Skip to content

නැගී සිටීමේ ප්‍රහසන කලාව ( stand - up comedy )

විනෝදාස්වාදය සඳහා කවරකු වූවද කොන්දේසි විරහිතව එකඟවීම සාමාන්‍ය සංසිද්ධියකි. ඒ සඳහා බොහෝ මූලාශ්‍රයන් පැවතිය ද ඒ සඳහා වර්තමානයේ විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ විශාල  මැදිහත්වීමක් සිදුකරමින් සිටින stand up comedy යනු  අමුතුම ආකාරයේ විනෝදාස්වාදයකි. ආක්‍යාන කතා ව්‍යුහයක්, කතා වස්තුවක් සහිත සංස්කාරකවරුන් හෝ නිෂ්පාදකවරුන් නොමැති සහ විශේෂයෙන් ප්‍රේක්ෂකයන්ගේ හිසෙහි සියලු කොටස් ගලවා අතට දී අභිමත ආකාරයකට සවිකරගන්න යැයි පවසමින් තනි පුද්ගලයෙකු වේදිකාවක් මත සිදුකරන මහා වික්‍රමය stand up comedy වේ. කලාකරුවන් යනු පෙරගමන්කරුවෝ නම් සහ ඕනෑම කලාවක් ආනන්දයෙන් පටන්ගෙන නුවණින් කෙලවර විය යුතුනම් ඒ සඳහා වඩාත් සමීප කලා මාධ්‍ය වන්නේ stand up comedy යැයි කීම සාධාරණ වේ.

බටහිර කලා මාධ්‍යයක් වන මෙහි මුදුන් මුල් ඇමෙරිකාව තුළ ස්ථාපිත වී ඇති අතර  stand up comedy යන්නට නිෂ්චිත වූ සිංහල වචනයක් නොමැති අතර බොහෝ විට එය සිංහල සමාජය තුළද stand up comedy වශයෙන්ම හඳුන්වයි. නමුත් වචනාර්ථය ගෙන ඒ සඳහා අපට නැගී සිටීමේ ප්‍රහසනය යැයි කිව හැකිය. stand up comedy කලාවේ ප්‍රවීණයකු වන ජිමී කාර් සහ ලේකක ලුසී ග්‍රීවුස් පවසන්නේ only jorking : wahat's so funny about make people laugh ?, stand- up comedy. එනම් විහිළු කිරීම පමණි :  මිනිසුන්ව හිනැස්විය හැකි හාස්‍යජනක දේ කුමක්ද ? එය stand up comedy වන බවය. එමෙන්ම මෙම කලාවේ දැවැන්තයකු වන විකට නළුවන්ගේ පීඨයේ පීඨාධිපති වශයෙන් හඳුන්වන ජෝජ් කාලින් පවසන්නේ රේකාව ඇඳ ඇත්තේ කොතනදැයි සොයා බලා එය හිතා මතාම තරණය කිරීම විකට නළුවකුගේ යුතුකම බවය. ඒ අනුව stand up comedy මගින් සිදුකරණුයේ සමාජය විසින් සමාජය තුළ ඇඳ ඇති විවිධ වූ සම්මත රේකාවන් හිතාමතාම තරණය කොට සමාජයට නැවත වතාවක් එම රේකාවන් දෙස බැලීමට ඇඟිල්ල දිගු කිරීමය.

