Skip to content

මුල සිටම වරදාගත් ශ්‍රී ලංකාව අමුතු රටක්

ශ්‍රී ලංකාව යනු ඉන්දියන් සාගරයේ මුතු ඇටය නැතිනම් ලෝකයේ උතුම්ම රට වශයෙන් ලාංකීය ප්‍රජාව හැඳින්වීම වඩාත් ජනප්‍රිය වේ. පාසලේදී මගේ රට යන මාතෘකාව යටතේ රචනාවක් ලිවීමේදී ද අප බොහෝ විට රචනාව පටන් ගන්නා ලද්දේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් හඳුන්වන. ලෝකයේ උතුම්ම රට වශයෙන් හඳුන්වන ආදී වශයෙනි. නමුත් මෙම හැඳින්වීම් ද්විත්වයම සිදු කරණුයේ අප පමණය. වෙනත් කිසිදු ජාතීන් ලෝකයේ උතුම්ම රට ශ්‍රී ලංකාවයි යනුවෙන් පවසනු අප අසා නැත. රට පිළිබඳව හැඳින්වීමේ දීම මෝහය මුසු අභිමානයකින් වරදා ගත් අප මෙය අමුතු රටක් යැයි ප්‍රකාශ කිරීමට විශේෂයෙන් රටෙහි පවතින ස්වාභාව සෞන්දර්යය, සංස්කෘතිය, අක්ෂාංශගත පිහිටීම, ආගන්තුක සත්කාරය, ඉතිහාසය ආදී සාධක පෙරදැරි කරගනී. නමුත් මෙම ලිපියෙන් ගෙනහැර දැක්වීමට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව යනු මුල සිටම වරදා ගත් අමුතු රටක් යැයි ප්‍රකාශ කිරීමට වඩාත් ජනප්‍රිය නොවූ නැවත සිතා බැලිය යුතු ප්‍රධාන සාධක තුනක් පිළිබඳව ය.

මේ දිනවල අපට වඩාත් උණුසුම් මාතෘකාවක් වන ලෝක කම්කරු දිනයෙන් නැතිනම් මැයි දිනයෙන් මුල සිටම වරදා ගත් ශ්‍රී ලංකාව අමුතු රටක් වීමට බලපාන ලද ජනප්‍රිය නොවූ සාධක පිළිබඳ සාකච්ඡාව ආරම්භ කරන්නේ නම් 1886 මැයි මස 01  වන දින ඇමෙරිකාවේ චිකාගෝ නගරයට එකතු වූ කම්කරුවන් මැක්කොමික් කර්මාන්තශාලාවට එරෙහිව හඬ නගමින් ප්‍රකාශ කර සිටියේ දිනකට පැය අටක සේවා මුරයක් ලබාදෙන ලෙසය. මැක්කොමික් කර්මාන්තශාලාවේ බලධාරීන් සහ එරට ආණ්ඩුවේ පොලිස් නිළධාරීන් මැදිහත් වී මෙම විරෝධතා මැඩපැවැත් වූ අතර එහිදී කම්කරුවන් හය දෙනෙකු සිය ජීවිත පූජාකරන ලදී. මෙම සිද්ධිය  මුල්කොටගනිමින් එදා සිට අද දක්වා මැයි මස 01 දින කම්කරු දිනය සමරන අතර එය කම්කරුවන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ඔවුන්ට වෙන් වූ දිනයක් ලෙස සලකයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සමරන ලද්දේ 1927 වසරේදී වන අතර ලංකා ඉතිහාසයේ ප්‍රථම මැයි රැළිය 1933 වර්ෂයේ කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් විය.  ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරීමේ විශේෂතවයක් නොමැතිමුත් විශේෂත්වය ඇත්තේ සැමරූ කම්කරු දිනයේ තේමා පාඨයේය. එනම් එහි තේමා පාඨය වූයේ " රජයට පක්ෂපාතී වෙමු " යන්නය. චිකාගෝ නුවර එදවස කම්කරුවන් මර්දනය කිරීම සඳහා ආණ්ඩුව සම්බන්ධවී ඇති අතර කම්කරු දිනය ඇත්තේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් සාකච්ඡා කිරීමට සහ ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට වූවද අප ප්‍රථම වරට කම්කරු දිනය සමරා ඇත්තේ කම්කරුවන්ගේ පක්ෂපාතීත්වය රජයට ලබා ගැනීම සඳහා ය. එක් අතකින් දේශපාලන න්‍යාය අනුව රජය සහ ආණ්ඩුව යනු එක්ක නොව දෙකක් වේය සහ රජයට පක්ෂපාතීවීම කිසිදු ගැටළුවක් නැතය සහ ආණ්ඩුවට එරෙහි වූවද රජයට එරෙහි විය නොහැකි යැයි තර්ක කළ හැකිමුත් කම්කරු දිනයේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් පෙරදැරිකරගත යුතු යැයි යනුවෙන් ද ප්‍රති තර්ක ඉදිරිපත් කළ හැකිය. ප්‍රථම වරට සැමරූ කම්කරු දිනයේ තේමා පාඨය දෙස බලනවිට අපට ශ්‍රී ලංකාව යනු මුල සිටම වරද්දා ගත් අමුතු රටක් ය යන්න පැහැදිලි ය.

