Skip to content

මුලතිව්හි එල්.ටී.ටී.ඊ. රත්තරන් ගොඩගන්න ගිය 07 ක් අත්අඩංගුවට. සැකකරුවන් කොළඹිනුත් ඇවිත්.

මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ ආනන්දපුරම් ප්‍රදේශයේදී යුදසමයේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයෙන් රත්තරන් වලදැමූ බවට සැකකෙරෙන ස්ථානයක පොළව හාරමින් සිටි පුද්ගලයින් 07 දෙනෙකු ඊයේ (24) දින සවස අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස සන්තකයේ තිබී විදෙස් රටක නිශ්පාදිත අති නවීන පන්නයේ පොළව යට ඇති රත්තරන් සෙවීමට යොදාගන්නා ස්කෑනර් යන්ත්‍රයක්ද සොයාගනු ලැබීය. සැකකරුවන් විසින් යම් හෙයකින් පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථාවක බේරීම සඳහා මෙහි රත්තරන් සෙවීම යන වචනය ඉවත්කොට වතුර සෙවීම සඳහා යන ලේබලයක්ද අලවා තිබුණි.

අත්අඩංගුවට ගත් අතිනවීන ස්කෑනර් යන්ත්‍රය

මුලතිව් පුදුකුඩිඉරිප්පු යුදහමුදා බුද්ධිඅංශ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව ඒ පිළිබඳව පුදුකුඩිඉරිප්පු පොලීසියට දැනුම් දී ඇත. අනතුරුව පුදුකුඩිඉරිප්පු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ආනන්දපුරම් ප්‍රදේශයේ කැලෑවක සිදුකරන ලද සෝදිසියකින් අනතුරුව අදාල පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී තවද ඔවුන් සතුව පොළව හෑරීම සඳහා යොදාගත් උපකරන රැසක් සහ ඔවුන් පැමිණි කාර් රථයක්ද සොයාගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කිලිනොච්චිය කෝකිලායි ප්‍රදේශයේ පදිංචි තිදෙනෙක් වූ අතර සෙසු සැකකරුවන් සියලු දෙනා ජා ඇල, මීගමුව, වැල්ලම්පිටිය සහ කැලණිය යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වෙති.

සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් උපකරණද අද (25) දින මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්සණ සිදුකරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Latest