‌නැගී සිටීමේ ප්‍රහසන කලාවේ මූලාරම්භය දඩයම් යුගය දක්වා දිවයන බව විචාරකයින්ගේ අදහස වන අතර කෙසේ නමුත් සරලවම අප හඳුනාගන්නා සජීවී ප්‍රේක්ෂක පිරිසක් හට ඍජුවම වේදිකාවේ සිට අමතමින් සහ විටෙක ඔවුන් සමග සම්බන්ධවෙමින් , ඔවුන් වින්දනයට පත් කරමින්, ඔවුන්ගේ සිතීමේ පරාසය පුළුල් කරමින් එක් පුද්ගලයකු සිදුකරන අද අප දකින නැගී සිටීමේ ප්‍රහසන කලාවේ මූලාරම්භය සිදුවන්නේ වර්ෂ 1800 දී පමණ ඇමෙරිකා එක්සත් ජනපදයේය. පසුව එය නව ප්‍රහසන කලා මාධ්‍යයක් වශයෙන් අනෙකුත් අක්ෂාංශ පුරා පැතිර ගිය අතර  විශේෂයෙන් එකල ඇමෙරිකාවේ පැවති මිනිස්ට්‍රල් සංදර්ශන මෙම කලාව සඳහා වේදිකාවක් වී ඇති අතර මිනිස්ට්‍රල් සංදර්ශන යනු 19 වන සියවසේ මුල් භාගයේ ආරම්භ වූ නාට්‍ය ආකාරයකි. මෙවා බොහෝ දුරට සංගීතමය රඟහලක් වූ අතර මුල් කාලයේ මෙම කලාව මගින් ඇමෙරිකාවේ සමාජ ඉතිහාසය පිළිබිඹු කිරීමට උත්සාහගෙන ඇත. එහිදී ඇමෙරිකානුවන්ගේ වාර්ගික ඒකාකෘති ප්‍රහසනය සඳහා මාතෘකා වී ඇත. මිනිස්ට්‍රල් කණ්ඩායම් පසුව ප්‍රදේශ කරා සංචාරය කරමින් තම ඉදිරිපත් කිරීම් සිදුකර ඇති අතර එහිදී විකට දර්ශන, විවිද ක්‍රියා, නැටුම් සහ සංගීත මෙම සංදර්ශනවලට ඇතුලත් වී ඇත. ප්‍රධාන වශයෙන් stand up comedy හරහා මුල් කාලයේ වර්ගවාදය දැඩි ලෙස හාස්‍යයට ලක්කර ඇති බව මූලාශ්‍ර පිරික්සීමේදී අපට පෙනී යන කරුණකි.

නූතන නැගීසිටීමේ ප්‍රහසන කලාවේ මූලාරම්භකයන් ලෙස Moms Mabley, Jack benny, Bob hope, George burns, fred allen, Milton berle වැනි ශිල්පීන් අපට හඳුනාගත හැකිය . මූලාශ්‍ර තුළ මෙම ශිල්පීන් හඳුන්වා දෙනුයේ තිරය ඉදිරිපස සිට ප්‍රේක්ෂකයන් හට ඍජුවම ආමන්ත්‍රණය කරන ලද පිරිසක් ලෙසය. කෙමෙන් කෙමෙන් පොදු මහජනයා අතර ජනප්‍රිය වූ මෙම කලා මාධ්‍යයේ නියැලී සිටි ශිල්පීන්ගේ වෘත්තීය ජීවිතය 1940-50 දශකයන් තුළ  ගුවන්විදුලියේ මැදිහත්වීමත් සමග උසස් තත්වයකට පත්ව ඇත. පැවති දෙවන ලෝක යුද්ධයත් සමග මෙම කලාව සඳහා ගුවන් විදුලියේ මැදිහත්වීම ද ශිල්පීන් මහත් අගයකොට සලකා ඇත. 1930-50 කාලය පුරාවටම විශේෂයෙන් රාත්‍රී සමාජ ශාලා සහ නිවාඩු නිකේතන නැගී සිටීමේ ප්‍රහසන කලාවේ නව ශිල්පීන්ගේ අභිජනන භූමිය බවට පත්වන ලදී.

19 වන සියවසේ මුල් භාගයේදී ආරම්භ වූ මෙම කලා මාධ්‍ය වැඩි වශයෙන් සාමාන්‍ය ජනයා අතර ජනප්‍රිය වීම ඇරඹියේ 1970 දශකයේ මැද භාගයෙන් පසුව වන බව විචාරකයන්ගේ අදහස වන අතර එයින් පෙනී යන්නේ මෙය සාමාන්‍ය පොදු ජනයා නැතිනම් ප්‍රේක්ෂකයන් අතර සළකුණු වීම සඳහා දීර්ඝ කාලයක් ගෙන ඇති බවය. ඉන් පසු මෙම කලාවෙහි සුළු අඩු වීමක් 1990 දශකයේ පෙන්නුම්කර තිබුණද පසුව 2000 දශකයේ මුල් භාගයේදී නැවත වරක් වර්ධනය ආරම්භකර අනෙකුත් අක්ෂාංශ කරාද සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇත.