ශ්‍රී ලංකාවේ සෑම වර්ෂයකම මාර්තු මස 21 වන දින පොලිස් විරු සමරු දිනය සමරන අතර වර්ෂ 1864 මාර්තු මස 21 වන දින සූර සරදියෙන් නම් ගැමි විරුවා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාන්විතයේදී සරදියෙල්ගේ හොඳම මිතුරා වන මන්මලේ මරික්කාර් විසින් තබන වෙඩි පහරකින් තුවාන් සබාන් නම් මැලේ ජාතික කොස්තාපල්වරයා මිය යන අතර පොලිස් විරු සමරු දිනයට පාදක වන්නේ එම කොස්තාපල්වරයාගේ මිය යෑමය. විශේෂත්වය වන්නේ ලාංකිකයන්ගේ ගැලවුම්කාරයකු වශයෙන් සිටි සූර සරදියෙල් මරා දැමීමට පැමිණි බටහිර ජාතිකයකු අප විරුවෙක් කොට සැලකීමය. සෑම මසකම මාර්තු 21 වන දින පොලිස් විරු සමරු දිනයේදී අප සරදියෙල් සිහිපත් කරන්නේ නැත. නමුත් ඔහු මරා දැමීමට පැමිණි බටහිර ජාතික තුවාන් සබාන් සිහිපත් කරන අතර එදිනට මාධ්‍ය වාර්තා කර සිටින්නේ රට වෙනුවෙන් දිවි පිදූ පොලිස් විරුවන් සමරන පොලිස් වීර දිනය අද යනුවෙනි. ශ්‍රී ලංකාව මුල සිටම වරදාගත් අමුතු රටක් වන්නේ මේ නිසාය.

ජාතියේ පියා, නැතිනම් නිදහසේ පියා වශයෙන් අප අදටද ගරු බුහුමන් දක්වනුයේ සැබවින්ම ශ්‍රී ලංකාවට නිදහස එපා යැයි කියූ පුද්ගලයකු හටය. ඒ ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සෙනානායක මහතා හටය. විශේෂයෙන් මෙහිදී ශ්‍රී ලංකාවේ අංක එකේ ඔත්තුකාරයා පිළිබඳව අදහස් දක්වමින් " තම්බි මුදියන්සේ " නම් ග්‍රන්ථය රචනා කරන ලද ධර්ම ශ්‍රී කාරියවසම් මහතා විශේෂයෙන් ඩී. එස්. සේනානායක මහතා පිළිබඳවත් ලංකාවට නිදහස ලබා ගැනීමේ කතාන්දරය පිළිබඳවත් දක්වන අදහස් පිළිබඳව අවධානය යොමුකිරීම ඉතා වටී.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ඉන්දියාවට නිදහස ලබා ගැනීම සඳහා ඉන්දියානු ජාතික සංගමය පිහිටුවන අතර ඒඅනුව යමින් අධිරාජ්‍යවාදී යුගය තුළදී ශ්‍රී ලංකාවේ ද ජාතික සංගමයක් පිහිට වූ අතර එහි නායකයින් ජනතාවට ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීම සඳහා එම සංගමය පිහිටවනු බවය. නමුත් මෙම සංගමය ආරම්භක අවස්ථාවේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පියා වන ඩී. ආර්. ජයවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ " මෙම සංගමය අද පටන් ලංකා ජාතික සංගමය වශයෙන් දේශපාලන සංවිධානයක් විය යුතුය. එහි පරමාර්ථය ඩොමීනියන් ක්‍රමයේ ස්වාධීන ආණ්ඩුවක් ලබා ගැනීමයි " යනුවෙනි. මෙලෙස ඉන්දියාවේ ජාතික සංගමය සැබවින්ම ජාතික සංගමයක් වූවද ශ්‍රී ලංකාවේ ජාතික සංගමය දේශපාලන සංවිධානයක් විය.

