Skip to content

මුහුදු ජලයෙන් සතියක් පහන් දැල්වෙන මුලතිව් කෝවිල් මංගල්ලය

මුහුදු වතුරෙන් පහන් දල්වන්න පුලුවන් කියලා ඔබ දන්නවාද. ඔව් මුහුදු ජලයෙන් පුරා සතියක් තිස්සේ පහන් දැල්වෙන විශේෂ දේව මංගල්ලයක් පැවත්වෙන්නේ මුලතිව් ට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ. මෙය සෑඹ වසරකම අති උත්කර්ෂවත් අයුරින් පැවත්වෙන අතරම මෙවරද විශාල බැතිමතුන් පිරසකගේ සහභාගීත්වයෙන් පැවත්වුනි.

වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික මංගල්ලයේ විශේෂ දේව මෙහෙය ඊයේ රාත්‍රියේ සිට අද (06) අලුයම දක්වා පැවත්වුණි.

යුද්දයට පෙර, යුදසමයේදී මෙන්ම යුද්දයෙන් පසුවද නොකඩවා වාර්ෂිකව ඓතිහාසික මුලතිව් වට්ට්‍රාපලෙයි කෝවිලේ දේව මෙහෙයන් සිදුකිරීම මෙතෙක් සිදුකෙරිණි. යුද්දයට පෙර විශාල ජනතාවක් යුදසමයේදී ඉතා සුලු බැතිමතුන් පිරිසක්, යුද්දයට පසුව නැවත් විශාල ජනතාවක් සහභාගිවීම සිදුවිය. අනතුරුව 2019 සිට පාස්කු ප්‍රහාරය සහ 2020 එලඹී කොරෝණා වෛරසය හේතුවෙන් නැවතත් බැතිමතුන් සීමා වී වාර්ෂික දේව මෙහෙය කෝවිල් භාරකාර මණඩලයට පමණක් සීමා වීම හා 2022 සිට නැවතත් බැතිමතුන් සදහා අවස්ථාව උදාවීම. මෙතෙක් වට්ට්‍රාපලෙයි කෝවිලේ දේව මංගල්ලයට බලපෑ හේතු සාධකයන්ය.

පළමුව වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් කෝවිල යනු කුමක්ද එහි යටගියාව හා වටිනාකම් පිළිබඳව යම් තරමකට හෝ සවිස්තර කල යුතුවෙයි.

මුලතිව් නගරයට පිවිසීමට පෙර වට්ට්‍රාපලෙයි ගම්මානයේ නන්දිකඩාල් කලපුවට යාබදව පිහිටි මේ මනරම් වූ හාස්කම් සහිත කන්නගී අම්මාන් කෝවිල මුලු දිස්ත්‍රීක්කයේම ජනතාවගේ සාංස්කෘතික අභිමානයද වෙයි.

අතීත පුරාවෘත්ත වල සදහාන් ආකාරයට මේ කන්නගි අම්මාන් දේව මාතාව පිළිබඳව සැලකෙන්නේ මෙලෙසිනි.

අතීතයේ දිනක මේ වට්ට්‍රාපලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් කුඹුරු වැ‍‍ඩෙහි යෙදෙමින් සිට ඇත. අදටත් මේ කෝවිල ආශ්‍රිත ‍ප්‍රදේශයේ සරු සාර කුඹුරු යායවල් දැක ගත හැක. මෙම කුඹුරේ ගොවිතැන් කටයුතු වල නිරතව සිටි තරුණයන් අභියසට සවස කාලයේ එකවරම මහලු කාන්තාවක් පැමිණ තමාට කුසගිනි බැවින් තමන්ට ආහාර පිණිස යමක් දෙන ලෙස ඉල්ලා සිටිමින් කොහොඹ ලීයකින් කළ නගුලක් මත වාඩි වූවාය.

එහිදී ආහාරයට අවශ්‍ය මොනවාදැයි ඇයගෙන් විමසූ තරුණයන්ට පවසා ඇත්තේ තමන්ට කිරිබත් අවශ්‍ය බවයි. අනතුරුව සවස් වී ඇති බැවින් ගොවිතැන් කටයුතු නවතා පුන්‍ය කටයුත්තක්යැයි සිතා සවස් ජාමය පහව යාම පිළිබඳව නොසිතූ ගොවි තරුණයින් ක්‍රියාත්මක වී අසල ගෙවත්තක සිටි කිරි දෙනකගෙන් ලබාගත් කිරි උතුරවා එයට සහල් එක්කොට කිරිබත් පිසීමට පියවර ගත්හ.