ප්‍රහසන කලාවේ ආකාර කිහිපයක් අපට හඳුනාගත හැකි අතර ඒවායේ slapstick comedy යටතේ සිදුවන්නේ හාස්‍ය උද්පාදනය සඳහා ප්‍රයෝග සහ අතිශයෝක්තියෙන් යුත් මුහුණේ ඉරියව් භාවිත කිරීමය. මේ සඳහා 20 වන සියවසේ ඉතා ජනප්‍රිය වූ චාර්ලි චැප්ලින්ගේ ප්‍රහසන කලාව වඩාත් සමීප වේ.  dark comedy යටතේ සිදුවන්නේ බොහෝ දුරට සමාජයේ තහනම් යැයි සැලකෙන විෂය කරුණු ප්‍රහසනයට ලක් කිරීමය. මෙහිදී උත්ප්‍රාසය සහ උපහාසය විශේෂයෙන් භාවිත කරන අතර ආගම, සංස්කෘතිය වැනි මාතෘකා මෙහිදී බොහෝ විට භාවිත වේ. Martin amis, John barth සහ Richard brautigan වැනි ලේකකයන්ගේ කෘති තුළ මෙම dark comedy විශේෂයෙන් අන්තර්ගතකොට ඇත.

self-deprecating humor යටතේ එක් එක් චරිතවල විශේෂිත අඩුපාඩු කෙරෙහි අවධානය යොමු කරන අතර රොඩ්නි ඩේන්ජර්ෆීල්ඩ් වැනි ශිල්පීන් වැනි ශිල්පීන් මේ සඳහා වඩාත් සමීපය. Romantic comedy යටතේ ආදරය සහ ප්‍රේමය සමග හාස්‍ය මුසු කරයි. High comedy යටතේ ඉහල පාන්තික සමාජ සම්බන්ධතාවයන් උපහාසයට ලක් කරයි. situational comedy යටතේ අකණ්ඩව පවතින ස්ථාවර චරිත සමූහයක් සමග හාස්‍ය උත්පාදනය කරයි. Surreal humor යටතේ හේතුවට සහ තර්කයට පටහැනිව සිදුවන දේ සම්බන්ධයෙන් අවධානය යොමු කරයි. Tragic comedy යටතේ කේදවාචක සහ හාස්‍ය යන ද්විත්වයම සමානව මුසු කරමින් හාස්‍ය උද්පාදනය කරයි. මේ ආකාරයට ප්‍රහසන කලාවේ ආකාර කිහිපයක් අපට හඳුනාගත හැකි අතර නැගී සිටීමේ ප්‍රහසන ශිල්පියකුගේ නැතිනම් satand up comedian කෙනෙකුගේ විශේෂත්වය වන්නේ සිය ඉදිරිපත් කිරීම සඳහා මෙම ආකාර කිහිපයම අඩු වැඩි වශයෙන් භාවිත කිරීමය. බොහෝ නැගී සිටීමේ ප්‍රහසනයන් තුළ මෙම ආකාර ශිල්පීන් භාවිත කරන අයුරු අපට නිරීක්ෂණය කළ හැකිය.

ජෝජ් කාර්ලින්, ජිමී කාර්, ඩේව් චැපල්, ජිම් ගැෆිගන්, කෙවින් හාර්ට්, ටිග් නොතාරෝ, ක්‍රිස් රොක්, බිල් බර්, ලුවී  සී.කේ. වැනි ශිල්පීන් නැගී සිටීමේ ප්‍රහසන කලාවේ ලෝක දැවැන්තයින් ලෙස අපට හඳුනාගත හැකි අතර එක් එක් ශිල්පීන් තමන්ට ආවේණික වූ stand up comedy style භාවිත කරයි. සමහර ශිල්පීන් ප්‍රේක්ෂකයන් තුළ ප්‍රධාන දාරාවේ නොමැති නව්‍ය සිතුවිල් ඇවිස්සීමට උත්සාහ දරයි. තවත් පිරිසක් කතන්දර කීම මඟින් හාත්ස්‍ය මතු කිරීමට උත්සාහ දරයි. හාත්ස්‍යජනක උපහාසය සමග සමාජයේ ඕනෑම අයෙකු ඉලක්ක කිරීමට තවත් ශිල්පීන් උත්සාහ දරයි. සූදානම්වීමකින් තොරව ඒ මොහොතේ අවස්ථාවට ගැළපෙන සේ හාත්ස්‍ය නිපදවීමට ද ශිල්පීන් සමත් ය. අසාමාන්‍ය ආකාරයෙන් ප්‍රේක්ෂකයන් පිනවීම සඳහා ප්‍ර්‍ර්ක්ෂකයන්ගේ අපේක්ෂාවන්ට හාත්පසින්ම වෙනස් අපේක්ෂාවන් මෙම  ශිල්පීන් සතු වේ.