මෙම සංගමයේ වැඩකටයුතු සිදුකරමින් ඉදිරියට යනවිට සැබවින්ම මෙම සංගමය පිහිට වූයේ ඇයිද යන ගැටළුව එහි සිටි නායකයින් හට ඇති වී ඇති අතර එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඩී.එස්. සේනානායක මහතා සංගමයේ බලය තමා අතට ගැනීමට දැරූ උත්සාහයයි. එමෙන්ම ඩොනමෝර් කොමිසම ශ්‍රී ලංකාවට ඡන්ද බලය ලබාදීම සම්බන්ධයෙන් සාක්ෂි විමසනවිටදී ජාතික සංගමයද සිය යෝජනා ඉදිරිපත් කර ඇති අතර ඒ කිසිදු යෝජනාවක ශ්‍රී ලංකාවට නිදහස අවශ්‍යය යන බව සඳහන්  වීද නැත. සංගමයේ යෝජනාවල අඩංගුව ඇත්තේ අගමැතිවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් පිහිටවියයුතු බවත් සහ ව්‍යවස්ථාදායක සභාවක් පිහිටවිය යුතු බවත් ය.
එපමණක් නොව ජාතික සංගමයේ කිසිදු නායකයකු ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකු හටම ඡන්ද බලය අවශ්‍ය යැයි ප්‍රකාශ නොකළ අතර ධනපති පිරිසට පමණක් ඔවුන් ඡන්ද බලය ඉල්ලා සිටින ලදී. ඡන්ද බලය අවශ්‍ය යැයි ප්‍රකාශ කර ඇත්තේ ඒ.ඊ. ගුණසිංහ මහතා සහ යාපනයේ තරුණ සංගමය පමණකි. මෙලෙස ලංකා ජාතික සංගමයටවත් ඩී.එස්. සේනානායක මහතාටත් ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීම සඳහා අරමුණක් නොතිබී ඇති අතර ඔවුන් ආරම්භයේ පටන්ම කටයුතු කර ඇත්තේ සිය පුද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙනි.

1940 වර්ෂයේ පොලීසියේ වෙඩි තැබීමකින් ගෝවින්දන් නම් කම්කරුවාගේ මිය යෑමෙන් පසු රාජ්‍ය මංත්‍රණ සභාව සහ ආණ්ඩුකාරවරයා අතර ඇති වූ ගැටළුවකදී ලංකා සම සමාජ පක්ෂය ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීම සඳහා ක්‍රියා කළයුතු යැයි යනුවෙන් රාජ්‍ය මංත්‍රණ සභාවට ගෙන එන ලද යෝජනාවට ද බියට පත්ව ඇත්තේ ඩී. එස්. සේනානායක මහතා වන අතර ඔහු වහාම හොර රහසේ අන්ඩෘ කැල්ඩිකොට් ආණ්ඩුකාරවරයා හමු වී ආණ්ඩුකාරවරයා සහ රාජ්‍ය මංත්‍රණ සභාව අතර සමාදාන විනිශ්චයකාරයෙකු වශයෙන් ක්‍රියාකර ඇත. මේ අනුව ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමේ එම උත්සහයද ව්‍යර්ථ කිරීමට කටයුතු කර ඇත්තේ ඩී. එස්. සේනානායක මහතාය.

1940 වර්ෂයේ ලංකා ජාතික සංගමයේ ප්‍රසිද්ධ කැළණිය සම්මේලනයේදී සංගමයේ තරුණ සම ලේකම්වරයකු වූ ජේ. ආර්. ජයවර්ධන මහතා යෝජනාවක් ගෙන එමින් කියා සිට ඇත්තේ ලංකා ජාතික සංගමයේ අරමුණ විය යුත්තේ ඩොමීනියන් තත්වයක් නොව සම්පූර්ණ නිදහස ලබා ගැනීම බවය. නමුත් මෙම යෝජනාවට ද දැඩිලෙස විරුද්ධ වී ඇත්තේ ඩී. එස්. සේනානායක මහතා වන අතර ඔහු එහිදී යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දී ඇත. ඒ ජාතියේ පියාය. නැතිනම් නිදහසේ පියාය.