නමුත් ඒ වන විටත් අඳුර වැටීම හේතුවෙන් තරුණයින්ට යම් එලියක් අවශ්‍ය වී තිබෙන අවස්ථාවේදී මහලු කාන්තාව විසින් තරුණයින්ට පවසා ඇත්තේ පහනක් හෝ දල්වන ලෙසටය. එහිදී තරුණයින් පහනක් දැල්වීමට පොල්තෙල් අවශ්‍ය බවට පැවසූ අවස්ථාවේදී කාන්තාව පවසා ඇත්තේ පහන දැල්වීමට පොල්තෙල් අවශ්‍ය නොමැති බවටත් ඉදිරිපිට ඇති මුහුදෙන් මුහුදු වතුර ගෙනවිත් පහනක් දල්වන ලෙසටය.

ඒ අනුව ක්‍රියා කළ තරුණයන් පිරිස ඇය කියු පරිදි ආසන්නයේ පිහිටි මුහුදු තීරයෙන් භාජනයකට මුහුදු ජලය ගෙනවිත් පහන දැල්වීමේදී ආශ්චර්යකින් මෙන් පහන දැඩි ආලෝකයකින් යුතුව දැල්වී ඇත. අනතුරුව මෙම තරුණයන් ඇමතූ එම කාන්තාව තමාට එසේ පුද සත්කාර කිරීම මගින් පුන්‍යකටයුත්තක් සිදුකරගත් බවටත් ඔවුන්ගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට තමා ආශිර්වාද කරන බවත් පවසා අතුරුදහන් වීය.

එම කාන්තාව වාඩිවූ කොහොඹ නගුල එම ස්ථානයේම පැලවී ගසක් බවට වැඩී තිබේ. ඒ පැමිණ ඇත්තේ කන්නගි අම්මා බව විශ්වාස කරන එම පළාතේ ජනතාව එම ස්ථානයේ‍ කෝවිලක් කරවා එදා පටන් අද දක්වාම වසරක් පාසා කිරි උතුරවිමින් කිරිබත් (පොංගල් බත්) උයමින්, මුහුදු වතුරෙන් පහන් පත්තු කරමින් එම සිද්ධිය සමරමින් කන්නගි දේව මාතාවට පූජෝපහාර දක්වයි.

තවත් ජන ප්‍රසිද්දියට පත් කතාවක් වූවේ.

‘ඕලන්ද ජාතිකයන් මෙරට පාලනය කරද්දී යාපනය කොටුවේ සිට මෙම කෝවිල බැලීමට අශ්වයෙකු පිට නැගී ඕලන්ද ආණ්ඩුකාරවරයෙකු පැමිණ තිබේ. එම පුද්ගලයා මෙම කෝවිලේ එවකට සිටී පුජකවරයා අමතා නුඹලා ගේ ඔය දෙවියන්ගේ ඇති හාස්කම් මොනවාද පුළුවන්නම් ඒවා පෙන්නාපල්ලා යැයි කියමින් සමච්චල් කොට ඇත. එවිට කෝවිලේ පූජකවරයා යෂ්ඨියක් අතට ගෙන අසල ඇති ළිදෙන් ජලය ස්වල්පයක් එයට ඉස එම යෂ්ඨියෙන් කෝවිල පසෙක ඇති විශාල වෘක්ෂයකට තට්ටුකර තිබේ.

මෙම වෘක්ෂය අදටත් මෙම පුජනීය භූමියේ ඇති අතර එම වෘක්ෂය දෙමළ ජනතාව හදුන්වනු ලබන්නේ “පනිච්චම් මරම්,”  “අනිච්චම් මරම් ” යන නම් වලිනි. මෙහි මල් ලා දම් පැහැයක් ගන්නා අතර ඒවා සිඹි පමණින් මැලවෙන බව දෙමළ ජනතාව විශ්වාස කරයි. මෙම ගසට පූජකවරා තට්ටු කිරීමත් සමග ගස වේගයෙන් සෙලවෙන්නට පටන් ගෙන තිබේ. ඒ දෙස බලා සිටි ඕලන්ද ජාතිකයා වෙත මේ ගසේ ගෙඩි ගැලවී විත් වේගයෙන් ශරීරයේ වැදෙන්නට පටන් ගෙන තිබේ.