1970 දශකයේ මැද භාගයෙන් පසු ඇමෙරිකාවෙන් ඔබ්බට පැතිරී ගිය මෙම කලාව ශ්‍රී ලංකාව තුළ සාමාන්‍ය ප්‍රේක්ෂකයන් ලෙස අපට දැනෙන්නට පටන්ගණුයේ 2015 න් පසු කාල සීමාව තුළදී වන අතර විශේෂයෙන් ගාමින්ද ප්‍රියවිරාජ්, සුනෙත් චිත්‍රානන්ද වැනි ශිල්පීන් මෙම කලාව වෙනස් ආරකින් සමාජගත කිරීම සඳහා අගයකලයුතු මැදිහත්වීමක් ආරම්භක අවධියේ සිදුකර ඇත. ඉන් පසුව විශේෂයෙන් 2020 න් පසු කාල සීමාව තුළදී නැගී සිටීමේ ප්‍රහසන කලාව ශ්‍රී ලංකාව මහත් ඕනෑකමින් වැළඳ ගනිමින් සිටින බව අපට පෙනෙන්නට තිබෙන අතර එය ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය සහ සමාජ ක්ෂේත්‍රය අතින්ද අහපත් තත්වයක් වශයෙන් හඳුනාගත හැකිය. විශේෂයෙන් හසලක තුෂාර සහ පසන් රණවීර වැනි ශිල්පීන් මෙම කලාවේ ශ්‍රී ලංකාව තුළ කැපී පෙනෙන ශිල්පීන් බවට පත්ව ඇති අතර  එපමණක් නොව ඔවුන් මෙම කලාව සමාජගත කිරීමටත් එය ක්ෂේත්‍රයක් ලෙස වර්ධනය කිරීමටත් , ප්‍රේක්ෂකයන් හට උසස් රසවින්දනයක් ලබා දීමටත් විශාල මැදිහත්වීමක් සිදුකරමින් සිටී.

‌සියලුම මනුෂ්‍ය ජීවීන් පිරුණු සිනහවක් සමගින් හාසය රසය විඳ ගැනීමට කැමැත්තෝ වෙති. නමුත් හාස්‍ය යනු විනෝදවීම පමණක්ම නොවේ. සිනහ වීම පමණක් නොවේ. සිනහව සමගින් වැදගත් අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් ලෙස නැගී සිටීමේ ප්‍රහසන කලාව ඉතා වැදගත් වන්නේ මේ නිසාය. නැගී සිටීමේ ප්‍රහසන සංදර්ශන නැරඹීමේදී සාමාන්‍ය ප්‍රේක්ෂකයන් ලෙස අපට පෙනී යන කාරණා කිහිපයකි. එනම් මෙම කලාව හරහා ප්‍රේක්ෂකයන්ගේ සිතීමේ පරාසය පුළුල් කරමින් ඔවුන් වෙනත් මානයන් කරා රැගෙන යයි. සමාජයේ මුල්බැස ඇති විවිධ වූ පසුගාමී ලක්ෂණ සියල්ල ප්‍රශ්න කරමින් ඒ පිළිබඳව නැවත සිතා බැලීමට ප්‍රේක්ෂකයන්ට මග සලසයි. විටෙක මිනිසා පිළිබඳව මිනිසෙකු ලෙස සිතීමට උගන්වයි. මෙම කාරණා සියල්ල සමගින් තවත් විටෙක මෙම කලාව හරහා සුළු මොහොතකට හෝ දාර්ශනිකයින් බිහි කරනවා යැයි කීවද කිසිදු වරදක් නැත. එමෙන්ම නැගී සිටීමේ ප්‍රහසන කලාවේ ප්‍රවීණයන් පවසන්නේ   සමාජයේ කතා කිරීමේ නිදහසේ නිම් වළළු පුළුල් කරණුයේ මෙම නැගී සිටීමේ ප්‍රහසන ශිල්පීන් බවය.    ඕනෑම කලාවක් ආනන්දයෙන් පටන්ගෙන නුවණින් කෙළවර විය යුතුනම් satand up comedy ඒ සඳහා වඩාත්ම සමීප වන්නේ මෙම කරුණු කාරණා නිසාය. එබැවින් එය තවත් එක් කලා මාධ්‍යයක් නොව සැබෑම කලා මාධ්‍යයක් යැයි කීම වරදක් නොවේ.

" මිනිසුන් කෙතරම් බුද්ධිමත්ද යන්න ඔවුන් සිනාසෙන දෙයින් ඔබට පැවසිය හැකිය - ටීනා ෆේ "

තොරතුරු - අන්තර්ජාලයෙනි.

Latest