සැබවින්ම දෙවන ලෝක යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවට අගමැති පාලනයක් ලැබේය යන ඡායාව පෙනෙන්නට තිබූ අතර සේනානායක පවුල හට අවශ්‍ය වී ඇත්තේ සිය පවුලේ අයකු අගමැතිධූරය සඳහා පත්කර ගැනීමටය.  නමුත් ඒ වනවිට අගමැති ධූරය සඳහා වඩාත් සුදුසුකම් සපරා තිබුණේ සර් ඩී.බී. ජයතිලක මහතා වන අතර සේනානායක පවුල එම බාධකයද ඉවත් කිරීම සඳහා ආණ්ඩුකාරවරයා සමග හවුල්ව සර් ඩී.බී. ජයතිලක ඉන්දියාවේ මහ කොමසාරිස් ලෙස පත්කර යවා ඇත. මෙහි මහ මොළකරු ලෙස කටයුතු කර ඇත්තේ ඔලිවර් ගුණතිලක මහතාය.
පසුව කවර ආකාරයේ හෝ අගමැති පාලනයක් ලබා ගැනීම සඳහා  ඩී.එස්. සෙනානායක,  ඔලිවර් ගුණතිලක සහ  ඩී.ආර්. විජයවර්ධන යන මහත්වරුන් එක්ව අගමැති ප්‍රචාරණය දියත් කරන ලදී.

කෙසේ හෝ ඩී. එස් සේනානායක මහතා ආරම්භයේ පටන්ම උත්සහ දැරූ සිය පුද්ගලික අරමුණ ඉටුකර ගැනීමට සමත්වන අතර අධිරාජ්‍යවාදීන් අපට බන්දේසියක තබා නිදහස ද පිරිනමන්නට විය. මේ ආකාරයේ සාධක රාශියක් ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය අධ්‍යයනය තුළින් ගෙනහැර දක්වන අතර අප අදටද නිදහසේ පියා නැතිනම් ජාතියේ පියා වශයෙන් බුහුමන් දක්වනුයේ ශ්‍රී ලංකාවට නිදහස එපා යැයි පැවසූ සහ නිදහසට මහත් සේ විරුද්ධ වූ සහ සිය පුද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියා කළ පුද්ගලයකු හටය. ආරම්භයේ සිටම අප වරදාගත් ජාතියක් වශයෙන් අප කණගාටු විය යුතුවා සේම ශ්‍රී ලංකාව අමුතු රටක් වන්නේ මේ නිසාය.

මෙලෙස වඩාත් පුළුල්ව දක්වන ලද්දේ ශ්‍රී ලංකාව යනු මුල සිටම වරදා ගත් අමුතු රටක් යැයි ප්‍රකාශ කළ හැකි වඩාත් ප්‍රසිද්ධ නොවූ ජාතික වශයෙන් වැදගත් සාධක තුනක් පිළිබඳව ය. සැබවින්ම අප පෙර කී ආකාරයට ජාතික වශයෙන් වැදගත් දිනයන් සැමරූවද, පුද්ගලයින්ට ගරු බුහුමන් දැක්වූවද ඒ පිටුපස ඇති කතාන්දරය පිළිබඳව බොහෝ විට අවධානය යොමු නොකරයි. එසේ අවධානය යොමු කරන්නේ නම් අපට අප ගැන නැවත සිතා බැලීමට ප්‍රවේශයක් සපයාගත හැකි අතර ශ්‍රී ලංකාවට පැමිණි විදේශික සොරෙකු වූ විජය කුමරුගේ ගුණ වයමින් කුවේණියට වෛර බැඳීම ආරම්භ කළ දිනයේ පටන් සොරා සොරා යැයි චෝදනා කළ පිරිසම ඔහු ජනාධිපති ධූරය සඳහා පත්කරගත් වර්තමානය දක්වා මෙවැනි සාධක අපට ඕනෑතරම් සොයා සපයා ගත හැකිය. සැබවින්ම කුමන අතකින් බැලුවද ශ්‍රී ලංකාව යනු අමුතු රටකි.

Latest