එයින් ගැලවීමට මොහු දිව ගොස් ඇති අතර පසුපස එලවමින් මේ ගසේ ගෙඩි ඔහුට පහර දීමට පටන් ගෙන තිබේ. ඉන් ගැලවීම සදහා නන්දිකඩාල් කලපු‍වට පැන තිබේ. ජලයට පැන්නත් මෙම ගසේ පහරදීම නතර නොවූහෙයින් තමාට සමාවන ලෙස පවසා ඕලන්ද ආණ්ඩුකාරවරයා විසින් මේ කෝවිලට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන බවත් පුද පුජා පවත් වන බවටත් තමා භාර වන ලෙස පූජකවරායාට පැවසීමෙන් අනතුරුව මෙම ගෙඩිවලින් පහර දීම නැවතී තිබේ. අනතුරුව ඕලන්ද ආණ්ඩුකාර වරයා මෙම කෝවිල සදහා රාජ අනුග්‍රහය ලබා දී තිබේ.

මෙම ගස සෙලවීමට ජලය ඉසින ලද ළිද අදටත් මෙම ස්ථානයේ ඇති අතර එම ළිදේ ජලය උත්සව අවස්ථාවලදී ක්ෂණිකව පොළව මට්ටමින් අඩි එක හමාරක් පමණ ඉහලට පැමිණෙන බව වට්ටප්පලෙයි කෝවිලට පැමිණෙන බැතිමතුන් පවසති.

මෙම වාර්ෂික මංගල්ලයේ ප්‍රධානතම එක් දේව මෙහෙයක් වූ මුහුදු ජලයෙන් පහන් දැල්වීමේ මෙහෙය සඳහා මුලතිව් මුල්ලියාවලෙයි කාට්ටා විනායගර් හින්දු කෝවිල ඉදිරිපිටින් පිහිටි සිලාවත්ත මුහුදු තීරයේදී වට්ට්‍රාපලෙයි කෝවිලේ ප්‍රධාන පූජකවරුන් විසින් වාර්ෂිකව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකෙරෙන මුහුදු ජලය කලයකට ලබාගැනීම සිදුවෙයි.

කන්නගි අම්මාන් හින්දු කෝවිලේ සඳුදා දිනක රාත්‍රියේ දැල්වෙන පහන වෙනුවෙන් පොල්තෙල් යොදා නොගැනීම ඒ සඳහා මුහුදු ජලය යෙදීම විශේෂ දේව මෙහෙයක් සේ සලකා එදිනට ප්‍රදේශයේ විශාල පිරිසක් වාර්ෂිකව එක් වෙයි.

මුහුදු ජලය ලබාගෙන පෙරහැරකින් නැවත කෝවිලට රැගෙන ඒමෙන් පසුව චාරීත්‍රානුකූලව මුහුදු ජලය යොදා කන්නගි දේවතාවගේ පිලිරුව ඉදිරිපිට ඇති ප්‍රධාන පහන දැල්වීම සිදුකරනු ලබන්නේ විවිධ වූ චාරිත්‍ර වාරිත්‍ර සිදුකරමිනි.

මුහුදු ජලයෙන් දැල්වෙන මේ පහන පුරා දින 07 ක් තිස්සේ දැල්වෙන අතර 07 වනදා දින ප්‍රධාන දේව මෙහෙයෙන් පසුව වට්‍රාපලෙයි වාර්ෂික මංගල්ලය අවසන් වෙයි.

මුහුදු ජලයෙන් සතියක් පුරා දැල්වෙන පහන

නමුත් මුහුදු ජලයෙන් දැල්වෙන මේ පහනේ විද්‍යාත්මක හේතුසාධක අදටත් කිසිවෙකුත් සෙවීමට උත්සහයක්ද නොදක්වන්නේ එහි දේව හාස්කමක් ඇතැයි යන දැඩි විශ්වාශය හේතුවෙනි. එමෙන්ම ප්‍රධාන පහන දැල්වීම සඳහා කලයකට රැස් කරගන්නා මුහුදු ජලය හත්වැනි දිනයේ පහන දැල්වීමෙන් අනතුරුව ඉතිරි මුහුදු ජලය බැතිමතුන් වෙනුවෙන්ද පහන් දැල්වීම සඳහා ලබා දීමට කෝවිල භාරකාර මණ්ඩලය පියවර ගනියි. මුහුදු ජලයෙන් පහන් දැල්වීම සඳහා හින්දු ජනතාව උතුරු නැගෙනහිර මෙන්ම විදෙස්ගතව සිටද පැමිණ පොරකන්නේ කන්නගි අම්මාන් දේවතාවට පහන් දැල්වීමට ලබාදුන් මුහුදු ජලයෙන් පහන් දැල්වීම මගින් සිය ජිවිතයටද ආත්මීය ශාන්තියක් ලබාදෙන යන දැඩි විශ්වාශයෙන් යුක්තවය.

