Skip to content

මුරලිගේ 800 ය එළි දක්වයි

ඉතා දීර්ඝ කාලයක සිට විවිධ බාධක හමුවේ කල් යමින් ඉන්දියාවේ නිර්මාණය වීමට තිබූ මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව රැගත් " 800 " නම් චිත්‍රපටය කෙසේ හෝ අවසාන වශයෙන් නිර්මාණය කිරීමෙන් අනතුරුව එහි මූලික ප්‍රචාරක පටය 2023/ 09/ 05 වන අඟහරුවාදා ප්‍රේක්ෂකයින් හට දැක බලා ගැනීමට හැකි විය.

ලෝක එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් පිටියේ හොඳම පන්දු යවන්නා සහ වැඩිම කඩුළු ලාබියා වන, අද්විතීය වාර්තා තබමින් ක්‍රිකට් වාර්තා පොත් අලුත් කළ, ක්‍රිකට් ලෝකයේ පුරා වෘත්තයක් බඳු ශ්‍රී ලංකාව බිහි කළ මේ අසම සම ක්‍රීඩකයා, මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව රැගත් චිත්‍රපටයේ මුරලි වෙනුවෙන් රඟ පෑමට මීට පෙර තෝරාගෙන සිටියේ දමිළ සිනමාවේ සුපිරු නළු විජය සේදුපතිය.

නමුත් විශේෂයෙන් දකුණු ඉන්දියාවෙන් පැමිණි දැඩි විරෝධය හමුවේ ඔහුට චිත්‍රපටයෙන් ඉවත් වීමට සිදු වූයේ මුරලිගේම ඉල්ලීම මතය. එම නිසාම චිත්‍රපටයේ වැඩකටයුතු දිගින් දිගටම කල්යන ලදී.  ඉන් පසුව නව නළුවකු තෝරාගෙන චිත්‍රපටය නිර්මාණය කිරීමට කටයුතු කර ඇති අතර චිත්‍රපටයේ රූගත කිරීම් ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එංගලන්තය ආශ්‍රිතව සිදුකර ඇති බවට ද වාර්තා වේ.

මුරලි 2010 වර්ෂයේ ජූලි 22 වන දා ඉන්දියාවට එරෙහිව සිය 800 වන ටෙස්ට් කඩුල්ල ලබාගත් අතර ඔහුගේ ටෙස්ට් කඩුළු සංක්‍යාවෙන් චිත්‍රපටය නම්කොට ඇත. චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ M.S. ශ්‍රීපති නම් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයාය. මුරලිගේ ජීවිත කතාව රැගත් චිත්‍රපටයේ මුරලි වෙනුවෙන් සහ මුරලිගේ බිරිඳ වෙනුවෙන් පණ පොවනු ලබන්නේ පිළිවෙලින් මධූර් මිත්තල් සහ මහිමා නම්බියාර් නම් නළු නිළි දෙපලයි.

අති උත්කර්ෂවත් අන්දමින් පැවති චිත්‍රපටයේ මූලික ප්‍රචාරක පටය නිකුත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගී වී ඇත්තේ සමකාලීනව ක්‍රිකට් ලොව උමතු කළ සනත් ජයසූරිය සහ සචින් තෙන්ඩුල්කාර් දෙපලයි.

විශේෂයෙන් මුරලිගේ 800 චිත්‍රපටය සහ ඉදිරියේදී  ලයිකා ප්‍රඩක්ෂන් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන මාලි ද යෝකර් කින්ග් නම් චිත්‍රපටය ද විශේෂයෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ටත් සිනමා රසිකයින්ටත් නව අත්දැකීමක් ගෙනෙනු ඇතැයි විචාරකයින් අදහස් දක්වමින් කියා සිටී. එපමණක් නොව ඔවුන් තව දුරටත් පවසන්නේ එය රටක් වශයෙන් ශ්‍රී ලංකාවට ආඩම්බර විය හැකි කාරණයක් ද වන බවය.

Latest