අවාසනාවකි. එය  ඔවුන්ගේ කර්මය නම් අපට කල හැක්කක් නොමැත. කෙසේ වෙතත් නුවණ පහල වී ඉන් ගැලවීමට ඔවුන්ට අවශ්‍ය නම් ඉතිරිව ඇත්තේ එකම එක් මගකි. එය නම් අදූෂිත, නිවැරැදි වැඩ පිළිවෙළක් සහ දැක්මක් ඇති අලුත් පිරිසකට මේ රටේ පාලනය භාර දී අවම වශයෙන් වසර පහක් රට පාලනය කිරීමට අවස්ථාව ලබා දීමය.  එයට තවත් ප්‍රමාද නැත. තීරණය රටේ ජනයා සතූය.

Latest