‘‘වට්‌ටාපලෙයි හින්දු කෝවිලේ වාර්ෂික අවසන් දේව මෙහෙයදා උදෑසනම මල් ඉසීමද විශේෂ අංගයක් වෙයි. වෙනත් ආගම් දහම් කෙලෙසු ප්‍රභාකරන්ද මේ කෝවිලට කෙතරම් ඇල්මක් දැක්වුවාද කිවහොත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ එවකට සතු වූ ගුවන්යානාවලින්  වට්‌ටාපලෙයි කෝවිලේ වාර්ෂික මංගල්‍යය දා ගුවනේ සිට එක්‌වරක්‌ කෝවිලට මල් ඉස්ස බවට අදටත් මුලතිව් වැසියන් පවසති.

කෙසේ වෙතත් යුද්දෙන් පසුව කිහිප අවස්ථාවකදීම වට්ට්‍රාපලෙයි කෝවිලේ දෙවියන්ට පුදපූජා පවත්වන ප්‍රධාන දේව මෙහෙය පැවත්වෙන අවස්‌ථාවේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා මගින් ගුවනේ සිට කෝවිලට මල් ඉසීම සිදු කෙරිණි.. හෙලිකොප්ටර් යානා මඟින් වට්‌ටාපලෙයි කෝවිලට මල් ඉසින විට හින්දු බැතිමතුන් දහස් ගණණින් ස්‌ත්‍රොත්‍ර කියමින් දෙවියන්ට කන්නලව් කිරීම මේ වාර්ෂික මංගල්‍යයේදී දක්නට ලැබෙන තවත් විශේෂ වූ අංගයකි.

යුදහමුදා හෙලිකොප්ටරයකින් මුලතිව් ට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ අවසන් දේව මෙහෙයට මල් ඉසීම

නමුත් රටේ පැවති අයහපත් වාතාවරණය නිසා පසුගිය වසර කිහිපයේ හෙලිකොප්ටරයෙන් මල් ඉසීමක් සිදු නොවිණි. මුලතිව් ආරක්ෂක අංශ සාමාජිකයන්ටද මේ වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්‍යය ඉතා හොඳින් හුරු පුරුදු වූ මංගල්‍යයකි. ඔවුහුද මේ මංගල්‍යය සඳහා පැමිණෙන බැතිමතුන්ට ආහාර පිස දාන දෙති.

කෝවිලේ වාර්ෂික මංගල්‍යය පැවැත්වෙන දිනයේදී බාරහාර ඔප්පු කිරීමට පැමිණෙන හින්දු බැතිමතුන් නිසාම වට්‌ටාපලෙයි කෝවිල් භූමිය මංගල්‍යය සමයේදී එකම මිනිස්‌ හිස්‌ ගොඩක්‌ බවට පත්වෙයි.

වට්‌ටාපලෙයි කෝවිලේ වාර්ෂික මංගල්‍යය දා කාවඩි නැටුමෙන් හා සංගීතයෙන් කෝවිල් භූමියම අලංකාර වීම තවත් අලංකාර අංගයකි. කාන්තාවන් පමණක්‌ විසින් සිදු කරනු ලබන "පාල් කාවඩි" පෙරහරවල්ද වට්‌ටාපලෙයි කෝවිලේදී දැක ගන්නට ලැබෙන විශේෂ වූ අංගයකි. කුඩා කලයකට කිරි දමා ඊට කොහොඹ අතු හා මොනර පිල් යොදා අලංකාර ලෙස සරසන ලද කළය හිස මත තබාගෙන කිරි නොහිරෙන පරිද්දෙන් කාවඩි නැටීම "පාල්කාවඩි" නැටීම වශයෙන් හැඳීන්වෙයි.

සාමය, සමඟිය, සමානාත්මතාව හා ජාතික සංහිඳියාව අපේක්ෂා කරන සියල්ලන්ට මුලතිව් වට්ටාපලෙයි කෝවිල් භූමියෙන් දැකගන්නට ලැබෙන්නේ අමිල වූ ආදර්ශයකි. මේ භූමියට දෙමළ , මුස්ලිම් සිංහල සියලු ජනයා පැමිණෙන පිං බිමකි. එහි බැතිමතුන්ට ආහාරපාන ලබා දෙමින් පිං ලබන රණවිරුන් තවත් පසෙකිනි. සියලු ජාතීන් එක්ව ආහාර ගැනීම, එකට හිදීම, එකට හිඳ කන්නලව් කිරීම සියලු ලෝ වැසියා අගය කළ යුතු ගුණාංගක් බැවින් නන්දිකඩාල් කලපුව වටා ඇති මේ පිං බිම එන්න බලන්න විඳගත යුතු දැ විඳින්න යන්න ආයාචනය කල යුතුමය.

Latest